සුවකණ්ඩං
ඉක්බිති එක්දින කේවට්ටයා කැඩපතින් මුහුණ බලන්නේ නළලෙහි වණය දැක මේ ගෘහපති පුත්රයාගේ වැඩකි. එසේ නම් මෙතෙක් රජවරුන් අතර ලජ්ජාවට පත්වූයේ යැයි සිතා හටගත් ක්රෝධ ඇත්තේ වී කවදානම් ඔහු පිටු දකින්නට සමර්ථ වන්නෙම්දැයි සිතන්නේ, එක් උපායක් ඇත. අපගේ රජතුමාගේ පංචාලචණ්ධී නම් වූ උතුම් රූසිරියෙන් යුත් දෙවඟනන් පරයන දියණිය වේදේහ රජුට දෙන්නෙමුයි කියා වේදේහයන්ව කාමයෙන් පොළඹවාගෙන ඇම ගිලින ලද මත්ස්යයකු මෙන් මහෞෂධයන් සමග ගෙනවිත් ඒ දෙදෙනාවම මරා ජයපැන් බොන්නෙමුයි සනිටුහන් කොට රජු වෙතට පැමිණ මෙසේ කීය. දේවයන් වහන්ස, එක් උපායක් ඇත. ආචාරීනි, ඔබගේ මන්ත්රණය නිසා උතුරුසළුව පවා නැතිවිය. දැන් කුමක් කරන්නෙහිද? නිහඬ වන්න. මහරජතුමනි, මේ උපායට සමාන කිසි උපායක් නැත. එසේනම් කියවයි රජු පැවසීය. රජතුමනි! අප දෙදෙනා පමණක් සිටිය යුතුය. එසේ වේවායි ඉක්බිති බ්රාහ්මණයා ඔහුව ප්රාසාදයේ උඩුමහලට නංවා මෙසේ කීය. මහරජතුමනි! වේදේහ රජුව කෙලෙස්වලින් පොළඹවා මෙහි ගෙනවුත් ගෘහපති පුත්රයා සමග මරවන්නෙමි. ආචාරිනි, උපාය නම් කදිමය. කෙසේනම් ඔහුව පොළඹවාගෙන ගෙන එමුද? රජතුමනි, ඔබතුමාගේ පංචාලචණ්ඩී දියණිය උතුම් රූසපුවකින් යුක්ත වූවා ඇගේ රූපසම්පත්තියද දක්ෂ විලාසයන්ද ගැන කවීන් ලවා ගීත බන්ධනය කොට ඒ කාව්යයන් මියුළු නුවර ගායනා කරවා මේ ආකාර ස්ත්රීරත්නයක් නොලබන්නා වූ වේදේහ රජුට රාජ්යයෙන් කවර වැඩෙක්ද? ඔහුගේ කණ හා බැඳුනු බව දැනගෙන දිනයක් යොදා ගන්නෙමි. හෙතෙම මා හට දිනයක් නියමකර ආ කල්හි ඇම ගිලින ලද මත්ස්යයකු මෙන් ගෘහපති පුත්රයාද රැගෙන එන්නේය. ඉක්බිති ඔවුන්ව මරවන්නෙමු.
රජු ඔහුගේ වචනය අසා සතුටුවී ආචාරීනි, කදිම උපායකි. එසේ කරන්නෙමුයි පිළිගත්තේය. ඒ මන්ත්රණය වනාහි චූලනී බ්රහ්මදත්ත රජුගේ සයනපාලිකාව වූ සැළලිහිණියා අසා තේරුම් ගත්තාය. රජු දක්ෂ කවීන් කැඳවා බොහෝ ධනය දී දුවණියන්ව ඔවුන්ට පෙන්වා දරුවෙනි, මැයගේ රූප සම්පත්තිය පිළිබඳව කාව්ය රචනා කරන්නැයි කීය. ඔව්හු අතිශයින් සුන්දර ගී පද රචනාකොට රජුට ඇස්සවූහ. රජු බොහෝ ධනය දුන්නේය. කවීන්ගේ ඉදිරියේ නැට්ටුවෝ ඉගෙනගෙන උත්සවශාලාවේ ගායනා කළහ. මෙසේ ඒවා පැතිරී ගියේය. ඒවා මිනිසුන් අතර පැතිර ගිය කල්හි රජු ගායකයන් කැඳවා මෙසේ කීය. දරුවෙනි, තෙපි ලොකු පක්ෂීන් ගෙන රාත්රියෙහි ගසට නැග එහි හිඳ ගායනාකොට අළුයම් වේලාවේ ඔවුන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා ඔවුන් ඔසවාගෙන ගසින් බසිව්. ඔහු වනාහි පංචාල රජුගේ දියණියගේ ශරීර වර්ණය දේවතාවෝ පවා ගායනා කරත්යැයි ප්රකට කිරීම පිණිස එසේ කරවීය. නැවතද රජු ඒ කවීන් කැඳවා දරුවෙනි! තෙපි දැන් මෙබඳු වූ කුමාරිකාවක් දඹදිව අන් රජෙකුට සුදුසු නැති බවත් මියුළුනුවර වේදේහ රජුට පමණක් සුදුසු බවත්, රජුගේ යසඉසුරුත් මැයගේ රූපයද වර්ණනා කොට ගී පද බඳිව් යැයි නියම කළේය. එසේ කොට රජුට දැන්වූහ.
රජු ඔවුන්ට ධනය දී දරුවෙනි! මිථිලාවටද ගොස් එහිදීද මේ ක්රමයෙන්ම ගායනා කරව්යැයි පිටත්කර හැරීය. ඔහු ඒවා ගායනා කරන්නාහු පිළිවෙලින් මියුළු නුවරට ගොස් උත්සව සභාවන්හිදී ගායනා කළහ. ඒවා අසා මහජනයා දහස් ගණනින් ප්රීතිඝෝෂා පවත්වා ඔවුන්ට බොහෝ ධනය දුන්හ. ඔව්හු රාත්රී කාලයේ ගස්වලට වී ගායනාකොට අළුයම පක්ෂීන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා බසිත්. අහසෙහි පිත්තල තැලිවල හඬ අසා පංචාල රාජ දියණියගේ රූසපුව දේවතාවෝ ද ගායනා කරත්යැයි නගරයේ ඝෝෂා පැවැත්වූහ. රජු ඒ බව අසා කවිකාරයන් කැඳවා තමන්ගේ නිවසෙහි උත්සව පවත්වා මෙබඳු වූ උතුම් රූසිරියෙන් යුත් දුවණියව චූලනී රජු මට දෙනු කැමැති වෙයි කියා සතුටු වී ඔවුන්ට බොහෝ ධනය දෙවීය. ඔවුහු අවුත් බ්රහ්මදත්ත රජුට සැල කළහ. ඉක්බිති රජුට කේවට්ට තෙමේ මෙසේ කීය. මහරජතුමනි! දැන් මම එක්දිනක් වෙන්ව යන්නෙමි. ආචාරීනි, මැනවි. කුමක් අවශ්ය වන්නේද? සුළු පඬුරක් එසේනම් ගන්න යැයි දෙවීය. හෙතෙම එයත් රැගෙන මහත් පිරිවරින් විදේහ රටට සම්ප්රාප්ත විය. ඔහුගේ පැමිණීම චූළනී රජු වේදේහ රජු සමග මිත්ර සම්බන්ධයක් ඇතිකර ගැනීමට යයි කියා නගරයෙහි මහත් ඝෝෂාවක් ඇතිවිය. චූළනී රජු තම දියණිය රජුට දෙයි. කේවට්ටයා වනාහි දවසක් ගතකරන්නට එයි. වේදේහ රජුද ඇසීය. මහාසත්ත්වයන්ටද දැනගන්නට ලැබිණ. අසා ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. ඔහුගේ පැමිණීම මට රුචි නොවේ. ඇති පරිදි ඔහුව දැනගන්නෙමි. මේ මන්ත්රණය නියම අයුරින් දැනගෙන දන්වා එවන්නයැයි හෙතෙම චූළනී රජු සමීපයේ යොදවා සිටි පුරුෂයන්ට හසුනක් යැවීය. රජුත් කේවට්ටයාත් නිදන කාමරයේ සිට සාකච්ඡා කළහ. අපිද ඇති තතු නොදන්නෙමු. රජුගේ වනාහි සයන පාලිකාව වූ සැළලිහිණිය දෙනක් සිටී. ඇය මේ මන්ත්රණය දන්නීයැයි නැවත පිළිතුරු යැවූහ.
එය අසා මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මම සතුරන්ට ඉඩක් නොලැබෙන පරිදි කොටස් වශයෙන් සකස්කළ නගරය කේවට්ටයාට දකින්නට ඉඩ නොදෙමි. හෙතෙම නගර දොරටුවේ සිට රජගෙදර දක්වාද රජගෙදර සිට තමන්ගේ නිවස දක්වාද දෙපස කලාලවලින් වටකොට උඩින්ද කලාලවලින් වසා විසිතුරු සිතුවම්කොට බිම මල් විසුරුවා පුන්කලස් තම්බවා කෙසෙල්කැන් බඳවා ධ්වජ එසවීය. කේවට්ටයා ඒ නගරයට පිවිස මනාව බෙදා සකස්කළ නගරය නොදැක රජු විසින් මට මාර්ගය අලංකාර කරවන ලදැයි සිතීය. නගරය නොපෙනීම සඳහා මෙසේ කළ බව ඔහු නොදනී. ඔහු ගොස් රජු දැක ත්යාග පිළිගන්වා එකත්පසෙක සිට රජු විසින් කරන ලද සත්කාර සම්මානත් තමන්ගේ පැමිණි කාරණයත් දන්වන්නේ මේ ගාථාව ප්රකාශ කළේය.