ඛජ්ජොපණක ප්රශ්නය
ඉක්බිති රජුගේ සේසතෙහි අධිගෘහිත දෙවියා බෝධිසත්ත්වයන්ගේ ධර්මදේශනා හඬක් නොඇසුණු බැවින් කුමක් නිසාදැයි ආවර්ජනය කර බලන්නේ ඒ කාරණය දැනගෙන පණ්ඩිතයන් පැමිණීමට කටයුතු සළසමියි රාත්රී භාගයෙහි සේසත් පිඬු විවරයෙහි සිට රජුගෙන් චතුක්ක නිපාතයේ දේවතා ප්රශ්නයේ ආවා වූ හන්ති හත්ථෙහි පාදෙහි යනාදී ප්රශ්න සතර විචාළේය. රජු නොදන්නේ, මම නොදනිමි. අන්ය පණ්ඩිතවරුගෙන් අසමි කියා එක් දිනක් කල් ඉල්ලා පසුවදා පැමිණෙන්න යැයි කියා පණ්ඩිතයන්ට හසුනක් යවා ඔවුන් විසින් අපි හිස් මුඩුකරන ලද්දේ වෙමු. වීදියට බසින්නට ලජ්ජාවෙන් සිටිමු යැයි කීවිට තොප්පි සතරක් යැවීය. මේවා හිසේ දමාගෙන එන්න. එකල්හි තොප්පි ලැබුනාහු ඔවුහු අවුත් පැන වූ ආසනයේ හිඳ ගත්ත. ඉක්බිති රජු සේනකය, අද රාත්රියේ සේසතෙහි වැඩසිටින දෙවියා මගෙන් ප්රශ්න සතරක් විචාළේය. මම ඒවා නොදන්නා බැවින් පණ්ඩිතයන්ගෙන් අසමි. ඒ ප්රශ්න කියන්න යයි පැවසීය.
හන්ති හත්ථෙහි පාදෙහි මුඛඤ්ච පරිසූම්භති,
සචෙ රාජ පියො හොති කං තෙනම්භි පස්සසී
සචෙ රාජ පියො හොති කං තෙනම්භි පස්සසී
(යමක් අත්පා වලින් ද ගසයි. මුහුණටද අනියි. එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්රියයෙක් වන්නේය. මහරජ, මෙයින් කවරකු දන්නෙහිද?
සේනක තෙමේ කිං හන්ති - කං හන්ති යනාදී ලෙස විප්රලාප දොඩවා අර්ථය හෝ එහි කෙළවරක් නුදුටීය. අන් අයද නොවැටහුනාහු වූහ. රජු ද විපිළිසර විය. නැවත රාත්රී භාගයේදී දේවතා විසින් නුඹලා ප්රශ්නය තේරුම් ගත්තේදැයි අසන ලදුව පණ්ඩිතයන් සතරදෙනාගෙන් ඇසුවද ඔවුහු නොදන්නාහුයයි කීය. දේවතාවා ඔවුන් කුමක් දන්නේද මහෞෂධ පණ්ඩිතයන් හැර මෙය කියන්නට වෙන සමර්ථයෙක් නැත. ඉදින් ඔහුව කැඳවා මේ ප්රශ්න විසඳා නොකියන්නේ නම් මේ දිලිසෙන යකඩහුලෙන් හිස බිඳින්නෙමියි රජුට තර්ජනය කර, මහරජ! ගින්දර ඇති කල්හි කණාමැදිරියන්ට පිසින්නට, කිරි අවශ්ය වූ විට අග දොවින්නටත් යෝග්ය නැතැයි කියා මේ පංචක නිපාතයේ මේ කණාමැදිරි ප්රශ්නය ගෙනහැර දැක්වීය.
කවරෙක් නම් ඇවිලගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණාමැදිරියෙකු දැක ගිනියැයි සිතාද,
හෙතෙම වැරදි හැඟීමෙන් ඒ කණාමැදිරියා මත ගොමවැරටි හා තණකොළ රැස්කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද,
එසෙයින් අඥානයා අනුපායයෙන් අර්ථය නොලබන්නේය. ගව අගින් කිරි දොවන්නේ කිරි නොලබන්නාක් මෙනි.
මනුෂ්යයෝ අමිත්රයනට නිග්රහයෙන් ද මිත්රයනට සංග්රහයෙන්ද විවිධෝපක්රමයන්ගෙන් අර්ථ සිද්ධියට පැමිණෙත්.
සේනා ප්රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්රමයෙන්ද පෘථිවි පාලකයෝ මුළු පොළව තමන් සතුකර ගනිති.
එහි පජ්ජොතෙ යනු ගිනි ඇති කල්හි චරන්ති ඇවිදින්නේ. අද්දක්ඛි දුටුවේය. දැක ද වර්ණ සමතාවය නිසා ඒ ගින්න මෙය විය යුතුයයි ඉක්බිති මෙසේ දැනගන්න. ස්වාස්ස හෙතෙම මේ කණාමැදිරියාගේ මත්තෙහි සියුම් ගොමවැරටි ද තණකොළ ද අභිමත්ථං අතින් උළා, අතුරන්නේ දණහිසින් බිම වැතිර මුඛයෙන් පිඹින්නේ එය දල්වන්නෙමියි. විපරිතාය සඤ්ඤාය පිඹින්නේ නමුදු දල්වන්නට අසමත් විය. මේ කවර නම් ඇත්තේ ද මෘගයකු වැනි අඳබාලය, මෙසේ අක්රමවත් ලෙස උත්සාහ කරන්නේ ප්රතිඵලයක් නොලබයි. යත්ථ යනු යම් අඟක කිරි නැත. එයින් දෙනකගෙන් කිරි දොවන්නාක් මෙන් යැයි අර්ථය නොවැටහේ. සෙණි මොක්ඛොපලාහෙන සේනා ප්රමුඛ වූ ඇමැතියන් ලැබීමෙන්, වල්ලභානං ප්රියමනාප විශ්වාසී ඇමැතියන්ට නයෙන මේ මහපොළොව සංඛ්යාත වූ රත්නයන් දැමීම නිසා ‘වසුන්ධර’ නම ලබන ලද ජගතිං ජගතිපාලා රජවරු වාසය කරත්.
එය හා සමාන වී ගින්න ඇති කල්හි කණාමැදිරියන්ට පිඹින්නේද ඔබ ද ගිනි ඇති කල්හි කණාමැදිරියන්ට පිඹින්නකු වැනිය. තරාදිය පසෙක දමා අතින් කිරන්නාක් මෙනි. කිරි අවශ්ය වූ විට අඟින් කිරි දොවන්නාක් මෙන් සේනකාදීන්ගෙන් ගැඹුරු ප්රශ්නයක් අසන්නෙහි. මොවුහු කුමක් දනිත්ද? මොව්හු කදෝපැණියන් හා සම වෙති. මහෞෂධයෝ මහා ගිනිකන්දක් මෙනි. ප්රඥාවෙන් දිළිසෙයි. ඔහුව කැඳවා අසන්න. මේ ප්රශ්නය නොදන්නා වූ ඔබගේ ජීවිතය නොමැති වෙයි කියා රජුට තර්ජනය කර අතුරුදන් විය.
කණාමැදිරි ප්රශ්නය නිමියේ ය.
භූරි ප්රශ්නය
ඉක්බිති රජතුමා මරණ බියෙන් තැතිගත්තේ පසුදා ඇමැතියන් සතරදෙනා කැඳවා දරුවෙනි! ඔබ සතරදෙන රථ සතරක නැගී සිව්නගර දොරටුවලින් නික්ම ඒ මහෞෂධ පණ්ඩිත මාගේ පුත්රයාව යම්තැනක දකීද එහිදීම ඔහුට සත්කාර කොට වහා මෙහි කැඳවාගෙන එව් යැයි පිටත්කර හැරියේය. ඔවුන් අතුරෙන් තුන්දෙනෙක් පණ්ඩිතයන් නුදුටහ. දකුණු දොරටුවෙන් නික්ම යන්නහු වනාහි දකුණු යවමැදුම්ගමදී මහාසත්ත්වයන් මැටි ගෙනවුත් ප්රධාන වැඩකරුවාගේ රෝදය කරකවමින්, මැටි තැවරුණු සිරුර ඇතිව පිදුරු ආසනයක වාඩිවී මිට මිට ගෙන ව්යඤ්ජන අඩු යවබත් අනුභව කරමින් සිටිනු දුටුවේය. කුමක් නිසා ඔහු මේ කාර්යය කළේද? රජු වනාහි මහෞෂධ පඬිතුමා නිසැකයෙන්ම රජකම ගන්නේයැයි සැක කරන්නේ ඔහු කුඹල්කම් කිරීමෙන් ජීවත් වන්නේ යැයි අසා සැක දුරුකරගන්නේ යැයි සිතා මෙසේ කළේය. ඔහු ඇමැතියා දැක තමා සමීපයට ආ බව දැන මාගේ යසස ප්රකට වූයේ වන්නේය. අමරා දේවිය විසින් සූදානම් කළ නොයෙක් රසයන්ගෙන් යුත් අහර අනුභව කරන්නෙමියි ගන්නා ලද බත්පිඩ ඉවත දමා මුව සෝදා ගත්තේය. ඒ මොහොතෙහි ඔහු පැමිණියේය. ඔහු වනාහි සේනක පාක්ෂිකයෙකි. ඒ නිසා ඔහුව උත්සාහ කරමින් පණ්ඩිතයෙනි. ඇදුරු සේනකයන්ගේ වචනය නෛර්යාණිකය. ඔබට වනාහි යසස පිරිහුණු කල්හි එබඳු වූ ප්රඥාවක් පිහිටන්නට නොහැකි විය. දැන් මැටි තැවරුණේ පිදුරු අසුනක වාඩිවී මෙබඳු වූ බතක් වළඳන්නෙහිදැයි කියා මේ දසක නිපාතයේ භූරි ප්රශ්නයේ ප්රථම ගාථාව කීය.