පඤ්චපණ්ඩිත ප්‍රශ්නය
නැවත ඒ සතරදෙනා, ගෘහපති පුත්‍රයා දැන් අපට වඩා ලොකු කෙනෙක් විය. කුමක් කරමුදැයි මන්ත්‍රණය කළහ. ඉක්බිති ඔවුන්ට සේනක මෙසේකීය. වේවා! මා විසින් උපායක් දකින ලදී. ගෘහපති පුත්‍රයා වෙත එළඹ රහසක් නම් කාහට කීම වටනේදැයි අසතෙමු. හෙතෙම කිසිවකුටත් එපායැයි කියයි. ඉක්බිති ඔහුට ගෘහපති පුත්‍රයා දේවයිනි, ඔබට සතුරෙක් උපන්නේය කියා රජුව භේද කරවන්නෙමියි කියා ඒ සතරදෙනා පණ්ඩිතයන්ගේ ගෙට ගොස් පිළිසඳර කථාකොට පණ්ඩිතයෙනි, අපි ප්‍රශ්නයක් අසනු කැමැත්තම්හයි කියා එසේනම් අසන්න යැයි කීකල්හි සේනක තෙමේ විචාළේය. පණ්ඩිතය, පුරුෂයකු විසින් වනාහි කොහි පිහිටිය යුතුද? සත්‍යයෙහි යැයි පිළිතුරු දුන්නේය. සත්‍යයෙහි පිහිටියහු විසින් කුමක් කළයුතුදැයි ඇසූවිට ධනය ඉපදවිය යුතුය. ධනය උපයා කුමක් කළ යුතුද? මන්ත්‍ර ලබාගත යුතුයි. එය ගෙන කුමක් කළ යුතුද? තමගේ රහසක් අනුන්ට නොකිය යුතුයැයි කීය. ඔවුහු යහපති පණ්ඩිතයෙනියි සතුටු සිතැත්තාහු වී දැන් ගෘහපති පුත්‍රයාගේ පිටුපස බලන්නෙමුයි රජු සමීපයට ගොස් මහරජතුමනි! ගෘහපති. පුත්‍රයා ඔබවහන්සේගේ සතුරෙක් වී යැයි කීහ. මම ඔබව විශ්වාස නොකරමි. ඔහු මාගේ සතුරෙක් නොවන්නේ යයි ප්‍රතික්‍ෂේප කළේය. ඉදින් මහරජතුමනි, විශ්වාස නොකරන්නේ නම් පණ්ඩිතයන්ගෙන් අසන්න. පණ්ඩිතය, තමාගේ රහසක් කාහට කිවයුතුදැයි ඇසීය. ඉදින් වනාහි සතුරෙක් නොවන්නේ නම් අසවලාට කිවයුතුයයි කියයි. ඉදින් වන්නේ නම් කිසිවකුටත් නොකිව යුතුයි. මනෝරථය පිරිපුන් කල්හි කිවයුතු වන්නේයැයි කියයි. එකල්හි අපව විශ්වාස කොට සැක දුරුකරගත් කෙනෙක් වන්න. හෙතෙම යහපතැයි පිළිතුරු දී එක් දිනක් සියළුදෙනාම රැස්ව සිටි කල්හි විසිවන නිපාතයෙහි පණ්ඩිතයන් පස්දෙනාගේ ප්‍රශ්නවල පළමු ගාථාව කීය.
මෙහි පැමිණි පංච පණ්ඩිතවරුනි, මට වැටහෙන එක් ප්‍රශ්නයක් ඇත. එය අසවු. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කවරකුට හෙළිකළ යුත්තේදැයි වේදේහ රජු විමසීය.
මෙසේ කී කල්හි සේනක තෙමේ රජතුමාත් අපත් අතර මෙය තබන්නෙමියි සිතා මේ ගාථාව කීය.
මහරජ! ඔබම අපට එය ප්‍රකාශ කරනු මැනවි. ඔබ අපගේ ස්වාමියාද බර උසුලන්නාද වෙයි. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
එහි භත්තා යනු ඔබ අපගේ ස්වාමියාද හටගත් බර උසුලන්නා ද වෙයි. පළමුව ඔබම මෙය කියව. තවඡන්‍දඤ්ච රුචිඤ්ච පසුව ඔබගේ කැමැත්තද රුචිවීමට කරුණු ද සම්මසිත්‍වා මේ පණ්ඩිතයෝ පස්දෙන කියත්.
ඉක්බිති රජු තමන්ගේ කෙලෙස් වසඟතාවය ඇති බැවින් ගාථාව කීය.
යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්තද අනුන් වසඟයෙහි නොපවතීද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේද ප්‍රියමනාප වන්නීද එබඳු බිරිඳට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
එහි අනඤ්ඤධෙය්‍යා යනු කෙලෙස් වශයෙන් අනිකකු විසින් නොගත යුතුය යන අර්ථයි.
ඉක්බිති සේනක තෙමේ රජු තමන් අතරට වැටුනේ යැයි සතුටුව තමන් විසින් කරන ලද කාරණයම දක්වමින් මේ ගාථාව කීය.
යමෙක් දුකට පත් ආතුරයාට සරණ පිහිටවැ උපකාරීවැ පවතීද එබඳු මිත්‍රයාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
ඉක්බිති රජතුමා පුක්කුසගෙන් විචාළේය. පුක්කුසය ඔබ මෙය කෙසේ දකින්නෙහිද? කාහට රහස කිවයුතුද? ඔහු මේ ගාථාව කීය.
ඉදින් යමකු හට ජ්‍යෙෂ්ඨ හෝ මධ්‍යම හෝ කනිෂ්ඨ හෝ සොහොයුරෙක් වේද හේද මනාව ශීලයෙහි පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොයුරාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
එහි ඨිතත්තො යනු ස්ථිර සිතැති.
ඉක්බිති රජතෙමේ කාවින්දගෙන් විචාළේය. හේ මේ ගාථාව කීය.
ඉදින් යමෙක් පියාගේ සිතට අනුව ක්‍රියා කරන්නේද මහත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේද, එබඳු පුතුට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
එහි විද්ධගූ යමෙක් මෙහෙකරන්නේ පියාට මෙහෙ කරයිද පියාගේ වසඟයෙහි පවතීද අවවාද ඉවසන්නේද වේ යන අර්ථයි. අනුජාතො යනු පුත්‍රයෝ තුන්දෙනෙකි. නූපන් යසස උපදවන්නේ අතිජාත පුත්‍රයාය. කුලයට කිලුටක්, කුලයට පස්සෙහි වූ ධනය විනාශ කරන්නේ අවජාතක පුත්‍රයාය. කුල පරපුර, ප්‍රවේණිය රකින්නා අනුජාත නම් වේ. ඒ ගැන මෙසේ කීය.