භූරි ප්‍රශ්නය
ඉක්බිති රජතුමා මරණ බියෙන් තැතිගත්තේ පසුදා ඇමැතියන් සතරදෙනා කැඳවා දරුවෙනි! ඔබ සතරදෙන රථ සතරක නැගී සිව්නගර දොරටුවලින් නික්ම ඒ මහෞෂධ පණ්ඩිත මාගේ පුත්‍රයාව යම්තැනක දකීද එහිදීම ඔහුට සත්කාර කොට වහා මෙහි කැඳවාගෙන එව් යැයි පිටත්කර හැරියේය. ඔවුන් අතුරෙන් තුන්දෙනෙක් පණ්ඩිතයන් නුදුටහ. දකුණු දොරටුවෙන් නික්ම යන්නහු වනාහි දකුණු යවමැදුම්ගමදී මහාසත්ත්වයන් මැටි ගෙනවුත් ප්‍රධාන වැඩකරුවාගේ රෝදය කරකවමින්, මැටි තැවරුණු සිරුර ඇතිව පිදුරු ආසනයක වාඩිවී මිට මිට ගෙන ව්‍යඤ්ජන අඩු යවබත් අනුභව කරමින් සිටිනු දුටුවේය. කුමක් නිසා ඔහු මේ කාර්යය කළේද? රජු වනාහි මහෞෂධ පඬිතුමා නිසැකයෙන්ම රජකම ගන්නේයැයි සැක කරන්නේ ඔහු කුඹල්කම් කිරීමෙන් ජීවත් වන්නේ යැයි අසා සැක දුරුකරගන්නේ යැයි සිතා මෙසේ කළේය. ඔහු ඇමැතියා දැක තමා සමීපයට ආ බව දැන මාගේ යසස ප්‍රකට වූයේ වන්නේය. අමරා දේවිය විසින් සූදානම් කළ නොයෙක් රසයන්ගෙන් යුත් අහර අනුභව කරන්නෙමියි ගන්නා ලද බත්පිඩ ඉවත දමා මුව සෝදා ගත්තේය. ඒ මොහොතෙහි ඔහු පැමිණියේය. ඔහු වනාහි සේනක පාක්‍ෂිකයෙකි. ඒ නිසා ඔහුව උත්සාහ කරමින් පණ්ඩිතයෙනි. ඇදුරු සේනකයන්ගේ වචනය නෛර්යාණිකය. ඔබට වනාහි යසස පිරිහුණු කල්හි එබඳු වූ ප්‍රඥාවක් පිහිටන්නට නොහැකි විය. දැන් මැටි තැවරුණේ පිදුරු අසුනක වාඩිවී මෙබඳු වූ බතක් වළඳන්නෙහිදැයි කියා මේ දසක නිපාතයේ භූරි ප්‍රශ්නයේ ප්‍රථම ගාථාව කීය.
සේනකයන් කීවේ සත්‍යයක්මයැ. මහත් වූ නුවණැති නුඹ මට ව්‍යඤ්ජනයෙන් යුක්ත යවමත අනුභව කරන්නෙහිය. ශ්‍රී තොමෝ එසේමයැ. තොපගේ ධෛර්යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නොරක්නේය.
එහි සච්ච කිර යනු ඇදුරු සේනකයන් යමක් කීර්වේද එය වනාහි සත්‍යමය. සිරී යනු සම්පත, ශ්‍රී දේවිය. ධිති නොපසුබට වීර්යය, නතායතෙභාව වසූපනීතං නොමැති දෙයෙහි වර්ධනය නොවීමෙන් වයසට පත් එය නොරකී. පිහිටවන්නට අසමත් වෙයි. යාචකං යවසහල් බත.
ඉක්බිති ඔහුට මහාසත්ත්වයන් වහන්සේ අන්‍ධබාලය. මම තමන්ගේ ප්‍රඥා බලයෙන් නැවත ඒ යසස ප්‍රකට කරනු කැමැත්තේ මෙසේ කරමියි කියා මේ ගාථා දෙක කීය.
සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්ථයේ ද්වාරයන් විවෘත කරන්නේය. ඒ නිසා මම යවබතින් තෘප්තිමත් වෙමි.
වීර්යය කිරීමට සුදුසු කල් දැන නුවණින් අර්ථය මුහුකුරවා සිංහ ප්‍රාණවත් බවින් ප්‍රාණවත් කරමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවත දක්නෙහිය.
එහි දුක්ඛෙන යනු මේ කායික, චෛතසික දුකෙන් තමන්ගේ පැරණි සුවය නැවත ප්‍රකට කිරීමෙන් පරිපාකයට පත්වන්නේ, වැඩෙන්නේ, කාලාකාලං යනු මේ සැඟවී සිට ඇවිදින කාලයයි. මේ වැසුනහුට නොවේ. මෙසේ කාලයද අකාලයද සොයන්නේ රජු කිපුණු කල්හි රහසිගතව හැසිරිය යුතුයැයි දැනගෙන කැමැත්තෙන්, රුචියෙන්, සැඟවී සිටියේ කුඹල් කර්මාන්තයෙන් ජීවත්වන්නේ තමන්ගේ දියුණුව ඇතිකරන දොරටු විවෘත කරමින් වාසය කරමි. මම ඒ කරුණෙන් යවමතින් සතුටු වෙමි යන අර්ථයි. අභිජීහනාය වීර්යය කිරීම පිණිස. මන්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වා තමන්ගේ නුවණින් මාගේ යසස වර්ධනය කොට මනෝසිලා තලයේ සිංහයෙක් මෙන් විජෘම්භමාන වෙමි. මාගේ ඒ ඍද්ධියෙන් නුඹ නැවතත් මා දකින්නෙහිය.
ඉක්බිති ඔහුට ඇමැතියා මෙසේ කීය. පඬිතුමනි, රජතුමාගේ ඡත්‍රයෙහි වාසයකරන දේවතාවා විසින් රජුගෙන් ප්‍රශ්නයක් විචාරණ ලදී. රජු පණ්ඩිතයන් සතරදෙනාගෙන් විමසීය. එක් අයෙක්වත් ප්‍රශ්නය කියන්නට අසමත් විය. ඒ නිසා රජු ඔබතුමන් වෙත මා එවීය. මෙසේ ඇති කල්හි ප්‍රඥාවේ ආනුභාවය නොදකින්නෙහි. මෙබඳු කාලයක ශ්‍රියාවගෙන් පිහිටක් නැත. ප්‍රඥා සම්පන්නභාවයම පිහිට වන්නේයැයි මහාසත්ත්වයෝ ප්‍රඥාවගේ ආනුභාවයම වර්ණනා කළහ. ඉක්බිති ඇමැතිවරයා රජු විසින් කියන ලද පරිදි පණ්ඩිතයන් දුටුතැනදීම නහවා සළු හඳවා ගෙනෙව් යැයි කියා දෙන ලද දහසද, දුහුල් සළු යුගලද මහාසත්ත්වයන්ගේ අතෙහි තැබීය. මා විසින් මහෞෂධ පණ්ඩිතයන් ලවා කුලීවැඩ කරවන ලදැයි කුඹලා තුළ බියක් ඇතිවිය. මහා සත්ත්වයෝ ඔහුට ආචරිය, බිය නොවන්න. ඔබ මට බොහෝසෙයින් උපකාරී වීයැයි ඔහු අස්වසා ඔහුට දහස දී මැටි තැවරුණු සිරුරින්ම රථයෙහි හිඳගෙන නගරයට ගියේය. ඇමැතිවරයා රජුට දන්වා, දරුව ඔබ කොහේදී පණ්ඩිතයන් දකින ලදදැයි ඇසූ කල්හි දේවයන් වහන්ස! දකුණු යවමැදුම්ගම කුඹල්වැඩ කර ජීවත් වෙයි. ඔබවහන්සේ කැඳවනවා යැයි කී කල්හි ස්නානය නොකොට මැටි තැවරුණු සිරුරෙන්ම පැමිණියේයැයි කීය. ඉදින් මගේ සතුරෙක් වන්නේද, දෛවයට අනුව හැසිරෙන්නේය. මොහු මාගේ සතුරෙක් නොවේයැයි සිතා මගේ පුත්‍රයාට තමන්ගේ නිවසට ගොස් ස්නානය කර සැරසී මා දුන් නියෝගය පරිදි එන්නට කියව්යැයි පැවසීය. ඒ අසා පණ්ඩිතයෝ එසේකොට අවුත් ඇතුල්වන්න යැයි කී කල්හි පිවිස රජු වැඳ එකත්පසෙක සිටියේය. රජු ඔහු සමග පිළිසඳර කථාකොට පණ්ඩිතයන් විමසන්නේ මේ ගාථාව කීය.