සිරිමන්‍ද ප්‍රශ්නය
උදුම්බරා දේවිය වනාහි අනිත් අය පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය අවබෝධ කරගත් බව දැන රජු විසින් වෙනසක් නොකරන්නා මෙන් පස්දෙනාටම සමව සත්කාර කළේය. මාගේ කණිටු බෑයාට විශේෂ සැලකිල්ලක් කරන්නට වටනේ යැයි රජු සමීපයට ගොස් විචාළේය. දේවයිනි! ඔබට කවුරුන් විසින් ප්‍රශ්නය කියන ලද්දේ ද? සොඳුර, පණ්ඩිතයන් පස්දෙනා විසින් දේවයිනි! සතරදෙනාම ඒ ප්‍රශ්නය ඔහු නිසා (පණ්ඩිතයන් නිසා) දැනගත්හ. සොඳුර, මම නොදනිමි. මහරජ! ඔබතුමන් කුමක් දන්නේ ද? පණ්ඩිතයෝ වනාහි මේ මෝඩයන් නොනසත්වා’යි ඔවුන්ට ප්‍රශ්නය ඉගැන්වූහ. ඔබතුමා සියල්ලන්ටම සමාන සැලකිලි දක්වයි. මෙය අයුතුය. පණ්ඩිතයන්ට විශේෂයක් කළ යුතුය. රජු තමා නිසා ඔවුන් ප්‍රශ්නය දැනගත් බව පණ්ඩිතයන් නොකියූ බවත් කියා පණ්ඩිතයන් කෙරෙහි සතුටුව අතිරේක ලාභසත්කාර කරනු කැමැත්තේ මෙසේ සිතීය. වේවා! මගේ පුත්‍රයාගෙන් එක ප්‍රශ්නයක් අසා එය කියන ලද කල්හි මහා සත්කාර කරන්නෙමි. හෙතෙම ප්‍රශ්නය සිතන්නේ සිරිමන්ද ප්‍රශ්නය ගැන සිතීය. සිතා එක් දිනක් පණ්ඩිතයන් පස්දෙනා සේවයට පැමිණ සුවසේ සිටිය කල්හි සේනකගෙන් ප්‍රශ්නය විචාරමියි කීවිට දේවයන් වහන්ස! අසන්න යැයි කීය. රජතුමා සිරිමන්ද ප්‍රශ්නයේ පළමු ගාථාව කීය.
සේනකය! ප්‍රඥාවෙන් යුක්ත වූ සම්පත්තියෙන් තොර වූත් සම්පත්තියෙන් යුත් ප්‍රඥාවෙන් තොරවූත් යන මේ දෙදෙනා අතුරින් නුවණැත්තෝ කවරකු උතුම්කොට සලකන්නාහුදැයි මෙහි අර්ථය විචාරමි.
එහි කමෙත්‍ථ සෙය්‍යො මේ දෙදෙනා අතර කවර පණ්ඩිතයෙක් උතුම්දැයි කියත්ද?
මේ ප්‍රශ්නය වනාහි සේනකයන්ගේ පරපුරෙන් ආ එකකි. ඔහු විසින් වහාම මෙසේ කීය.
මහරජ! නුවණ ඇත්තෝද නුවණ නැත්තෝද ශිල්ප හදාළ අයද ශිල්ප නොහදාළ අයද උසස් ජාති ඇත්තෝද හීන ජාති ඇත්තෝද සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණු දැක මම නුවණැත්තේ හීනයයිද සම්පත්තියෙන් යුක්ත වූයේ උතුම්යයි ද කියමි.
එහි පඤ්ඤො නිහීනො යනු ප්‍රඥාවන්තයා පහත්ය. ඉසුරු ඇත්තා උතුම්ය.
රජු ඔහුගේ වචනය අසා ඉතිරි තුන්දෙනා නොවිමසාම පිරිසේ නවකයා ලෙස සිටියා වූ මහෞෂධ පණ්ඩිතයන්ට කීය.
මහා ප්‍රාඥ වූ සියළු ධර්ම දක්වා වූ මහෞෂධය! තොපගෙන් අසමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්ප සම්පත් ඇත්තා වූ ද දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්දැයි නුවණැත්තෝ කියත් ද?
එහි කෙවල ධම්මදස්සී සියළු ධර්මය දකින්නා වූ.
ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ එසේම් මහරජතුමනි, අසන්න යැයි කීවේය.
මෙලොව සම්පත් උතුම්ය කියා සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නොදක්නා වූ අඥානයා දෙලොවින්මැ පරාද වෙයි. මේ කාරණය දැක නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයිද යසසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නොවේයැයි මම කියමි.
එහි ඉධමේව යනු මේ ලෝකයෙහි මේ සැපසම්පත්ම මට ශ්‍රේෂ්ඨ යැයි හඟින්නා වූ. කලිමග්ගහෙසී බාලයා ඉසුරු මදයෙන් පව්කොට නිරයාදියෙහි උපදින්නේ නැවත එයින් අවුත් පහත් කුලවල දුකට පත්වී උපදින්නේ මෙලොවත් පරලොවත් යන උභය ලෝකයේම පරාජයට පත්වෙයි. මම මේ කරුණ ද දැක දැන ප්‍රඥා සම්පන්න වූ තැනැත්තා උතුම්ය. පොහොසත් වුවත් මෝඩ නම් උතුම් නොවේයැයි කියමි.
මෙසේ කී කල්හි රජු සේනක දෙස බලා මහෞෂධයන් ප්‍රඥාවන්තයා වට උතුම් යයි කියන්නේ නොවේදැයි කීය. මහරජතුමනි! මහෞෂධ තෙමේ බාලයා අද ද ඔහුගේ මුවින් කිරි සුවඳ හමයි. මොහු කුමක් දන්නේදැයි කියා මේ ගාථාව කීය.
මේ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් භෝග නොලැබේ. ඥාතීහුද නොවෙත්. ශරීර අවකාශයෙක්ද නොවේ. කෙළතොලු වැ සුව විඳින ගෝරිමන්ද සිටාණන් බැලුව මැනවි. ශ්‍රීකාන්තාව ඔහුව ඇසුරු කරයි. මේ දැක නුවණැත්තා ශ්‍රේෂ්ඨ නොවෙයි. සම්පත් ඇති අඥානයා උතුම්යයි කියමි.
එහි එළ මූගං වැගිරෙන කෙළ ඇති මුව. ගොරිමන්‍ද ඔහු වනාහි ඒ නගරයේම අසූ කෝටියක් සම්පත් ඇති සිටුවරයාය. විරූපීය. ඔහුට පුත්‍රයෙක් නැත. දුවක් නැත. කිසි ශිල්පයක් නොදනී. කථා කරනවිට ඔහුගේ කට දෙකෙළවරින් කෙළ වැගිරෙයි. දෙවඟනන් බඳු කාන්තාවෝ දෙදෙනෙක් සියළු අබරණින් සැරසී පිපුණු නිලුපුල් ගෙන දෙපසට වී ඒ කෙළ නිලුපුල්වලින් පිසදමා ඒ මල් ඉවත දමත්. සුරාසොඬහු අවන්හළට පැමිණ නිලුපුල්වලින් වැඩක් ඇති කල්හි ඔහුගේ ගේදොරකඩට ගොස් ස්වාමීනි! ගොරිමන්ද සිටුතුමාණනි යි කියත්. ඔහු ඔවුන්ගේ හඬ අසා සුළං කවුළුව ළඟ සිට කිම දරුවෙනි. කියා අසයි. ඉක්බිති ඔහුගේ මුවින් කෙළ වැගිරෙයි. ඒ ස්ත්‍රීහු එය නිලුපුල්වලින් පිසදමා නිලුපුල් ඇතුල් වීදියට විසිකරත්. සුරා ධූර්තයෝ ඒවා රැගෙන ජලයේ දමා සෝදා පැළඳගෙන අවන්හළට පිවිසෙත්. මෙබඳු සිරි සම්පත් ඇත්තේ විය. සේනක තෙමේ ඒ උදාහරණය ගෙනහැර දක්වමින් මේ ගාථාව කීය.