කකණ්ටක ප්රශ්නය
නැවත එක්දිනක් රජතුමා පණ්ඩිතයන් සමග උයනට ගියේය. එකල්හි එක් බොහොඬෙක් (කටුස්සෙක්) තොරණ අග වාසය කරයි. ඌ රජතුමා එනු දකිනවිට එයින් බැස භූමියෙහි හොත්තේය. රජතුමා ඔහුගේ ක්රියාව දැක පණ්ඩිතය! මේ කටුස්සා කුමක් කරන්නේදැයි විචාළේය. මහරජතුමනි! ඔබවහන්සේට සේවය කරයි. ඉදින් මෙසේ අපගේ සේවය නිශ්ඵල නොවේවා. මොහු සම්පත් දෙමි. දේවයන් වහන්ස, ඌට භෝග සම්පත්වලින් ප්රයෝජනයක් නැත. මොහුට කෑමට යමක් දීම ප්රමාණවත්ය. මොහු කුමක් අනුභව කරන්නේද? දේවයන් වහන්ස, මස් කොපමණ දෙන්නට වටීද? දේවයන් වහන්ස, තුට්ටුවක් පමණ වටිනා මස්. රජු එක් පුරුෂයකුට අණ කළේය. රජු විසින් දෙන දෙය නම් තුට්ටුවක් පමණය. එය නොවටී. මොහුට නිරන්තරයෙන් අඩමස්සක් වටිනා මස් ගෙන දෙන්නයැයි කීය. ඔහු යහපතැයි එතැන් පටන් එසේ කළේය. හෙතෙම එක් දවසක් සත්ත්ව ඝාතනය නොකරන පෝය දිනයක් බැවින් මස් නොලැබ ඒ අඩමස්ස විද නූලකින් ගැටගසා බොහොඬාගේ ගෙලෙහි බැන්දේය. ඉක්බිති ඔහුට ඒ හේතුවෙන් මානයක් ඇතිවිය. ඒ දවසේම රජු නැවත උයනට ගියේය. ඔහු එන්නා වූ රජු දැක ධනය නිසා උපන් මානයෙන් යුතුව වේදේහය! ඔබ වනාහි මහා ධනවතෙකි. මමත් එසේය. මෙසේ තමාව රජු සමග සමකරන්නේ බිමට නොබැස තොරණ අගම සිට හිස සොළවමින් සිටියේය. රජු ඔහුගේ ක්රියාව බලා පණ්ඩිතය, මොහු පෙර මෙන් අද බිමට නොබසියි. කුමන කරුණක් නිසාදැයි විමසමින් ප්රථම ගාථාව කීය.
මේ බොහොඬා පෙර තොරණ අගට වී ගර්වයෙන් සිටියේ නැත. මේ කටුස්සා කුමක් නිසා මෙසේ තද බවට පත්වී ඇත්දැයි මහෞෂධ පඬිතුමනි, දැනගන්න.
එහි උන්නමති යනු යම්සේ අද බිමට නොබැස තොරණ අග සිට හිස සොළවමින් සිටියි. මෙසේ පෙර සිටියේ නැත. කෙන ථද්ධො කවර කරුණක් නිසා සිතෙහි දැඩි බවට පත්වූයේද?
පොහොය දිනයේ සත්ත්ව ඝාතනය නොමැති බැවින් මස් නොලබන්නා වූ රාජපුරුෂයා විසින් ගෙළෙහි බඳින ලද අඩමස්ස නිසා හටගත් මානය නිසා විය යුතුයයි පණ්ඩිතයන් දැනගෙන මේ ගාථාව ප්රකාශ කළහ.
බොහොඬා කලින් නොලද අඩමස්සක් ලැබ මිථිලා නුවර වේදේහ රජුට නින්දා කරයි.
රජතුමා ඒ පුරුෂයා කැඳවා මෙසේ විචාළේය. ඔහු ඇති තතු වාර්තා කළේය. රජු කිසිවක් නොවිචාරා ම සර්වඥයන් වහන්සේ නමක් මෙන් පණ්ඩිතයන් විසින් කටුස්සාගේ සිතැඟි දැනගත්තේයැයි අතිශයින් සතුටට පත්ව පණ්ඩිතයන්ට සිව්දිසාවෙන් බදු ගෙව්වේය. රජු වනාහි කටුස්සා කෙරෙහි කිපී දෙනු ලබන මස් ආහාරය නතර කරන්ට පටන් ගත්තේය. පණ්ඩිතයෝ වනාහි එසේ කිරීම අසාධාරණයයි එය නතර කරවීය.
කටුසු ප්රශ්නය නිමියේ ය.
සිරිකාලකණ්ණි ප්රශ්නය
ඉක්බිති මිථිලා නුවර වැසි පිංගුත්තර නම් එක් මානවකයෙක් තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමන් ළඟ ශිල්ප හදාරන්නේ ඉතා ඉක්මණින් ඉගෙන ගත්තේය. හෙතෙම දැනුම් දී ගුරුතුමාණෙනි! මම යන්නෙමියි පැවසීය. ඒ කුලයෙහි වනාහි වයසට පත් දුවණියක් සිටීනම් ඇය ප්රධාන ශිෂ්යයාට දිය යුතුය යනු චාරිත්රයයි. ඔහුගේ ගුරුතුමාගේ එක් දුවණියක් සිටී. ඇය රූමත්ය. දෙවඟනක් මෙනි. ඉක්බිති ඔහුට කථාකොට දරුව, මේ දියණියව ඔබට දෙමි. ඇයවද රැගෙන යන්න යැයි කීය. ඒ තරුණයා වනාහි අවාසනාවන්තයෙකි. කාළකණ්ණියෙකි. කුමාරිකාව මහා පුණ්යවන්තය. ඔහුට ඇය දැක සිත නොඇලෙයි. ඔහු ඒ බව දන්වන්නේ නමුදු ගුරුතුමාගේ වචනය කඩ නොකරමියි යෝජනාව පිළිගත්තේය. බ්රාහ්මණයා තම දියණියව ඔහුට දුන්නේය. හෙතෙම රාත්රී භාගයෙහි අලංකාර සිරි යහනෙහි හොත්තේ ඇය අවුත් සයනයට නගිනවිටම ක්ලාන්ත වූවාක් මෙන් ඇඳෙන් බැස බිම වැතිරුණේය. ඇයද ඇඳෙන් බැස ඔහුගේ සමීපයට ගියාය. ඔහු නැගිට නැවතත් සයනයට නැග්ගේය. ඇයද නැවත සයනයට නැග්ගේය. ඔහු නැවතත් සයනයෙන් බැස්සේය. කාලකණ්ණියකු ශ්රීදේවිය හා සම නොවෙයි. කුමාරිකාව සයනෙහිම වැතිර සිටියාය. ඔහු බිම නිදාගත්තේය.
මෙසේ දින සතක් ගතකොට ඇයව ගෙන ගුරුතුමාට වැඳ පිටත්ව ගියේය. අතරමගදී කථාබස් පමණකුදු නොවීය. අකමැත්තෙන්ම දෙදෙනා මියුළු නුවරට පැමිණියාහ. පිංගුත්තර තෙමේ නගරයට නුදුරෙහි එක් ගෙඩි සහිත දිඹුල් ගසක් දැක බඩසයින් පෙලුන්නේ ගසට නැග දිඹුල් කෑවේය. ඕතොමෝද හටගත් ආශා ඇතී මටත් ගෙඩි බිමට හෙළන්නයැයි කීවාය. කිම නුඹට අත්පා නැද්ද? තමාම ගසට නැග ගෙඩි කන්න යැයි කීවේය. ඇය ගසට නැග ගෙඩි කෑවාය. ඔහු ඇය ගසට නැගුණු බව දැන වහා ගසින් බැස ගසයට කටු අතුරා කාළකණ්ණි තැනැත්තියගෙන් මිදුනේ වෙමියි කියා පළාගියේය. ඕ තොමෝ ගසින් බැස යන්නට අසමත් වන්නී එහිම සිටියාය. ඉක්බිති රජතුමා උයන්කෙළි කෙළ ඇතාගේ පිට සිටියේ සවස් වේලාවේ නගරයට පිවිසෙන්නේ එහි සිටිය ඇයව දැක හටගත් පිළිබඳ සිත් ඇත්තේ ස්වාමියෙක් සිටීද, නැද්ද කියා ඇස්සවීය. ඕ තොමෝ ස්වාමීනි, හිමියකු සිටී. කුලයෙන් දෙන ලද ස්වාමියාය. ඔහු වනාහි මා මෙහි හැරදමා පළාගියේ යයි කීවාය. ඇමැතියා රජුට ඒ කරුණ සැළ කළේය. අයිතිකරුවකු නැති භාණ්ඩයක් රජුට අයත්යැයි රජු ඇයව බස්සවාගෙන ඇතුපිට නංවාගෙන රජ ගෙදරට ගෙන ගොස් අභිෂේක කොට අගමෙහෙසුන් තනතුරේ තැබීය. ඇය ඔහුට ප්රිය වූවාය. මනාප වූවාය. දිඹුල් ගසේ දකින ලද නිසා උදුම්බරා දේවිය යැයි නම් කළහ.