10. මහාවෙස්සන්තර ජාතක (547)
දසවර ගාථා
ඵුසතිවර වණ්ණාහෙ යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ කපිලවත්‍ථුපුරය ආශ්‍රය කොට නිග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කළ සේක. යම්කලෙක ශාස්තෲන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහනුවරට ගොස් එහි ශීතකාලය ගතකොට මාර්ගදේශක වූ උදායී තෙරුන් විසින් විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩියේය. එකල්හි ශාක්‍ය රජවරු අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාව දකිමුයයි රැස්වී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු නිග්‍රෝධ ශක්‍රයාගේ ආරාමය සුන්දරයයි සළකා එහි සියළු සංස්කරණ වැඩ යොදා සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව පෙරගමන් කරන්නාවු සියළු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන් ද දැරියන් ද පළමුකොට යැවූහ. අනතුරුව රාජකුමාරයන්ද, කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන් ගඳමල් සුවඳසුණු ආදියෙන් ශාස්තෲන් වහන්සේට පූජා පවත්වන්නාහු භාග්‍යවතුන් වහන්සේව වඩමවාගෙන නිග්‍රෝධාරාමයටම ගියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩසිටි සේක. ශාක්‍යයෝ මානයෙන් තද වූවාහු සිද්ධාර්ථ කුමාරයන් අපට වඩා බාලය. අපගේ බෑනාය. පුතාය. මුණුබුරාය ආදී ලෙස සිතා, තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය. නුඹලා වඳිව්. අපි පසුපසින් සිටින්නෙමු.
ඔවුන් නොවැඳ මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන නෑයෝ මට නොවඳිත්. දැන් වන්දවන්නෙමීයි අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී ඔවුන්ගේ හිසට පාදූවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩම්බ වෘක්‍ෂමූලයේ පැවැත්වූ යමක ප්‍රාතිහාර්යයට සමාන ප්‍රාතිහාර්යය පෑ සේක. රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීය. ස්වාමීනි, ඔබවහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමුකළ ඔබගේ පා පෙරළී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබවහන්සේට වැන්දෙමි. මේ මගේ පළමු වැඳීමයි. වප්මගුල් දිනයේ දඹරුකමුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබවහන්සේ දඹසෙවනෙහි නොසිටි බව දැකීමෙන් ද ඔබවහන්සේගේ පා වැන්දෙමි. මේ මාගේ දෙවෙනි වැඳීමය. දැන් මේ නුදුටුවිරූ ප්‍රාතිහාර්ය දැක ද ඔබවහන්සේගේ පා වඳිමි. මේ මාගේ තුන්වන වැඳීමයි. රජු වැන්ද කල්හි නොවැඳ සිටිය හැකි එක් ශාක්‍යයෙක්වත් නොවීය. සියල්ලෝම වැන්දාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදැයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ ආසනයෙහි වැඩ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි නෑයෝ එක්රැස් වූහ. සියළුදෙනම එක්සිත් ඇත්තෝ වූහ. ඉක්බිති මහාමේඝයක් නැගී පොකුරු වැස්සක් වැස්සේය. තඹවන් ජලය පහතට නද දෙමින් ගලා බසී. යමෙක් තෙමෙනු කැමැත්තේද, ඔවුහු තෙමෙත්. නොතෙමෙනු කැමැත්තහුගේ ශරීරයේ ජලබිඳුවක්වත් නොවැටේ. එය දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු වූහ. අහෝ පුදුමය. බුදුවරුන්ගේ ආනුභාවයෙන් නෑ සමාගමයෙහි මෙබඳු පොකුරු වැස්සක් වැස්සේ ද යන කථාවක් පැතිර ගියේය. එය අසා ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙරද මාගේ ඤාති සමාගමයේදී මහාමේඝයක් ඇතිවී පොකුරු වැස්සක් වැස්සේයැයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි සිවිරටෙහි ජේතුත්තර නගරයේ සිව්මහරජ නම් වූ රජෙක් රාජ්‍යය කරවන්නේ සංජය නම් වූ පුතකු ලැබුවේය. හෙතෙම වැඩිවිය පත් තම පුතුට මදුරජ දියණිය වූ ඵුසති නම් රාජකන්‍යාව කැඳවා ගෙනවිත් රාජ්‍යය පවරා දී ඵුසති දේවිය අගමෙහෙසුන් කළේය. ඔහුගේ මේ පළමු යෙදීමයි. මෙයින් අනූඑක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකර ක්‍ෂේම වූ මිගදායෙහි වැඩසිටින කල්හි එක් රජකෙනෙක් රජුගේ නෑයකුට ඉතා වටිනා සඳුන් තෙල් සමග ලක්‍ෂයක් වටිනා රන්මාලයක් යැවීය. රජුට වනාහි දූවරු දෙදෙනෙක් වූහ. හෙතෙම ඒ ත්‍යාගය ඇයට දෙනු කැමැත්තේ වී සඳුන්තෙල් වැඩිමල් තැනැත්තියට දුන්නේය. රන්මාලය නැගනියට දුන්නේය. ඒ දෙදෙනාට, අපි මෙය තමන්ගේ ශරීරයේ නොයොදන්නෙමු. එයින් ශාස්තෲන් වහන්සේ පුදමුයයි සිතා රජුට කීහ. පියාණෙනි, සඳුන්තෙලින්ද රන්මාලයෙන් ද දසබලයන් වහන්සේට පුදමු. එය අසා රජු යහපතැයි අනුමත කළේය. වැඩිමල් තැනැත්තිය ඉතා සියුම් සඳුන්කුඩු පිළියෙල කර රන් සුමුඟක් පුරවා ගත්තේය. බාල සොයුරිය වනාහි රන්මාලයෙන් උරස්තාලයක් සාදවා රන්සුමුගක තැන්පත් කළේය. ඒ දෙදෙනාම මිගදායෙහි විහාරයට ගොස් වැඩිමල් තැනැත්තිය සඳුන් සුන්නෙන් දශබලයන් වහන්සේගේ රන්වන් ශරීරය පුදා ඉතිරි සුනු ගඳකුටියේ විසුරුවා ස්වාමීනි, අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුගේ මව වෙම්වායි ප්‍රාර්ථනා කළාය. බාල නැගනිය තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර රන්මාලාවකින් සැදූ පපුවැස්මකින් පුදා ස්වාමීනි, රහත්බවට පත්වනතුරු මේ පළඳනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවායි ප්‍රාර්ථනා කළාය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට අනුමෙවෙනි බණ දේශනා කළ සේක.