ඡන්නපථ ප්රශ්නය
එතැන් පටන් බෝධිසත්ත්වයන් වහන්සේගේ යසස විශාල විය. ඒ සියල්ල උදුම්බරා දේවියම විචාරයි. ඇය ඇගේ සොළොස්වන වියේදී මෙසේ සිතුවාය. මගේ බාල සොහොයුරා තරුණ විය. මොහුගේ යසසද විශාලය. මොහුට ආවාහයක් කළ යුතුය. ඇය රජුට ඒ බව දැන්වූවාය. රජු ඒ අසා සොම්නසට පත්වූයේ යහපති. ඔහුට දන්වන්නයැයි කීය. ඕ තොමෝ ඔහුට දන්වා ඔහු විසින් පිළිගත් කල්හි එසේනම් දරුව, කුමාරිකාවක ගෙනෙමුයි කීය. බෝධිසත්ත්වයන් වහන්සේ කිසිවිටෙකත් මොවුන් විසින් ගෙනෙන ලද තැනැත්තිය මට රුචි නොවන්නේය. තමන් විසින්ම ඒ ගැන සිතාබලමියි කියා සිතා මෙසේ කීය. දේවියනි, දින කීපයක් රජුට කිසිවක් නොකියන්න. මම එක් දැරියක් තමන්ම සොයා මගේ කැමැත්ත තොපට කියන්නෙමි. මලණ්ඩ, එසේ කරන්න. ඔහු දේවියට වැඳ තමන්ගේ ගෘහයට ගොස් සහායකයන්ට දැනුම්දී වෙනත් වෙසකින් මැහුම් වැඩට උවමනා කරන උපකරණද ගෙන හුදෙකලාව උතුරු දොරටුවෙන් නික්ම උතුරු යවවැදුම්ගමට පිවිසියේය. එකල්හි එහි පැරණි සිටුකුලයක් පරිහානියට ගියේ විය. ඒ කුලයේ අමරාදේවී නම් දියණිය රූමත්ය. සියළු අංග ලක්ෂණයන්ගෙන් යුක්තය. පුණ්‍යවන්තය. ඇය එදිනම උදයේ කැඳ පිසගෙන පියා කුඹුරු වැඩ කරන තැනට යන්නෙමියි නික්ම එම මාර්ගයට පිවිසියේය. එන්නා වූ ඇය දැක මහාසත්ත්වයන් වහන්සේ දැකුම්කලු ස්ත්‍රියකි. ඉදින් ඇයට හිමියකු නොමැතිනම් ඇය මගේ බිරිඳ කරගැනීමට සුදුසුය කියා සිතීය.
ඇයද ඔහුව දුටු පමණින් ඉදින් මෙබඳු පුරුෂයකුගේ ගෙයි සිටින්නට ලැබේනම් මා විසින් පවුල පවත්වාගෙන යන්නට හැකිවේයැයි සිතීය.
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ මැයට හිමියකු සිටින හෝ නොසිටින බව නොදනිමි. හස්ත මුද්‍රාවෙන් ඇය විචාරමි. ඉදින් බුද්ධිමත් නම් එය තේරුම් ගන්නීයයි සිත දුරසිටම අත මිට මෙළවීය. ඕතොමෝ මොහු මා සස්වාමිකද අස්වාමිකද යන බව විචාරයි සිතා අත දිගු කළේය. ඔහු දැනගෙන ළඟට ගොස් සොඳුරිය! ඔබගේ නම කුමක්දැයි ඇසීය. ස්වාමීනි! මම අතීතයේ හා අනාගතයේ හෝ වර්තමානයේ නැතිද එම නම ඇත්තීය. සොඳුර, ලෝකයෙහි නොමැරෙන්නාහු නම් නැත්තේය. ඔබ ‘අමරා’ නම් වන්නීය. එසේය ස්වාමීනි. සොඳුර, කාටනම් කැඳ ගෙනයන්නීද? ස්වාමීනි, පූර්ව දේවතාවන්ට. පූර්ව දේවතාවෝ නම් මව්පියවරුය. ඔබගේ පියාට ගෙනයන්නී යයි සිතමි. එසේය ස්වාමීනි. ඔබගේ පියා කුමක් කරන්නේ ද? එක දෙකක් කරයි. එකක් දෙකක් කිරීම නම් සීසෑමයි. සොඳුර, සීසායි. එසේය ස්වාමීනි. කවර තැනක ඔබගේ පියා සීසාන්නේද? යම්කිසි තැනකට වරක් ගිය අය නැවත නොඑත්ද එතැනය. වරක් ගිය, නැවත නොඑන තැන නම් සොහොනයි. සොඳුර, සුසානය ළඟ සීසාන්නේද? එසේය ස්වාමීනි. සොඳුර, අදම සොයන්න. ඉදින් සොයන්නේ නම් නොසොයමි. ඉදින් නොසොයන්නේ නම් සොයන්නෙමි. සොඳුර, ඔබගේ පියා ගංඉවුරේ සීසායි. ජලය එන කල්හි නොසොයයි. නොඑන කල්හි සොයන්නේය. එසේය හිමියනි.
මෙපමණක් කථාබහකොට අමරාදේවිය ස්වාමීනි කැඳ බොන්නේදැයි ආරාධනා කළාය. බෝධිසත්ත්වයෝ මෙය ප්‍රතික්ෂේප කිරීම අමංගලයක් යැයි සිතා එසේය බොන්නෙමියි කීය. ඕ කැඳ කලය බිම තැබුවාය. මහාසත්ත්වයෝ ඉදින් අත් නොසෝදා අත් සෝදන්නට නොදී දෙන්නේය. මෙහිම ඇයව අතහැර යන්නෙමියි සිතීය. ඇය වනාහි පාත්‍රයෙන් ජලය ගෙනැවිත් අත් සෝදන්නට දී හිස් පාත්‍රය අතේ නොතබා බිම තබා කලය සොළවා කැඳවලින් පිරවීය. එහි වනාහි බත්ඇට ස්වල්පයකි. ඉක්බිති ඇයට මහාසත්ත්වයෝ මෙසේ කීහ. සොඳුර, කැඳ මෙතරම් ඝන ඇයි? ස්වාමීනි, ජලය ලැබුනේ නැත. ගොවියන් විසින් ජලය නොලබන ලදැයි සිතමි. එසේය ස්වාමීනි. ඇය පියාට කැඳ තබා මහාසත්ත්වයන්ට දුන්නාය. ඔහු කැඳ බී කට සෝදා සොඳුර, අපි ඔබගේ ගෙට යන්නෙමු. අපට මාර්ගය කියන්නැයි පැවසීය. ඇය එසේය කියා මාර්ගය කියන්න මේ ඒකක නිපාතයේ ගාථාව කීවාය.