දේවතා ප්‍රශ්නය
මෙසේ කී කල්හි රජතුමා මහාසත්ත්වයන්ව ඔසවන ලද සේසත් ඇති සිංහාසනයේ වඩා හිඳුවා තමා පහත් අසුනක වාඩි වී මෙසේ කීය. පණ්ඩිතය, සේසතෙහි නතර වී සිටින දේවතාවා මගෙන් ප්‍රශ්න සතරක් ඇසීය. මම ඒ නිසා පණ්ඩිතයන්ගෙන් අසා බැලීමි. පණ්ඩිතයෝ සතරදෙන නොදත්හ. දරුව! මට ඒ ප්‍රශ්න කියන්න. මහරජ, සේසතේ සිටින දේවතාවා හෝ වේවා, චාතුම්මහාරාජිකාදීහු හෝ වෙත්වා. කවර ලෙසකින් හෝ අසන ලද ප්‍රශ්නය කියන්නෙමි. මහරජතුමනි, දෙවියන් විසින් අසන ලද ප්‍රශ්න කියන්න. රජු දේවතාවා විසින් අසන ලද ආකාරයෙන්ම කියන්නේ පළමු ගාථාව කීය.
යමෙක් අත්පාවලින් ගසයිද මුහුණටත් අනියිද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක්ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහිද?
හන්ති පහරදෙයි. පරිසුම්භති පහරදෙයි. සචෙ යනු හෙතෙම මෙසේ කරන්නේ ප්‍රිය වෙයි. කංතෙන මභිපස්සසී ඒ කාරණයෙන් පියවන්නා වූ කවර පුද්ගලයෙක් රජතුමනි! ඔබ දකින්නෙහිද? මෙසේ දේවතාවා ඒ ප්‍රශ්නය විචාළේය. මේ එහි අර්ථයයි.
මහාසත්ත්වයන්ට ගාථාව ඇසුණුවිටම ගුවන්තලයේ චන්ද්‍රයා මෙන් අර්ථය පැහැදිලි විය. ඉක්බිති මහා සත්ත්වයෝ මහරජතුමනි! අසන්න යැයි කියා, යම්කලෙක ඇකයේ සිටින ළදරුවා තුටු පහටු වූයේ ක්‍රීඩා කරන්නේ මවට අත්පාවලින් පහර දෙයි. කෙස් කඩා දමයි. අතේමිටින් මුහුණට ගසයි. එවිට ඕ තොමෝ ඔහුට සොර පුතේ, ඇයි අපට ගසන්නේද ආදී ලෙස ආදරයෙන් කියා ආදරය දරාගන්නට නොහැක්කේ වැළඳගෙන පපුවෙහි හොවාගෙන සිඹ ගනී. මෙසේ ඔහු ඇගේ මෙබඳු වූ කාලයකදී අතිශයින් ප්‍රිය වූයේ වෙයි. පියාටද එසේය. මෙසේ ගුවන මැද සූර්යයා උදාවෙන්නාක් මෙන් ප්‍රකට කොට ප්‍රශ්නය කීවේය. එය අසා දේවතාවා ඡත්‍රයේ විවරයෙන් නික්මී සිරුරෙන් අඩක් පෙන්වමින් ප්‍රශ්නය මනාව කියන ලදැයි මිහිරි හඬින් සාධුකාර දී මැණික් සුමුඟක් පුරවා දිව්‍යමය මල්සුවඳ ආදියෙන් මහාසත්ත්වයන්ට පූජාකොට අතුරුදන් විය. රජතුමා මහාසත්ත්වයන්ට මල් ආදියෙන් පුදා ඉතිරි ප්‍රශ්න කියන ලෙස ඉල්ලා මහරජතුමනි! කියන්න යැයි අයැද සිටි කල්හි දෙවන ගාථාව කීය.
යමකුට රිසිසේ ආක්‍රොශ කරයිද ඒ කාරණයාගේ පැමිණීම නොකමැති වෙයිද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේය. ඒ කවරකු ලෙස දක්නෙහිද?
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ, මහරජ, මවක් කථා කරන්නට හැකි හත්අට අවුරුද්දක් වයසැති පුතකුට කුඹුරට යන්න. කඩයට යන්න ආදිය කියා ඉදින් මට මේ මේ කන බොන දේ දෙන්නේ නම් යන්නෙමියි කියා එසේනම් දරුව කියා දුන්කල්හි එය අනුභවකොට මෑණියෙනි, ඔබ සීතල වූ ගෙයි සෙවනැල්ලෙහි සිටින්න. මම නුඹට පිටත පණිවිඩ යැවීමක් කරන්නෙමියි ආදිය කියා අත් හා මුව විකාර කොට නොයන ඔහුට කිපුනා වූ මව මගුරක් ගෙන නුඹ මා සතු දේ අනුභව කොට කුඹුරෙහි කිසිදු වැඩක් කරන්නට අකැමැති වන්නෙහිය කියමින් තර්ජනයකොට වේගයෙන් පලායන ඔහු පසුපස ගොස් අල්ලා ගන්නට අපොහොසත් වූවා නිර්ධන වව. සොරු ඔහුව කෑලිකෑලිවලට කඩක්වා. ආදිය කියා කැමැති පරිදි, සිතැඟි ලෙස ආක්‍රෝශ කරයි. යමක් මුවින් කියයිද එයින් වන්නට අල්පමාත්‍ර වූත් කැමැත්තක් නැත. ඔහු දවල් කාලයේ ක්‍රීඩාකොට සවස ගෙදර යන්නට නොහැකිව නෑයන් ළඟට යයි. මව ද ඔහු එනමග බලාසිටින්නී නොඑන්නහු දැක ගෙට පිවිසෙන්නට නොහැකි වේයැයි සිතා ශෝකයෙන් හද පුරවා කඳුළු පිරුණු නෙත්වලින් ඥාති ගෙදර සොයන්නී පුත්‍රයා දැක වැළඳගෙන සිඹ අත් දෙකෙන් දැඩිව අල්ලාගෙන පුත්‍රයාණෙනි! මාව අමතක නොකරන්න යැයි කියමින් අධික ලෙස ආදරය කළාය. එපරිද්දෙන් මහරජ, මව කෙරෙහි පුතා කිපුණු කල්හි පියතර නම් වන්නේ යැයි දෙවෙනි ප්‍රශ්නයද කීවේය. දේවතාවා එසේම පූජා කළේය.
රජු ද පුදා තුන්වන ප්‍රශ්නය ඉල්ලා මහරජතුමනි, කියන්න යැයි ප්‍රකාශ කළ කල්හි අනික් ගාථාව කීය.
යමෙක් මුසාවෙන් ගලපා බෙණෙයිද බොරුවෙන් චෝදනා කෙරෙයිද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේය. ඒ කවරකු ලෙස දක්නෙහිද?
ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. මහරජ, යම්කලෙක අඹුසැමි යුවලක් රහසිගතව ලෝකාස්වාද රතියෙහි යෙදෙන්නාහු ඔබ කෙරෙහි හෝ මා කෙරෙහි ප්‍රේමයක් නැත. ඔවුන්ගේ හදවත විවෘත විය. මෙසේ ඔවුනොවුන්ට අසත්‍ය දෝෂාරෝපණ කරත්. බොරුවෙන් සිහිකරවත්. චෝදනා කරත්. එකල්හි ඔවුහු අමතරවත් ඔවුනොවුන් ප්‍රිය කරත්.