මහාඋම්මග්ග කාණ්ඩය
එය අසා මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මා අකමැති වුවත් රජු යන්නේය. ගොස් ද වහා විනාශයකට පත්වන්නේය. ඉක්බිති මට මෙබඳු වූ යසඉසුරු සම්පත් දෙන රජුගේ වචනය සිතේ තබාගෙන ඔහුට උපකාරයක් නොකළේ යැයි නින්දාවක් වන්නේය. මා වැනි පණ්ඩිතයන් සිටින කල්හි කුමක් නිසා මොහු නැසෙන්නේද? රජුට පළමු ගොස් චූළනී රජුව දැක මනාව කොටස්කර වේදේහ රජුට නතරව සිටින නගරයක් මවා ගව්වක් පමණ සුළු උමඟක්ද අඩයොදුනක් පමණ මහා උමඟක්ද කරවා චූළනී රජුගේ දියණිය අභිෂේක කොට අපගේ රජතුමාට බිරිඳ කොට අටළොස් අක්ෂෞභිණියක් බලසේනා හා එක්සියයක් රජුන් පිරිවරාගෙන සිටිනා වූ අපගේ රජතුමාව රාහු මුඛයෙන් චන්ද්‍රයාව මෙන් මුදවා ගෙන ඒම නම් මට භාරය. මෙසේ සිතන්නා වූ ඔහුගේ ශරීරයෙහි ප්‍රීතිය උපන්නේය. ඔහු ප්‍රීති වේගයෙන් උදන් අනන්නේ;
“යස්සෙව ඝරෙ භුඤ්ජෙය්ය භොගං, තස්සෙව අත්ථෙං පුරිසො චරෙය්ය”
යමෙකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂ තෙමේ ඔහුගේම අර්ථය උදෙසා ක්‍රියා කරන්නේය. එහි විස්තරාර්ථ මෙසේය.
යම් රජකුගේ සමීපයේ පුරුෂයෙක් යසඉසුරු ලැබ භෝග අනුභව කරන්නේ ද ආක්‍රෝශ පරිභව කළත් ගෙලෙන් අල්ලා ඇද දැම්මත් ඔහුගේම යහපත දියුණුව සඳහා කටයුතු කරන්නේය. පණ්ඩිතයෝ කායද්වාර ආදී තුන්දොරින් හැසිරෙන්නේ නමුත් පණ්ඩිතයන් විසින් මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් නොකරන්නේය.
ඔහු ස්නානය කොට සැරසී මහත් යසසින් රජගෙදරට ගොස් රජුට වැඳ එකත්පසෙක සිටියේ මෙසේ කීය. කිම දේවයන් වහන්ස! උත්තරපංචාල නගරයට යන්නේද? එසේය දරුව. පංචාලචණ්ධීව නොලබන්නා වූ මට රාජ්‍යයෙන් කවර වැඩෙක්ද? මා අත් නොහරින්න. මා සමගම එන්න. එහිදී අපට කරුණු දෙකක් ඉටුවේ. ස්ත්‍රී රත්නයක් ලබමි. රජු සමගද මිත්‍රත්වයක් ඇතිවන්නේය. ඉක්බිති පණ්ඩිතයෝ රජුට මෙසේ කීය. එසේනම් දේවයන් වහන්ස! මම පළමුව ගොස් ඔබවහන්සේට වාසස්ථාන සූදානම් කරමි. මා විසින් පණිවිඩයක් එවූ කල්හි ඔබවහන්සේ පැමිණෙන්නයැයි කියමින් ගාථා දෙකක් ප්‍රකාශ කළේය.
මහරජ, එසේනම් මම පළමුකොට යසස් ඇති වේදේහ රජුට නිවෙස් තැනීමට පංචාල රජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
මහරජ! ඉසුරුමත් වේදේහයනට නිවසේ සාදා යම්දිනක ඔබට පණිවුඩයක් එවන්නෙම්ද එකල එහි පැමිණෙනු මැනවි.
එහි වේදෙහස්ස යනු වේදේහ රජුට ථය්යාසි පැමිණෙන්න.
එය අසා රජු පණ්ඩිතයන් මා අත්හරින්නේ නැතැයි තුටුපහටු වූයේ මෙසේ කීය. දරුව, පළමුව යන්නා වූ ඔබට අවශ්‍ය මොනවාද? දේවයනි! බලවාහන අවශ්‍යයි. දරුව, ඔබට අවශ්‍ය තරම් ගන්න. සිරගෙවල් සතරක් විවෘත කරවා සොරුන්ගේ හැකිලි බැඳීම් ආදිය බිඳ දමා ඔවුන් මා සමඟ එවන්න දේවයිනි යැයි කීය. දරුව, කැමැති ලෙස කරන්න. මහාසත්ත්වයෝ බන්ධනාගාරය විවෘත කරවා දක්ෂ වූ මහා යෝධයන් ගියතැන වැඩ කරන්නට සමර්ථ අයව බැහැරට ගෙන ඔබලා මට සේවය කරන්නැයි ඔවුන්ට සත්කාර කොට වඩුවන්, කම්මල්කරුවන්, සම්වැඩකරුවන් චිත්රකාරයන් ආදී වූ නානා ශිල්පයන්හි දක්ෂ අටළොස් සේනාවක් ගෙන වෑය, පොරව, උදැල්ල, අලවංගු ආදී වූ බොහෝ උපකරණ ගෙන්වාගෙන මහා බලසේනා පෙරටු කොටගෙන නගරයෙන් නික්ම ගියේයෙ. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පංචාල රජුගේ රමණීය පුරවරයට ගියේය.
මහාසත්ත්වයන් වහන්සේ යන්නේ යොදුනක් යොදුනක් අතර එක එක ගම බැගින් පිහිටුවා එකිනෙක ඇමැතිවරුන්ට තෙපි රජු පංචාලචණ්ධී කුමරියව ගෙන නතරවන කල්හි ඇත් අස් සේනාවන් සූදානම් කර රජුවත් රැගෙන සතුරන් මැඩපවත්වා වහා මියුළු නුවරට පැමිණෙන්නහු යැයි කියා තැබීය. ගංතෙරට පැමිණ ආනන්ද කුමාර නමැත්තකු කැඳවා ආනන්දය! ඔබ තුන්සියයක් වඩුවන් ගෙන ගඟේ උඩ පෙදෙසට ගොස් ශක්තිමත් දැව ගෙන තුන්සියයක් පමණ නැව් සාදා නගරය සඳහා එහිම ලී සමූහය ඇස සැහැල්ලු ලීවලින් නැව පුරවා වහා එව්යැයි පිටත්කර හැරියේය. තෙමේ වනාහි නැවෙන් එගොඩට ගොස් බැස්ස තැන සිට පාසළකුණෙන් ගණන් කර මේ අඩයොදුන් තැනයි සළකා මෙතන මහා උමඟ වන්නේය. මෙතැන අපගේ රජුට නතරව සිටින නගරය වන්නේය. මෙතැන් පටන් රජගෙදර දක්වා ගව්වක් පමණ සුළු උමඟ වන්නේයැයි වෙන්කර නගරයට පිවිසියේය. චූළනී රජු බෝධිසත්ත්වයන්ගේ පැමිණීම අසා දැන් මාගේ මනදොළ සපිරෙන්නේය. සතුරන් පිටුදකින්නෙමි. මොහු පැමිණි කල්හි වේදේහද ඉක්මණින්ම එන්නේය. ඉක්බිති ඔවුන් දෙදෙනාවම මරා, දඹදිව ඒකරාජ්යය කරමියි අතිශයින් සතුටට පත්විය. මුළු නගරයම කැළඹිණි. මේ මහෞෂධ පණ්ඩිතයන්ය. මොහු විසින් එක්සියයක් රජවරු ගල්කැටවලින් කවුඩන් මෙන් පලවාහරින ලදහ.