මහා නිපාතය
1. මූගපක්ඛ ජාතකය (538)
මා පණ්ඩිතීයං යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී මහාභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනක භික්‍ෂූහු ධර්මසභායෙහි රැස්වී භාග්‍යවතුන් වහන්සේගේ මහාභිනික්මන අරබයා කතා සල්ලාපයෙහි යෙදුණාහුය. ඉක්බිති එහි වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ (බුදුරජාණන් වහන්සේ මා එන්නට පෙර කුමන කතාවක යෙදී සිටියේදැයි විචාල සේක. භික්‍ෂුහු මෙබඳු කතාවකැයි පිළිවදන් දුන්හ. මේ අත්බව වනවිට මම පාරමී ධර්මයන් සම්පූර්ණ කරන ලද්දේ වෙමි. එබැවින් අභිනික්මන් කිරිම පුදුමයක් නොවේ. නුවණින් වැඩී නැති පාරමිතා පුරන කාලයෙහි ද මම රජ සැප හැර ගිහි ගෙයින් නික්මුණෙමි. මෙසේ බුදුරජාණන් වහන්සේ වදාළ කල්හි, ඒ භික්‍ෂූන්ගේ ඉල්ලීම පරිදි අතීත කතාව මෙසේ ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර කසීරජ නම් රජ කෙනෙකු දැහැමින් සෙමෙන් රජකම් කළහ. ඒ රජුට දොළොස් දහසක් බිසෝවරු වූහ. එයින් එක්කෙනෙකු හෝ පුතෙකු හෝ දුවක නොලැබුවාය. වැසියෝ අපගේ රජතුමාට වංශ පරම්පරාව ගෙනයාමට පුතෙකු නැතැයි කුස ජාතකයෙහි දැක්වූ ආකාරයටම එක්රැස්ව පුතෙකු පතන්නැයි රජුට කීවාහුය. රජු දොළොස් දහසක් බිසෝවරුන්ට පුතුන් පතන්නැයි අණ කළේය. ඔව්හු චන්ද්‍රාදී දෙවිවරුන්ට උපහාර කොටත් දරුවන් පැතූ සේ වී නමුත් නොලැබුවාහුය. මදු රජුගේ දුව වූ චන්ද්‍රාදේවී නම් වූ ඒ රජුගේ අගමෙහෙසිය සීල සම්පන්න වූයේ පිරිසිදු කොට සිල් රකින්නීය. ඇයට ද පුතෙකු පතන්නැයි රජතුමා කීහ. අද පුන් පොහෝදාට පෙහෙවස් සමාදන්ව මිටි ඇඳක (අසුනක) වැදහෝනේ තමන්ගේ සිල් විමසා මම නොකඩ කොට සිල් රැක්කෙමි. මේ සත්‍ය බලයෙන් මට පුතෙකු උපදීවායි සත්‍යක්‍රියා කළේය.
ඇගේ සිල් තෙදින් ශක්‍ර භවනය උණුසුම් වී ගියේය. (ඇගේ සිල් තෙදින් සක්දෙවිදුගේ පඬුපුල් සලසුන උණුසුම් වී ගියේය). සක්දෙවිඳු එයට හේතු විමසා බලන්නේ චන්ද්‍රා දේවිය පුතෙකු පතන්නීය යන කරුණු දැන ඇයට පුතෙකු ලබාදෙමියි ඇයට සුදුසු පුතෙකු සොයා බලන්නේ එකල්හි දිවසැප විඳින බෝසත් දිටී. බෝසත්තු මේ වනවිට, පෙර අත්බවෙක විසිවසක් බරණැස රජකොට බලවත් අකුසල කර්මයක විපාක වශයෙන් ඔසුපත් නිරයේ උපන්නේ අවුරුදු අසූහාර දහසක් නිරාදුක් විඳ එයින් චුතව තව්තිසා දෙව්ලොව ඉපිද තම පින්ඵල අනුව දිවිදිව්‍ය සැපත් විඳ එයින් චුතව ඉහළ දෙව්ලොවකට යනු කැමතිව සිටියෝය. සක්දෙව් බෝසතුන් වෙත එළඹ ‘නිදුකාණෙනි, ඔබ මිනිස් ලොව උපන්නේ වී නම් පාරමිතා පුරන්නට ද හැකිවන්නේ ය. ලෝවැසි ජනයාට ද වැඩක් වන්නේය. බරණැස කසී රජතුමාගේ චන්ද්‍රානම් අගමෙහෙසිය පුතෙකු පතයි. ඇගේ කුස පිළිසිඳ ගන්න යැයි කීහ. හෙතෙම එයට පිළිවදන් දී දෙව්පුතුන් පන්සියයක් සමග තව්තිසාවෙන් චුතව තෙමේ චන්ද්‍රා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. සෙසු දෙව් පුත්තු ඇමති බිරින්දෑවරුන්ගේ කුස පිළිසිඳ ගත්තාහුය.
බෝසත්තු පිළිසිඳ ගත් මොහොතෙහි සිට දේවියගේ කුස විදුරු පිරුණාක් මෙන් බරින් යුතු විය. ඕ කුස දරුවෙකු පිළිසිඳිබව රජතුමාට දැන්වූවාය. රජතුමා ගැබ් පෙරහර දෙවී. පිරිපුන් ගැබැති ඕ තොමෝ දස එකඩමස් ඇවෑමෙන් පින්වත් පුතෙකු වැදුවාය. එදිනම ඇමති ගෙවල්වල ද පන්සියයක් කුමාරයෝ උපන්නෝය. මේ වනවිට රජතුමා ඇමති ගණයා විසින් පිරිවරන ලදුයේ රජසබයෙහි සිටියේය. දේවයිනි, ඔබට පුතෙකු උපන්නා යැයි ඔහුට දන්වන ලද්දේය. ඔහුට ඒ වචනය ඇසූ මොහොතෙහිම හටගත් දාරක ප්‍රේමය සම්මස් ආදිය සිඳීගෙන ඇටමිදුලුවල ගැටී සිටියේය. ඇතුළත සොම්නස් උපන්නේය. හදවත සිසිල් විය. ‘මට පුතෙකු උපන්නේය. ඔබලාට සතුටුදැයි’ ඇමතියන්ගෙන් විමසීය. දේවයන් වහන්ස, කුමක් කියන්නේ ද? අපි පෙර අසරණ වූවෝ වෙමු. ස්වාමියෙකු ලද්දෙන් දැන් සසරණ වූවෝ වෙමු. රජතුමා මගේ පුතාට පිරිවර ලැබීම සුදුසුය. ඇමති ගෙවල්වල අද කොපමණ දරුවන් ඉපිද ඇත්තේදැයි විමසා බලන්නැයි සේනාධි නායකයාට අණ කළේය. ඔහු පන්සියයක් දරුවන් දැක අවුත් රජතුමාට දැන්වීය.
රජතුමා පන්සියයක් දරුවන්ට කුමාර පළඳනා යවා කිරි මව්වරු පන්සියයක් ද යැවීය. මහසතුන් හට ඉතා උස්වීම ආදී දෝෂයන් නැති නොඑල්වන පියයුරු ඇති, මිහිරි කිරි ඇති කිරි මව්වරු හැටහතර දෙනෙකු පත්කළේය. ඉතා උස් තැනැත්තියගේ ඇකයෙහි හෙව කිරිබොන දරුවාගේ ගෙල දික්වේ. ඉතා මිටි තැනැත්තියගේ ඇකයෙහි සිට කිරිබොන දරුවාගේ පෙළගිය කොඳුඇට (නැමුණු කොඳු ඇට) පන්තිය වේ. ඉතා කෙට්ටු තැනැත්තියගේ ඇකයේ සිට කිරිබොන දරුවාගේ කලවා වේදනා ඇතිවේ. අති මහත් සිරුර ඇති තැනැත්තියගේ ඇකයේ සිට කිරිබොන දරුවාගේ පාදවල දෝෂ ඇතිවේ. ඉතා කලු තැනැත්තියගේ වක් වූ ශරීරය ඉතා ශීතල වේ. ඉතා සුදු තැනැත්තියගේ සිරුර ඉතා උණුසුම් වේ. එල්ලෙන තන ඇත්තියගෙන් කිරිබොන දරුවාගේ නාසා අග උඩට නැමුණේ වේ. කිසියම් තැනැත්තියක ගේ කිරි ඇඹුල් වේ. කිසියම් තැනැත්තියකගේ කිරි කටුක ආදී (රස) භේදයන්ගෙන් යුක්ත වේ. එනිසා මේ ඉතා දික්වීම ආදී සියලු දෝෂයන්ගෙන් දුරු වූ නොඑල්වෙන තන් ඇති, මිහිරි කිරි ඇති සූ සැටක් කිරි මව්වරු මහත්සත්කාර කොටදෙවා චන්ද්‍රාදේවියට ද වරයක් දුන්නේ ය. ඈ (පසුව) ගනිමියි කියා තැබීය.
නම් තබන දවසේ ද ලක්‍ෂණ පාඨක බමුණන්ට මහත් සත්කාර කොට, අතුරු ආන්තරා ගැන ද විමසීය. ඔව්හු කුමරාගේ වෙර ලකුණු බලා, මහරජ, භාග්‍යවත් පින් ඇති කුමරා එක් දිවයිනක්වත් නොහැර සතර මහා දිවයිනෙහි රාජ්‍ය විචාරීමට සුදුසු වන්නේ යැයි මොහුට කිසිදු අනතුරක් නොවන්නේ යැයි කීය. රජතුමා එයින් සතුටට පැමිණ යම්සේ කුමරා උපන් දිනයෙහි මුළු කසී රට පුරා වැසි වැස්සේය. රටවැසි රජ ඇමති මැති ආදින්ගේ සිත්සතන් හදවත් තෙත්වූවා මෙන් වී යැයි කියා ඔහුට තේමිය කුමරා යැයි නම් කළේය. (කුමරා) එක්වෙනි එක්මසක් ඉක්මවා ඔහු මනා (අලංකාර) කොට සරසා රජතුමා වෙත එළවීය. රජතුමා ප්‍රිය පෙනුමැති පුතු දැක, වැළඳගෙන ඇකයෙහි හොවා සෙනෙහසින් ඇලී ගොස් සිටියේය.