යුද්ධපරාජයකණ්ඩං
එතැන් පටන් පණ්ඩිතයෝ රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කරයි. ඔහු මෙසේ සිතීය. මම රජුගේ සේසත් සමග වූ රාජ්‍යය විචාරමි. මා අප්රමාදී විය යුතුය. හෙතෙම නගරය වටා මහා ප්රාකාරයක් තැනවීය. එපරිද්දෙන් අප්‍රධාන ප්‍රාකාර දොරටුවල අට්ටාලද අභ්‍යන්තර අටලුද දියඅගල මඩඅගල වියලි අගලක්ද යන අගල් තුනක් කරවීය. නගරාභ්‍යන්තරයේ පැරණි නිවාස ප්‍රතිසංස්කරණය කරවීය. මහා පොකුණු සාදවා ඒවායේ ජල උල්පත් කරවීය. නගරයේ සියලු ගබඩා ධාන්‍යයෙන් පිරවීය. හිමවත් ප්‍රදේශයෙන් මඩ සහ නෙලුම් ඇට ගෙන්වා ගත්තේය. ජලාපවාහන මාර්ගද පිරිසිදු කරනවා නගරයෙන් පිටතද දිරාගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවීය. ඒ ඒ තැනින් ආවා වූ වෙළෙඳුන් අතින් කොහේ සිට ආවේදැයි විචාරා අසවල් තැනින් යැයි කීවිට තොපගේ රජතුමා කවර දෙයක් වඩාත් ප්‍රිය කරන්නේදැයි, අසා අසවල් දේ යැයි කීවිට ඒ ඒ අයට සැළකිලි දක්වා තමන්ගේ එකසිය එකක් යෝධයන් කැඳවා මා දුන් පණිවිඩ ගෙන එක්සියයක් රාජධානිවලට ගොස් මේ ලිපි තමන් කැමති අයුරින් ඒ රජවරුන්ට දී ඔවුන්ට උපස්ථාන කොට ඔවුන්ගේ කටයුතු හෝ සාකච්ඡාවන් දැනගෙන මා හට එවමින් එහිම වාසය කරව්. මම තොපගේ දූදරුවන් පෝෂණය කරන්නෙමියි කියා සමහර අයට කුණ්ඩලාභරණද ඇතැමුන්ට රන්මිරිවැඩි ද සමහරුන්ට කඩු ද සමහරුන්ට ස්වර්ණමාලාවන් ද යනුවෙන් අකුරු ලියවා යම්විටක මට අවශ්‍ය වුවහොත් පෙනෙත්වායි අධිෂ්ඨාන කොට ඔවුන් අත යැවීය. ඔවුහු ඒ ඒ තැන්වල ගොස් ඔවුන්ගේ රජවරුන්ට පණිවිඩ ලිපි භාරදී නුඹලා රජුට සහාය සඳහා පැමිණි බව කියා කොහෙන්දැයි විචාළවිට ආවා වූ තැන්වලට වෙනස් තැන් කියා ඔවුන් විසින් යහපතැයි පිළිගත් කල්හි සේවය කරන්නාහු ඔවුන්ගේ හිතවත්තු වූහ.
එකල්හි ඒකබල රටෙහි සංඛපාල නම් වූ රජු ආයුධ පිළියෙල කරයි. සේනාව එකතු කරයි. ඔහු සමීපයෙහි යොදන ලද පුරුෂයා පණ්ඩිතයන්ට හසුනක් යැවීය. මෙහි තොරතුරු මේවාය. මෙ මේ දේ කරයි. නොදනිමු. සුදුසු කෙනෙකුන් යවා ඇති තතු දැනගනිත්වා. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ ගිරාපෝතකයාට කථාකොට, හිතවත, ගොස් ඒකබල රටෙහි සංඛපාල රජු මෙය කරන්නේයැයි දැනගෙන සියළු දඹදිව ඇවිද මට තොරතුරු දන්වන්නැයි කියා මීපැණි සහිත විළඳ කවා මීපැණි පොවා සියවර දහස්වර පිසින ලද තෙලෙන් පියාපත් පිරිමැද පෙරදිග සීමැදුරු කවුළුවේ සිට පිටත් කළේය. ඒ ගිරවා එහි ගොස් ඒ පුරුෂයා වෙතින් රජු පිළිබඳ තොරතුරු ඇති පරිදි දැනගෙන දඹදිව පුරා සංචාරය කරන්නේ කම්පිල්ල නම් රටෙහි උත්තර පංචාල නගරයට ළඟා විය. එකල්හි එහි චූලනී බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කළේය. ඔහුගේ කේවට්ට නම් බ්‍රාහ්මණයෙක් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරයි. ඔහු දක්ෂය. පණ්ඩිතය. ඔහු අළුයම් වේලෙහි පිබිද ප්‍රදීපාලෝකයෙන් අලංකාර වූ සිරියහන්ගැබ බලා මහත් වූ යසස දැක මාගේ මේ යසස කවුරුන් සතුදැයි සිතන්නේ අනිකකුගේ නොවේ. චූලනී බ්‍රහ්මදත්ත රජු සතුය. මෙබඳු වූ යසසක් දෙන්නා වූ රජුව මුළු දඹදිව රජු කරවන්නට වටනේය. මම ද අග්‍ර පුරෝහිත වන්නෙමියි සිතුවේය. ඔහු උදෑසනම රජු සමීපයට ගොස් සුවසේ සැතපුන්ද යනාදිය විමසා දේවයිනි, සාකච්ඡා කළයුතු දෙයක් ඇත. ආචාරීනි, කියව යැයි රජු පැවසීය. රජතුමනි, නගරාභ්‍යන්තරයේ රහසක් කථා කරන්නට නොහැකිය. උයනට යමු. යහපති ආචාරීනි යැයි කීය. රජු ඔහු සමග උයනට ගොස් බලසේනාව පිටත තබා ආරක්ෂා යොදා බ්‍රාහ්මණයා සමග උයනට පිවිස මඟුල් ගල්තලාවේ හිඳ ගත්තේය.
ගිරා පෝතකයා ඒ ක්‍රියාව දැක මෙහි යම්කිසිවක් සිදුවිය හැකිය. අද පණ්ඩිතයන්ට දැනුම් දියයුතු යම්කිසිවක් අසන්නෙමියි උයනට පිවිස මගුල්සල් ගසක පත්‍ර අතර සැඟවී සිටියේය. රජු ආචාරීනි දැන් කියන්න යැයි පැවසීය. මහරජතුමනි, ඔබවහන්සේගේ කන් මා වෙත ළං කරන්න. කන් සතරකින් ඇසූ දෙය පමණක් රහසක් වන්නේය. ඉදින් මහරජතුමනි, මාගේ වචනය කරන්නේ නම් සියළු දඹදිව ඔබ වහන්සේව අගරජ කරමි. හෙතෙම මහත් වූ තණ්හාවකින් ඔහුගේ වචනය අසා සතුටට පත්වූයේ වී කියන්න ඇදුරුතුමනි, මම කරන්නෙමියි කීය. දේවයිනි! අපි සේනාව රැස්කරවා පළමුව කුඩා නගරයක් වටකර අල්ලාගනිමු. මම වනාහි කුඩා දොරටුවෙන් නගරයට පිවිස රජුට කියමි. රජතුමනි! ඔබට යුද්ධයෙන් වැඩක් නැත. හුදෙක් අප සතුවන්නේය. ඔබවහන්සේගේ රාජ්‍යය ඔබටම වන්නේය. යුධ කරන්නේ වනාහි අපගේ බලසේනා විශාල බැවින් ඒකාන්තයෙන් පරාජය වන්නේය. ඉදින් මාගේ වචනය කරන්නෙහිද ඔහුට සංග්‍රහ කරමි. ඉදින් මා කියන ලෙස නො කළේ නම් යුදකොට ජීවිතක්ෂයට පත්කර සේනාව ගෙන වෙනත් නගරයකට, එතනින් වෙන නගරයකට, යන උපක්‍රමයෙන් සියළු දඹදිව රාජ්‍යය ගෙන ජයපැන් බොමුයි කියා එක්සියයක් රජවරු අපගේ නගරයට ගෙනවිත් උයනෙහි මධුපාන මණ්ඩපයක් සූදානම් කර එහි සිටියවුන් විෂ මිශ්‍ර සුරාපානය කොට ඔවුන් සියල්ලන්ව ජීවිතක්ෂයට පත්කර ගඟට දමා එක්සියයක් රාජධානිවල රාජ්‍යය අපගේ අතට පත්කර ගන්නෙමුයි මෙසේ සියළු දඹදිව අගරජ වන්නෙහිය. හෙතෙම, ආචාරිය, එසේය. කරන්නෙමියි කීය. මහරජතුමනි! මේ රහස වනාහි සිව්කන් රහසකි. මෙය වනාහි වෙන කෙනෙකු විසින් දැනගත නොහැකිය. ඒ නිසා ප්‍රමාද නොවී වහා නික්ම යන්න. රජු සතුටුව යහපතැයි පිළිතුරු දුන්නේය.