සත්දරු ප්රශ්නය
මේ එහි විමසීම් ප්රීති වාක්යයයි –
මංසං ගොණො ගණ්ඨි සුත්තං පුත්තො ගොළ රථෙන ච,
දණ්ඩො සීසං අහීචෙව කුක්කුටො මණි විජායනං,
ඔදනං වාලුකඤ්චාපි තලාකුය්යානං ගද්රභො මණීති
දණ්ඩො සීසං අහීචෙව කුක්කුටො මණි විජායනං,
ඔදනං වාලුකඤ්චාපි තලාකුය්යානං ගද්රභො මණීති
එහි මංසං යනු එක්දිනක් බෝධිසත්ත්වයන් වහන්සේ ක්රීඩා මණ්ඩපයට යන්නේ එක් උකුස්සෙක් මස් ලෑල්ලකින් මස් වැදැල්ලක් ගෙන අහසට නැග්ග. ඒ දැක දරුවෝ මස්වැදැල්ල බිම හෙළවන්නෙමුයි උකුස්සා ලුහුබැන්දාහ. උකුස්සා ඒ අත මේ අත දුවයි. ඔවුහු අහස දෙස බලාගෙන උකුස්සා පසුපස යන්නාහු ගල් ආදියෙහි හැපී වෙහෙසට පත්වෙති. ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය. මම එය හරවන්නෙමියි ස්වාමීනි! අත්හරවන්න. එසේනම් බලව් යැයි කීය. ඔහු උඩ නොබලාම වාත වේගයෙන් දුවගොස් උකුස්සාගේ සෙවණැල්ල පාගා මහා හඬක් නැගීය. ඔහුගේ තේජසින් ඒ හඬ උකුස්සාගේ උදරය විනිවිද ගියාක් මෙන් විය. ඌ බියපත්ව මස්වදැල්ල අත්හැරියේය. මහාසත්ත්වයන් වහන්සේ මස්කෑල්ල අත්හළ බව දැනගෙන සෙවනැල්ල දෙස බලමින් බිම වැටීමට ඉඩනොදී උඩදීම අල්ලා ගත්තේය. ඒ පුදුමය දැක මහජනයා හඬදෙමින්, අත්පොළසන් දෙමින් මහා හඬක් නැඟූහ. ඇමැතියා ඒ පුවත දැනගෙන රජුට හස්නක් යැවීය. පණ්ඩිතයා මෙනම් වූ උපායකින් මස්වැදැල්ල හරවාපීය. මෙය ඔබවහන්සේ දැනගනීවා. මේ පුවත අසා රජතෙමේ සේනකගෙන් විචාළේය. කෙසේද සේනක? අපි පණ්ඩිතයාව රැගෙන එමුද? ඔහු මෙසේ සිතීය. ඔහු මෙහි පැමිණි කාලයේ පටන් අපි ආලෝකයෙන් තොර වූවෝ වෙමු. අප සිටින බවවත් රජු නො දකින්නේ ය. ඒ නිසා ඔහුව මෙහි ගෙන එන්නට ඉඩ නොදිය යුතුයයි හෙතෙම ගුණමකු බව නිසා මහරජතුමනි! එපමණකින් පණ්ඩිත නොවෙයි. මෙය වනාහි සුළු දෙයකි යැයි කීය. රජු මධ්යස්ථව සිට එහිදීම ඔහුව විමසා බලන්නයැයි නැවතත් හසුනක් යැවීය.
ගොණො යනු එක් මැදුම් යව ගම්වැසි පුරුෂයෙක් වැසිවට කල්හි කුඹුර සාන්නෙමියි වෙනත් ගමකින් ගොනුන් මිලට ගෙන අවුත් ගෙදර වැස ඊළඟ දවසේ තණකැවීම සඳහා තණ පිට්ටනියට ගෙනගොස් ගොනුපිට සිටියේ, වෙහෙසට පත්ව ඉන් බැස ගසමුල සිටියේ නින්දට වැටුනේය. ඒ වේලාවේ එක් සොරෙක් ගවයන් රැගෙන පලා ගියේය. ඔහු පිබිද ගවයන් නොදැක එහෙ මෙහෙ බලාගවයන් රැගෙන පලායන සොරු දැක වේගයෙන් හඹාගොස් මාගේ ගවයන් කොහි ගෙනයන්නේදැයි ඇසීය. මගේ ගවයන් මා කැමැති තැනකට ගෙනයමියි ඔහු කීය. ඔවුන්ගේ විවාදය අසා මහජනයා රැස්වූහ. පණ්ඩිතයෝ ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ හඬ අසා ඔවුන් දෙදෙනාවම කැඳවා ඔවුන්ගේ හැසිරීම දැකම මොහු සොරුය. මොහු ස්වාමියා යැයි දනී. එසේ දැනගෙනත් විවාද කරන්නේ ඇයිදැයි ඔවුන්ගෙන් ඇසීය. ගවයන් හිමි තැනැත්තා මෙසේ කීය. මම මේ ගවයන් අසවල් ගමෙන් අසවලාගෙන් මිළට ගෙන අවුත් ගෙදර තබාගෙන තණ පිට්ටනියට ගෙන ගියෙමි. එහිදී මාගේ ප්රමාදයක් දැක මේ තැනැත්තා ගවයන් රැගෙන පලා ගියේය. ඒ මම ඒ මේ අත බලන්නේ මොහුව දැක ලුහුබැඳ ගොස් අල්ලා ගත්තෙමි. අසවල් ගම්වැසියා මා විසින් මේ ගවයන් මිලදී ගත්බව දනීයැයිද කීවේය. සොරා මෙසේ කියයි. මේ මාගේ ගෙදර උපන් ගවයන්ය. මොහු බොරු කියයි යැයි කීවේය.
ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය. මම ඔබලාගේ නඩුව ධර්මයෙන් විසඳමි. විනිශ්චයෙහි සිටින්නහුදැයි විචාරා එසේයැයි කී කල්හි මහාජනයාගේ අදහස් දැනගැනීමද වටින්නේ යැයි පළමුව සොරාගෙන් ප්රශ්න කළේය. නුඹ විසින් මේ ගවයන්ට මොනවා කවන ලද ද? මොනවා පොවන ලද ද? කැඳ පොවන ලද බවත්, තල, පිටි, මෑ ඇට ආදිය කවන ලද බවත් පැවසීය. ඉක්බිති ගව හිමියාගෙන් විචාළේය. ඔහු මෙසේ කීය. ස්වාමීනි! දුප්පත් මට කැඳ ආදිය නැත. තණකොල කවන ලදී. පඬිතුමා ඔවුන්ගේ කථාව මහජනයාට දන්වා පියඟු කොල ගෙන්වාගෙන වංගෙඩියේ ලා කොටා ගවයන්ට පෙවීය. ගවයෝ තණකොළම වැමෑරූහ. පඬිතුමා මෙය බලන්න යැයි මහජනයාට පෙන්වා සොරාගෙන් විචාළේය. ඔබ සොරෙක්ද, නැද්ද? සොරක්මියි පිළිතුරු දුන්නේය. එසේනම් මෙතැන් පටන් මෙබඳු දේ නොකරව. බෝධිසත්ත්වයන්ගේ පරිවාර ජනයා ඔහුව බැහැරට ගෙන ගොස් අතින් පයින් තලා දුර්වල කළහ. ඉක්බිති පඬිතුමා ඔහු අමතා අවවාද කොට තොප ඇස් ඉදිරිපිට මේ දුක් විඳින්නෙහි. පරලොවදි වනාහි නිරයාදියෙහි මහත් වූ දුකක් අනුභව කරන්නෙහිය. මෙතැන් පටන් මේ වැරදි ක්රියාව අතහරුවයි පන්සිල් දුන්නේය. ඇමැතියා ඒ පුවත ඇති පරිදි රජුට සැල කළේය. රජු සේනකගෙන් අසා රජතුමනි! ගොන් ප්රශ්නය යමකු විසින් විනිශ්චය කරන ලද ද? කී කල්හි රජු මධ්යස්ථව නැවත එබඳු වූම පණිවිඩයක් යැවීය. මෙසේ සියලු වාදයන්හිදී දතයුතුයි. මෙයින් පසුව වනාහි උදාන වාක්ය පමණක් වෙන්කර දක්වන්නෙමු.
ගණ්ඨී යනු එක් දුප්පත් කතක් නොයෙක් වර්ණයෙන් යුත් නූලින් ගැට බැඳ කරන ලද නූල් කැටිවලින් සාදන ලද පළඳනාවක් ගෙලෙන් ගලවා සළුව මතුපිට තබා පණ්ඩිතයන් විසින් කරන ලද පොකුණට නාන්නට බැස්සේය. වෙනත් තරුණ කතක් එය දැක ලෝභ උපදවා එය ඔසවා මෑණියනි! මෙය අතිශයින් දැකුම්කළුය. මෙය මොනවායින් කරන ලදද? මම ද මට මෙයින් එකක් කරන්නෙමියි ගෙලෙහි පැළඳ එහි ප්රමාණය බලන්නෙමියි කී කල්හි ඇගේ අවංකකම නිසා එසේ පැළඳ බලන්නයැයි කී කල්හි ගෙලෙහි පැළඳගෙන පලා ගියාය. අනිත් තැනැත්තිය එය දැක වහා ගොඩට අවුත් සළුව හැඳ පසුපස දුවගොස් මාගේ පළඳනාව ගෙන කොහි යන්නේදැයි කියා සළුවෙන් අල්ලා ගත්තේය. අනිත් තැනැත්තිය (සෙර) මම නුඹ සතුවක් නොගත්තෙමි. මගේ ගෙලේ ඇත්තේ මගේ පළඳනාවයි කියා කීවාය. ඒඅසා මහජනයා එතැනට රැස්වූහ. පණ්ඩිතයෝ දරුවන් සමග ක්රීඩා කරන්නේ කෝළාහල කරමින් ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ ඝෝෂාව අසා මේ කවර හඬක්දැයි අසා දෙදෙනාගේ කලහයට හේතු වූ කරුණ අසා ඔවුන් කැඳවා ස්වරූපයෙන්ම මේ සෙරය. මේ සෙර නොවේ. කියා දැනගෙන ඒ කාරණය අසා මාගේ විනිශ්චයෙහි පිහිටන්නාහු දැයි විචාරා එසේයැයි කීකල්හි පළමුව සෙරගෙන් ඇසීය. නුඹ මේ පළඳනාව පළඳන්නී කවරනම් සුවඳ වර්ගයක් ඇඟ ගල්වන්නීදැයි ඇසීය. මම නිරන්තරයෙන් ‘සබ්බ සංහාරක’ (සියල්ල වනසන) නම් වූ සුගන්ධාලේපය ආලේප කරමියි කීවාය. සබ්බ සංහාරක යනු සියළු සුවඳ වර්ග යොදා සාදන ලද සුවඳ වර්ගයකි. අනතුරුව අනික් තැනැත්තියගෙන් විචාළේය. ඇය මෙසේ කීවාය. දුප්පත් වූ මට සබ්බසංහාරක කොයින්ද? මම නිරන්තරයෙන් පියඟු මල්සුවඳ ආලේප කරමියි කීවාය. පණ්ඩිතයාණෝ ජලපත්රයක් ගෙන්වාගෙන ඒ ආභරණය දමා සුවඳ වර්ග පිළිබඳ දන්නකු කැඳවා මේ වතුර භාජනය කවර සුවඳදැයි බලා කියන්නැයි කීය. ඔහු සුවඳ විමසා බලන්නේ පියඟු මස්සුවඳ බව දැනගෙන මේ ඒකක නිපාතයේ ආ ගාථාව ප්රකාශ කළේය.