ගද්රභ ප්රශ්නය
දණ්ඩො යනු ඉක්බිති එක්දිනක් පණ්ඩිතයන්ව පරීක්ෂා කරමුයැයි කිහිරි දණ්ඩක් ගෙන්වාගෙන එයින් වියතක් පමණ ගෙන ලියනවඩුවකු ලවා මනාව ලියවා පැදුන් යවමැදි ගමට යැවූහ. යව මැදුම්ගම වැසියෝ වනාහි පණ්ඩිතයෝය. මේ කිහිරි දණ්ඩෙකි. අග මෙයයි. මුල මෙයයි කියා දැනගනිත්වා. ඉදින් නොදනිත්ද දහසක් දඩයයි කියා යැවීය. ගම්වැසියෝ එක්රැස් වී එය දැනගන්නට නොහැකි වූවාහු සිටුවරයාට කීහ. යම්විටක මහෞෂධ පඬිතුමා දන්නේද කැඳවා එය අසා දැනගන්න යැයි කීහ. සිටුවරයා පණ්ඩිතයන්ට ක්රීඩා මණ්ඩපයෙන් කැඳවා ඒ කාරණය දන්වා, දරුව අපි නොදන්නෙමු. දරුව, නුඹ හැකිවන්නේදැයි විචාළේය. එය අසා පඬිතුමා රජුට මෙහි අගින් හෝ මුලෙන් ප්රයෝජනයක් නැත. මා විමසා බැලීම සඳහා එවන ලදීයැයි සිතා මෙහි ගෙනෙව් දරුවෙනි, මම දනිමියි අතින් ගෙන මෙය මුලයි. මෙය අගයයි දැනගෙන නමුත් මහජනයාගේ සිත දිනාගැනීම සඳහා ජල භාජනයක් ගෙන්වා කිහිරි දණ්ඩ මැදින් නූලක් බැඳ නූල අගින් අල්ලා ගෙන කිහිරි දණ්ඩ ජලය මතුපිට තැබීය. මුල බර වැඩි බැවින් පළමුව වතුරෙහි ගිලුනේය. ඉක්බිති මහජනයාගෙන් විමසීය. ගසෙහි වනාහි මුල බර වැඩිද, නැතහොත් අග බර වැඩිද? පණ්ඩිතයෝ මුලයැයි කීහ. එසේනම් මෙහි මුලින් ගිලුනු පැත්ත බලව්. මේ මුලයැයි කීය. මේ සළකුණෙන් අග හා මුල දැක්වීය. ගම්වැසියෝ ද මේ මුලය. මේ අගය කියා රජුට යැවූහ. රජු සතුටු වී කවරෙක් මෙය දැනගත්තේදැයි විචාරා සිරිවඩු සිටුපුත් මහෞෂධ පණ්ඩිතයන් යැයි අසා, කිම සේනකය, අපි ඔහුව ගෙන්වා ගනිමුදැයි විචාළේය. දේවයන් වහන්ස! ඉවසන සේක්වා. වෙනත් උපායකින්ද ඔහුව විමසා බලමු.
සීසං යනු එක්දිනක් ස්ත්රියකගේද පුරුෂයෙකුගේ ද කියා හිස් දෙකක් ගෙන්වාගෙන මේ ස්ත්රියගේ හිසය. මේ පුරුෂයාගේ හිසය කියා දනිත්වා යැයිද නොදන්නවුන්ට දහසක් දඩයැයිද කියා යැවූහ. ගම්වැසියෝ නොදන්නාහු මහාසත්ත්වයන් වහන්සේගෙන් ඇසූහ. ඔහු දුටු පමණින්ම දැනගත්තේය. පුරුෂ හිසෙහි වනාහි හිස්කබලේ මූට්ටුව සෘජු වෙයි. ස්ත්රී ශීර්ෂයෙහි ඇදට ඇඹරි යයි. ඔහු මේ සළකුණෙන් මේ හිස ස්ත්රියකගේය. මේ හිස පුරුෂයකුගේය කියා කීවේය. ගම්වැසියෝ රජුට දැනුම් දුන්හ. ඉතිරිය පෙර පරිද්දෙනි.
අහි යනු ඉක්බිති එක්දිනක් සර්පයකු ද සැපින්නක ද ගෙන්වා ගෙන මේ සර්පයාය. මේ සැපින්නය කියා දැන ගනියැයි යැවූහ. ගම්වැසියෝ පණ්ඩිතයන් විචාළහ. හෙතෙම දකිත්ම දැනගත්තේය. සර්පයාගේ නගුට මහතය. සැපින්නගේ සිහින්ය. සර්පයාගේ හිස මහතය. සැපින්නගේ දිගය. සර්පයාගේ ඇස් විශාලය. සැපින්නගේ කුඩාය. සර්පයාගේ නයි පෙණයේ ප හැඩය ගත් රූපය එකට බැඳී ඇත. සැපින්නගේ එය වෙන්ව පිහිටියේය. හෙතෙම මේ සළකුණෙන් මේ සර්පයාය. මේ සැපින්න යැයි කීවේය. ඉතිරිය පෙර කියූ පරිදිය.
කුක්කුටො යනු ඉක්බිති එක්දිනක් සැදුම් යවමැදිගම වැසියෝ අපට සම්පූර්ණ සුදු පාදයෙහි අං ඇති, හිසෙහි මොල්ලියක් ඇති තුන්කල්හි නොඉක්මවා නාදකරන ගවයකු එවන්න. ඉදින් නොවන්නේ නම් දහසක් දඩය කියා යැවූහ. නොදන්නාහු පණ්ඩිතයන්ගෙන් විමසූහ. හෙතෙම කීය. රජු තොපට සම්පූර්ණ සුදුපාට කුකුළෙකු එවන ලෙස දන්වයි. ඒ සතාගේ වනාහි පාදයේ නියපොතු ඇති බැවින් පාද විසාණ නම් වෙයි. හිසෙහි සිළුව ඇති බැවින් සීය කකුධ (මොල්ලිය) නම් වේ. තුන්වරක් හඬලන බැවින් තුන්කල්හි නොවරදවා නාදකරයි නම් වේ. ඒ නිසා මෙබඳු ස්වරූප ඇති කුකුලකු යවව් යැයි කීය. ඔව්හු යැවූහ.
මණි යනු ශක්රයා විසින් කුසරජුට දෙන ලද මැණික අට තැනකින් වක්වූයේ විය. එහි නූල දිරාගියේ විය. කිසිවෙක් පැරණි නූල බැහැරකොට අලුත් නූලක් යොදන්නට අසමත් විය. එක්දිනක් මේ මැණිකෙන් පැරණි නූල ඉවත්කර අළුත් නූලක් දමන්ට යැයි යැවූහ. ගම්වැසියෝ පැරණි නූල ඉවත්කරන්ට හෝ අළුත් නූලක් දමන්නට හෝ අසමත් වූහ. නොහැක්කාහු පණ්ඩිතයගෙන් ඇසූහ. හෙතෙම නොසිතව් යැයි කියා මීපැණි බිඳක් ගෙනෙව්යැයි ගෙන්වාගෙන මාණික්යයෙහි දෙපැත්තේ ඇති ජිද්රාවන්හි මීබිඳුව තවරා කම්බිලි වස්ත්රයක නූලක් අඹරා එහි අග මීපැණි තවරා ස්වල්පයක් සිදුරෙහි ප්රවේශ කොට කුහුඹුවන් නිකුත්වන තැන තැබුවේය. කුහුඹුවෝ මීපැණි සුවඳට බිලයෙන් නික්ම මැණිකෙහි ඇති පැරණි නූල කමින් ගොස් කම්බිලි නූල අගින් ඩැහැගෙන අදිමින් එක් පැත්තකින් බැහැරට ගියහ. පණ්ඩිතයෝ එසේ පිවිසි බව දැනගෙන රජුට දෙවයි ගම්වැසියන්ට දුන්නේය. ඔවුහු රජුට යැවූහ. ඔහු නූල දැමූ උපාය ගැන අසා සතුටට පත් විය.
විජායන යනු එක්දවසක් වනාහි රජුගේ මංගල වෘෂභයාව මාස ගණනක් කවා මහා උදරයක් ඇතිකොට අං සෝදා තෙල් ගා කහ වතුරෙන් නහවා පැදුම්යව මැදිගම් වැසියන්ට යැවූහ. නුඹලා වනාහි පණ්ඩිතයෝය. මේ රජුගේ මංගල වෘෂභයාය. ගැබ් පිහිටා ඇත. මැය වදවා වසුපැටියකු සමග එවන්න. නොඑවන්නන්ට දහසක් දඩ. ගම්වැසියෝ වනාහි මෙය කරන්නට නොහැක. කුමක් කරමුද කියා පණ්ඩිතයන්ගෙන් ඇසූහ. මෙය ප්රශ්නයක් හා සමාන වූවක් විය යුතුයයි සිතා රජු සමග කථා කිරීමට සමර්ථ විශාරද පුරුෂයකු සොයා ගැනීමට හැකිදැයි විචාළේය. පඬිතුමනි! එය අපහසු දෙයක් නොවේ. එසේනම් ඔහුව කැඳවව. ඔව්හු කැඳවූහ. ඉක්බිති මහාසත්ත්වයන් ඔහුට මෙසේ කීය. එම්බා පුරුෂය! ඔබ තමන්ගේ කෙස් පිටදිගේ විසුරුවාගෙන නොයෙක් ආකාර බලවත් විලාප නගමින් රජගෙයි දොරටුව ළඟට යව. වෙන අය විසින් විචාරකල්හි කිසිවක් නොකියා වැලපෙව. රජු විසින් වනාහි හැඬීමට කරුණු විචාළ කල්හි දේවයන් වහන්ස! මගේ පියා දරුවකු ප්රසූත කරන්නට අසමත් වෙයි. අදට සත් දවසකි. මට පිහිටවන්න. දරුවකු බිහිකිරීමට උපායක් කියන්න යැයි කියා කී කල්හි රජු විසින් කිම, නන් දොඩවන්නෙහිද? මෙය සිදුවිය නො හැක්කකි. පුරුෂයෝ වනාහි දරුවන් බිහි නොකරත් යැයි කී කල්හි, එසේනම් දේවයන් වහන්ස, මෙය සත්යයක් නම් පැදුම් යව මැදි ගම්වැසියෝ කෙසේනම් මංගල වෘෂභයා ලවා පැටවකු බිහිකරන්නේ කෙසේද කියා කියන්නැයි ඇසීය. ඔහු එසේයැයි පිළිතුරු දී එසේ කළේය. රජතුමා, මේ ප්රශ්නයට සමාන ප්රශ්න විසඳුම කවරකු විසින් සිතන ලදදැයි අසා මහෞෂධ පඬිතුමා විසින්යයි අසා සතුටට පත්විය.