උදකරාක්ෂස ප්රශ්නය
පංචාලචණ්ඩී දේවිය රජුට ප්රියමනාප වූවාය. ඕ දෙවන වර්ෂයේදී පුතකු බිහිකළාය. ඔහුගේ දසවන වසරේදී වේදේහ රජු මිය ගියේය. බෝධිසත්ත්වයෝ ඔහුට සේසත ඔසවා දේවයන් වහන්ස, මම ඔබගේ මුතුන් රජ්ජුරුවන් වන චූළනී රජු ළඟට යන්නදැයි විචාළේය. පණ්ඩිතය, වයසින් බාල වූ මා අතහැර නොයන්න. මම ඔබව සතුටුකර සත්කාර කරන්නෙමි කීය. පංචාලචණ්ඩියද පණ්ඩිතයෙනි! ඔබ ගිය කල්හි අපට වෙන පිළිසරණක් නැත. නොයන්න. පණ්ඩිතයෝද මා විසින් රජුට පොරොන්දු වූ බැවින් නොගොස් සිටිය නොහැකැයි මහජනයා හඬා වැළපෙද්දීම තමන්ගේ උපස්ථායකයන් ගෙන නික්ම උත්තරපංචාල නගරයට ගියේය. රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් ගරුසත්කාරයෙන් නගරයට කැඳවාගෙන අවුත් විශාල ගෘහයක් ඔහුට දී පළමුවෙන් දෙන ලද අසූවක් ගර අන්කිසිවක් වස්තූන් නොදුන්නේය. ඔහු ඒ රජුට සේවය කළේය.
එකල්හි භේරී නම් වූ පරිබ්රාජිකාව රජගෙදර වළඳයි. ඇය පණ්ඩිතය. ව්යක්තය. ඇය මහාසත්ත්වයන්ට දැක නැත. මහෞෂධ පණ්ඩිතයෝ රජුට සේවය කරති යන හඬ පමණක් අසයි. එසේ ම පණ්ඩිතයන් විසින්ද ඇයව දැක නැත. භේරී නම් පරිබ්රාජිකාව රජගෙදර වළඳයි යන හඬ පමණක් අසයි. නන්දා දේවිය වනාහි ප්රියයන්ගෙන් වෙන්කර අපව පීඩාවට පත්කළේය කියා බෝධිසත්ත්වයන් කෙරෙහි නො සතුටු වූවාය. ඇය සේවිකාවන් පස්දෙනෙකුට මෙසේ අණ කළාය. මහෞෂධයන්ගේ එක් වරදක් සොයා ඔහුත් රජුත් අතර භේදයක් ඇතිකරන්නට උත්සාහ කරව්. මේ කාන්තාවෝ පණ්ඩිතයන්ගේ වරදක් සොයමින් හැසිරෙත්.
ඉක්බිති එක්දිනක් ඒ පරිබ්රාජිකාව ආහාර අනුභව කොට රජගෙදර නික්ම යන්නී රාජසේවයට එන බෝධිසත්ත්වයින් රජගෙදර මිදුලේදී දුටුවාය. ඔහු ඇයට වැඳ සිටියේය. මොහු වනාහි පණ්ඩිතයෙකි. ඔහුගේ පණ්ඩිත බව හෝ අපණ්ඩිත බව දැනගන්නෙමියි ඇය සිතුවාය. එසේ සිතා හස්ත මුද්රාවෙන් ප්රශ්නයක් විචාරන්නී බෝධිසත්ත්වයින් බලා අත දිගු කළේය. ඇය වනාහි කෙබඳු පණ්ඩිතයන් සියගණනක් රජු වෙන රටවල් ගෙන්වා දැන් පෝෂණය කරයි ද නැද්ද යන්න සිතින් ප්රශ්න කළේය. බෝධිසත්ත්වයෝ හස්ත සංඥාවෙන් ප්රශ්නයක් විචාරන්නී යැයි දැනගෙන පැනය විසඳන්නේ මිට මෙළවීය. ඔහු වනාහි ආර්යාවෙනි, මගෙන් පොරොන්දු ගෙන කැඳවා දැන් රජු මිට තදකරගෙන මට අමුතු කිසිවක් නොදෙයි කියා මනසින් ප්රශ්නය විසඳීය. ඇය ඔහුගේ කථාව දැන අත ඔසවා තමන්ගේ හිස පිරිමැදීය. එයින් මෙය දක්වයි. පණ්ඩිතය, ඉදින් වෙහෙස වන්නෙහිද? අප මෙන් පැවිදි නොවන්නේ ඇයි? එය දැන මහාසත්ත්වයෝ තමන්ගේ කුස පිරිමැද්දේය. එයින් මේ බව කියවෙයි. ආර්යාවෙනි, මට පෝෂණය කළයුතු බොහෝ දෙනෙක් සිටිත්. ඒ නිසා පැවිදිවිය නොහැක. මෙසේ ඇය හස්තමුද්රාවෙන් ප්රශ්න විසඳා තමන්ගේ ආවාසයටම ගියාය. මහාසත්ත්වයෝද ඇයට වැඳ රාජසේවයට ගියේය.