9. මහා උම්මග්ග ජාතකය (546)
පඤ්චාලො සබ්බසෙනාය යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසද්දී ප්‍රඥා පාරමිතාව අරබයා දේශනා කළ සේක. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව වර්ණනා කරන්නාහු ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රාඥය, පුථු ප්‍රාඥය, හාසු ප්‍රාඥය, ජවන ප්‍රාඥය, තික්ඛ ප්‍රාඥය, නිබ්බෙධික ප්‍රාඥය. අන්‍ය වාදයන් මර්දනය කරන්නේ තමන්ගේ ප්‍රඥාවේ බලයෙන් කූටදන්ත වැනි බ්‍රාහ්මණයන් සභිය ආදී පරිබ්‍රාජකයන් අංගුලිමාල ආදී සොරුන් ආලවක ආදී යක්‍ෂයන් ශක්‍ර ආදී දෙවියන්, බක ආදී බ්‍රාහ්මණයන් දමනය කොට ඔවුන් යන මගට යොමු වූවන් කළ සේක. උන්වහන්සේ විසින් බොහෝදෙනාට පැවිද්ද ලබාදී මාර්ගඵලයන්හි පිහිටුවූවාහු ශාස්තෲන් වහන්සේගේ ගුණකථා ප්‍රකාශ කරමින් හුන්හ. ශාස්තෲන් වහන්සේ වැඩමකර මහණෙනි! දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විචාරණ ලද්දාහු මෙබඳු කථාවකින්යැයි ප්‍රකාශ කළ කල්හි මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් ප්‍රඥාවන්ත වූයේ නොවෙයි. අතීතයෙහිද පරිපාකයට නොගිය ප්‍රඥා ඇතිව බුද්ධත්වය සඳහා පාරමී පුරන්නේ ද ප්‍රඥාවන්ත වූයේ යැයි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි මිථිලා නුවර වේදේහ නම් රජු රාජ්‍යය කරන කල්හි ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පණ්ඩිතයෝ සතර දෙනෙක් වූහ. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන සතරදෙනාය. එකල්හි රජතෙමේ බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා දිනයේ උදෑසන මෙබඳු සිහිනයක් දුටුවේය. රජගෙදර මිදුලෙහි සිව්කොණෙහි ගිනිකඳු සතරක් මහා ප්‍රාකාරයක ප්‍රමාණයෙන් පැන නැගී දිළිසෙයි. එහි මැද කනාමැදිරියකු ප්‍රමාණ වූ ගින්නක් හටගෙන ඒ මොහොතේදීම ගිනිකඳු සතරම මැඩගෙන බඹලොව තෙක් පමණ නැගීසිට මුළු සක්වල බබුලුවා සිටියේ බිම වැටුනු අබ ඇටයක් පවා පෙනෙයි. දෙවියන් සහිත ලෝකයා මල්මාලා සුවඳ වර්ගාදියෙන් පුදත්. මහජනයා ගිනිදැල් අතරෙන් ඇවිදිති. රෝමකූප මාත්‍රයකුදු උණුසුමක් නොදැනේ. රජු මේ සිහිනය දැක බියවී තැතිගත්තේ නැගිට කුමක් නම් වන්නේදැයි සිතමින් සිටින අතර අරුණාලෝකය උදාවිය.
පණ්ඩිතයෝ සතරදෙන උදයෙන්ම අවුත් කිම දේවයන් වහන්ස! සුවසේ සැතපුනේද කියා සැපවත් නින්ද පිළිබඳව විමසූහ. රජතෙමේ ආචාර්යවරුනි, මට සැපයක් නම් කොයින්ද? මෙබඳු සිහිනයක් දුටුවෙමියි ප්‍රකාශ කළේය. ඉක්බිති ඔහුට සේනක පඬිතුමා පැවසූයේ මහරජතුමනි! බිය නොවන්න. මෙය මංගල සිහිනයකි. මෙය අභිවෘද්ධියක්ම වන්නේයැ කියා කුමන කරුණක් නිසාදැයි ඇසූවිට මෙසේ කීය. මහරජතුමනි, පණ්ඩිතයන් වූ අප සතරදෙනා අභිභවනය කොට, ප්‍රභායෙන් තොර කොට අන්‍ය වූ පස්වන පණ්ඩිතයෙක් පහළ වන්නේය. අපි සතරදෙනා ගිනිකඳු සතර මෙන්ද යාගය මැද හටගත් ගින්නක් මෙන් පස්වැනි පණ්ඩිතයෙක් ලොව පහළ වන්නේය. දෙවියන් සහිත ලෝකයෙහි අසමාන වූ, අසම වූ ධුර ඇත්තේය. දැන් ඔහු කොහි සිටින්නේ ද? මහරජතුමනි! අද ඔහු පිළිසිඳ ගැනීම හෝ මව්කුසින් නික්මීම හෝ වන්නේයැයි තමන්ගේ ශිල්ප බලයෙන් දිවැසින් දුටුවාක් මෙන් විස්තර කළේය. රජතෙමේ එතැන් පටන් ඒ වචනය සිහිපත් කළේය.
මිථිලා නුවර වනාහි සිව්දොරටුවල පැසුළු යවමැදුන්ගම, දකුණු යවමැදුන්ගම, උතුරු යව මැදුම්ගම ආදී නියම්ගම් සතරකි. ඒවා අතුරෙන් පැසුළු යවමැදුම්ගම සිරිවඩු නම් සිටුවරයෙක් සිටියේය. ඔහුගේ බිරිඳ සුමනා දේවියයි. මහා සත්ත්වයන් වහන්සේ එදවස රජු විසින් සිහිනය දකින ලද වේලාවෙහිම තව්තිසා දෙව්ලොවින් චුතව ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අනික් දේවපුත්‍රයන් දහසක් ද තව්තිසා දෙව්ලොවින් චුතව ඒ ගමෙහි ම සිටු, උපසිටු ආදීන්ගේ කුලවල පිළිසිඳ ගත්හ. සුමනා දේවිය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතකු වැදුවාය. ඒ මොහොතෙහි ශක්‍රයා මිනිස්ලොව දෙස බලන්නේ මහාසත්ත්වයන් වහන්සේ මව්කුසින් බිහිවන බව දැනගෙන මේ බුද්ධාංකුරයා දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රකට කිරීමට වටනේයැයි මහාසත්ත්වයන් වහන්සේ මව්කුසින් නික්මෙන කල්හි නොපෙනෙන විලාශයෙන් අවුත් ඔහුගේ අතෙහි එක් ඖෂධ ගැටයක් තබා සිය පුරයටම ගියේය. මහාසත්ත්වයන් වහන්සේ එය අතෙහි මිට මොළවා ගත්තේය. ඔහු මව්කුසින් බිහිවන කල්හි මවට අල්පමාත්‍ර වූද දුකක් ඇති නොවීය. ඩබරාවකින් වෑහෙන දියත්තක් මෙන් පහසුවෙන් හා සුවයෙන් නික්මුණු සේක.
මව ඔහුගේ අතෙහි බෙහෙත් ගැටයක් දැක, දරුව, මේ කුමක් ලබන ලද්දේදැයි ඇසීය. මෑණියනි! ඖෂධයක් යැයි දිව්‍ය ඖෂධය මැණියන්ගේ අතෙහි තැබීය. මෑණියනි! මෙය ගෙන යම්කිසි රෝගයකින් පෙළෙන අය සිටින්නම් ඒ අයට දෙන්නයැයි කීය. ඇය තුටුපහටු වූවා සිරිවඩු සිටුතුමාට දැන්වූවාය. ඔහුට වනාහි වර්ෂ හතක් පැරණි හිසරුජාවක් ඇත. ඔහු බොහෝ සතුටට පත්ව මෙතෙමේ මව්කුසින් බිහිවන්නේ ඖෂධයක් ගෙන ආවේයැයි උපන් විගසම මව සමග කීවේය. මෙබඳු වූ පුණ්‍යවන්තයකු විසින් දෙන ලද ඖෂධය මහා ආනුභාව ඇත්තේ වන්නේය. ඒ ඖෂධය ගෙන ගලක අතුල්ලා ඉන් ස්වල්පයක් නළල අග තැවරිය. වර්ෂ හතක් පැරණි හිසරුජාව නෙලුම් පතකින් ජලබිඳුවක් මෙන් පහව ගියේය. ඔහු, එය මහානුභාව සම්පන්න ඖෂධයක් යැයි මහත් සතුටට පත්විය. මහා සත්ත්වයන් වහන්සේ ඖෂධයන් ගෙන මෙලොවට පැමිණි බව සැම තන්හි ප්‍රකට විය. යම් ඒ ආබාධිත කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝම සිටුතුමාගේ නිවසට ගොස් බෙහෙත් ඉල්ලති. ගලෙක අතුල්ලා ටිකක් ගෙන ජලය හා මුසුකොට සියලුදෙනාටම දෙත්. දිව්‍ය ඖෂධය ශරිරයේ ස්පර්ශ කළ පමණින්ම සියළු ආබාධයෝ සංසිඳෙත්. ඒ සුවපත් වූ මිනිස්සු සිරිවඩු සිටුතුමාගේ නිවසේ ඇති ඖෂධය මහත් වූ අනුභාව සම්පන්නයැයි වර්ණනා කරමින් නික්ම යත්. මහාසත්ත්වයන් වහන්සේට නම් තබන දිනයෙහි මාගේ පුත්‍රයාට මුතුන් මිත්තන්ගේ නාමයෙන් ඵලයක් නැත. ඖෂධ නාමයම වේවා’යි කියා ඔහුට මහෝසධ කුමාරයා යැයි නම් කළේය.