සිරිකාලකණ්ණි ප්රශ්නය
ඉක්බිති මිථිලා නුවර වැසි පිංගුත්තර නම් එක් මානවකයෙක් තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමන් ළඟ ශිල්ප හදාරන්නේ ඉතා ඉක්මණින් ඉගෙන ගත්තේය. හෙතෙම දැනුම් දී ගුරුතුමාණෙනි! මම යන්නෙමියි පැවසීය. ඒ කුලයෙහි වනාහි වයසට පත් දුවණියක් සිටීනම් ඇය ප්‍රධාන ශිෂ්‍යයාට දිය යුතුය යනු චාරිත්‍රයයි. ඔහුගේ ගුරුතුමාගේ එක් දුවණියක් සිටී. ඇය රූමත්ය. දෙවඟනක් මෙනි. ඉක්බිති ඔහුට කථාකොට දරුව, මේ දියණියව ඔබට දෙමි. ඇයවද රැගෙන යන්න යැයි කීය. ඒ තරුණයා වනාහි අවාසනාවන්තයෙකි. කාළකණ්ණියෙකි. කුමාරිකාව මහා පුණ්‍යවන්තය. ඔහුට ඇය දැක සිත නොඇලෙයි. ඔහු ඒ බව දන්වන්නේ නමුදු ගුරුතුමාගේ වචනය කඩ නොකරමියි යෝජනාව පිළිගත්තේය. බ්‍රාහ්මණයා තම දියණියව ඔහුට දුන්නේය. හෙතෙම රාත්‍රී භාගයෙහි අලංකාර සිරි යහනෙහි හොත්තේ ඇය අවුත් සයනයට නගිනවිටම ක්ලාන්ත වූවාක් මෙන් ඇඳෙන් බැස බිම වැතිරුණේය. ඇයද ඇඳෙන් බැස ඔහුගේ සමීපයට ගියාය. ඔහු නැගිට නැවතත් සයනයට නැග්ගේය. ඇයද නැවත සයනයට නැග්ගේය. ඔහු නැවතත් සයනයෙන් බැස්සේය. කාලකණ්ණියකු ශ්‍රීදේවිය හා සම නොවෙයි. කුමාරිකාව සයනෙහිම වැතිර සිටියාය. ඔහු බිම නිදාගත්තේය.
මෙසේ දින සතක් ගතකොට ඇයව ගෙන ගුරුතුමාට වැඳ පිටත්ව ගියේය. අතරමගදී කථාබස් පමණකුදු නොවීය. අකමැත්තෙන්ම දෙදෙනා මියුළු නුවරට පැමිණියාහ. පිංගුත්තර තෙමේ නගරයට නුදුරෙහි එක් ගෙඩි සහිත දිඹුල් ගසක් දැක බඩසයින් පෙලුන්නේ ගසට නැග දිඹුල් කෑවේය. ඕතොමෝද හටගත් ආශා ඇතී මටත් ගෙඩි බිමට හෙළන්නයැයි කීවාය. කිම නුඹට අත්පා නැද්ද? තමාම ගසට නැග ගෙඩි කන්න යැයි කීවේය. ඇය ගසට නැග ගෙඩි කෑවාය. ඔහු ඇය ගසට නැගුණු බව දැන වහා ගසින් බැස ගසයට කටු අතුරා කාළකණ්ණි තැනැත්තියගෙන් මිදුනේ වෙමියි කියා පළාගියේය. ඕ තොමෝ ගසින් බැස යන්නට අසමත් වන්නී එහිම සිටියාය. ඉක්බිති රජතුමා උයන්කෙළි කෙළ ඇතාගේ පිට සිටියේ සවස් වේලාවේ නගරයට පිවිසෙන්නේ එහි සිටිය ඇයව දැක හටගත් පිළිබඳ සිත් ඇත්තේ ස්වාමියෙක් සිටීද, නැද්ද කියා ඇස්සවීය. ඕ තොමෝ ස්වාමීනි, හිමියකු සිටී. කුලයෙන් දෙන ලද ස්වාමියාය. ඔහු වනාහි මා මෙහි හැරදමා පළාගියේ යයි කීවාය. ඇමැතියා රජුට ඒ කරුණ සැළ කළේය. අයිතිකරුවකු නැති භාණ්ඩයක් රජුට අයත්යැයි රජු ඇයව බස්සවාගෙන ඇතුපිට නංවාගෙන රජ ගෙදරට ගෙන ගොස් අභිෂේක කොට අගමෙහෙසුන් තනතුරේ තැබීය. ඇය ඔහුට ප්‍රිය වූවාය. මනාප වූවාය. දිඹුල් ගසේ දකින ලද නිසා උදුම්බරා දේවිය යැයි නම් කළහ.
ඉක්බිති එක්දිනක් රජුට උයනට යාම සඳහා දොරටුව අසල ගම්වැසියන් විසින් මාර්ගය සකස් කළහ. පිංගුත්තර තෙමේද එහි කුලී වැඩ කරන්නේ කැසපට ගසාගෙන උදැල්ලෙන් මාර්ගය කොටයි. මාර්ගය සාදා නොනිමි කල්හිම රජු උදුම්බරා දේවිය සමග රථයෙහි නැගී පිටත් විය. උදුම්බරා දේවියද මාර්ගය කොටන්නා වූ ඒ කාලකණ්ණියාව බලන්නී සිනාසුනාය. රජු ඇය සිනාසෙන සැටි දැක කිපී කුමක් නිසා සිනාසෙන්නීදැයි ඇසීය. දේවයන් වහන්ස, මේ මාර්ගය කොටන්නා වූ පුරුෂයා මාගේ පැරණි සැමියාය. මොහු මා දිඹුල්ගසට නංවා ගසයට කටු දමා ගියේය. මම මොහුව දැක මෙබඳු වූ වාසනාවක් දරාගන්නට මේ කාලකණ්ණියා අපොහොසත් වියැයි සිතමින් සිනාසුනෙමි. රජු තා බොරු කියන්නීය. අන් කිසිවකු දැක ඔබ සිනහ විය. මම ඔහුව මරවමියි කඩුව ගත්තේය. බියට පත්වූ ඕ තොමෝ දේවයන් වහන්ස! පළමුව පණ්ඩිතයන්ගෙන් විමසන්නයැයි කීවාය. රජු සේනකගෙන් ඇසීය. ඔබ මැයගේ වචනය විශ්වාස කරන්නේද? නැත ස්වාමීනි, කවරෙක් නම් මෙබඳු වූ ස්ත්‍රියක් අතහැර දමා යන්නේද? කියා කීය. ඇය ඔහුගේ කථාව අසා වැඩිමනත් බිය වූවාය. ඉක්බිති රජතුමා සේනකයෝ මොනවා දනිත්ද? පණ්ඩිතයන් විචාරන්නෙමියි සිතා ඔහුගෙන් අසමින් මේ ගාථාව ප්‍රකාශ කළහ.
ඉත්ථි සියා රූපවතී සාච සීලවතී සියා,
පුරිසො තං න ඉච්ඡෙය්ය සද්දහාසි මහොසධ
පුරිසො තං න ඉච්ඡෙය්ය සද්දහාසි මහොසධ
ස්ත්‍රිය රූප සම්පන්නය. සිල්වත්ය. පුරුෂයෙක් ඇය කැමැති නොවන්නේය. මහෞෂධයෙනි, ඔබ මෙය විශ්වාස කරන්නෙහිද?
එහි සීලවතී යනු ආචාර සම්පන්න වූ.
එය අසා පණ්ඩිතයෝ මේ ගාථාව කීහ,
සද්දහාමි මහාරාජ පුරිසො දුබ්භගො සියා,
සිරීච කාලකණ්ණී ච න සමෙන්ති කුදාචනං
සිරීච කාලකණ්ණී ච න සමෙන්ති කුදාචනං
මහරජතුමනි, මෙය මම විශ්වාස කරමි. පුරුෂයා අවාසනාවන්තයෙක් වන්නේ නම් ශ්‍රී කාන්තාව හා කාලකණ්ණියා කිසිදාක එක සමාන නොවෙත්.
එහි න සමෙන්ති යනු සමුද්‍රයට එතෙර මෙතෙර මෙන් අහසට පොළව මෙන් එකට එක් නොවෙත්.
රජු ඔහුගේ වචනයේ ඒ කරුණට කිපුණේ නැත. ඔහුගේ හදවත නිවුනේය. රජු, ඔහුට සතුටුවී පණ්ඩිතය! ඉදින් නුඹ මෙහි නොසිටින්න අද මම අඥාන වූ සේනකගේ වචනයේ පිහිටා මෙබඳු වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නේය. දැන් ඔබ නිසා මවිසින් මැය ලබන ලදී යැයි පණ්ඩිතයන්ට දසදහසින් පූජා කළේය. ඉක්බිති දේවියද රජුට වැඳ දේවයිනි! පණ්ඩිතයන් නිසා මම ජීවිතය ලැබුවෙමි. මම මොහුව කණිටු සොහොයුරු තන්හි තබන්නට වරයක් ඉල්ලමියි කීවාය. දේවිය යහපති. ඔබට ඒ වරය දෙමි. ගන්න. දේවයන් වහන්ස, මම අද පටන් මාගේ කණිටු සොහොයුරා නැතිව කිසිම මිහිරි ආහාරයක් නොබුදින්නෙමි. මෙතැන් පටන් වේලාවේ හෝ අවේලාවේ දොර විවෘතකොට මොහුට මිහිරි රස යවන්නට හැකි වරයක් ගනිමි. සොඳුර, මැනවි. මේ වරයද ගන්න.