සාධුනර ධම්ම කාණ්ඩය
පුණ්ණක තෙමේ ද මහාසත්ත්වයන්ව කාළගිරි පර්වතය මුදුනෙහි තබා මොහු ජීවත්වන කල්හි මට වාසියක් නැත. මොහුව මරා හෘදයමාංශය ගෙන නාග භවනයට ගොස් විමලාවන්ට දී ඉරන්දතිය ලබාගෙන දෙව්ලොවට යන්නෙමියි සිතීය. මේ කාරණය ප්රකාශ කරන්නට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
හෙතෙම එහි ගොස් සිතනුයේ ඕ හට උස්පහත් සිතුවිලි උපන. මොහුගේ ජීවිතයෙන් කිසිත් පලක් නොවේ. මොහු මරා හදවත ගන්නෙමි.
එහි සො යනු ඒ පුණ්ණක තෙමේ තත්ථගන්ත්වාන යනු එහි ගොස් කළාගිරි පර්වත මුදුනෙහි සිටියේ. චෙතනකා මොහොතින් මොහොත හටගන්නා වූ සිතුවිලි උස්පහත්ව උපදිත්. මොහුට ජීවිතදානය පිළිබඳ යම් ඒ චේතනාවක් මට පහළ වන්නේය යන්න සිදුවිය හැක්කකි. මොහුගේ ජීවයෙන් ඒ නාගභවනයෙහි මට අල්ප වූද කිසි ප්රයෝජනයක් නැත. මෙහිම මොහුව මරා මොහුගේ හෘදය ගලවාගෙන යන්නෙමියි තීරණය කරගත්තේය යන අර්ථයි.
ඉක්බිති නැවත මෙසේ සිතීය. ඉදින් මම මොහුව තම අතින් නොමරා බිය උපදවන රූප දැක්වීමෙන් ජීවිතක්ෂයට පත්කරන්නෙමියි බියජනක රාක්ෂස රූපයක් මවා යන්නේ, පැමිණ මොහුව හෙළා අතරෙහිදී කනු කැමැත්තේ මෙන් විය. මහා සත්ත්වයන්ගේ ලොමුඩැහැ ගැන්මක් පමණකුදු නොවීය. ඉක්බිති සිංහ රූපයකින්ද මල්අතකු ලෙසින් ද අවුත් දත්වලින්ද දළවලින්ද විනිවිද අනින්නට මෙන් සිටියද එයින් පවා බිය නොවූවහට ඔරුවක් පමණ විශාල සර්ප විලාසයක් මවා පිඹිමින් අවුත් මුළු සිරුරම වෙලාගෙන හිස මත්තෙහි පෙණය කළේය. ඔහුට බියවීම් මාත්රයකුදු ඇතිනොවීය. ඉක්බිති ඔහුට පර්වතය මුදුනෙහි දමා සුණුවිසුණු කරන්නෙමියි මහා සුළගක් මැවීය. එයින් ඔහුගේ කෙස්ගහක්වත් සෙලවීමට සමත් නොවීය. ඉක්බිති ඔහුව පර්වතය මත තබා ඇතෙක් ඉඳිගසක් ගලවන්නාක් මෙන් පර්වතය එහාට මෙහාට සෙළවීය. එපරිද්දෙන් ද ඔහුව සිටිය තැනින් කෙස්ගසක් පමණකුදු සොලවන්නට නොහැකි විය.
ඉක්බිති ත්රාසජනක හඬකින් මොහුගේ හදවත පලා මරන්නෙමියි පර්වතය ඇතුළට පිවිස මහපොළවද අහසට එකනින්නාද කොට හඬ නැගීය. මෙසේද ඔහුට බියවීම් මාත්රයක් ඇති නොවීය. මහාසත්ත්වයන් වහන්සේ වනාහි, යක්ෂ, සිංහ, ඇත්, නාගරාජ යන වෙස්ගෙන ආවා වූත් වායුවේග මැවීම, පර්වතය සෙළවීම කළාවූත් පර්වතය ඇතුළට වී මහා ශබ්ද පවත්වන්නේත් අන් කිසිවකු නොව මානවකයාම බව දැනගත්තේය. ඉක්බිති යක්ෂයා මෙසේ සිතීය. මම මොහුව බාහිර උපක්රමවලින් මරන්නට සමත් නොවෙමි. තමන්ගේ අතින්ම මරන්නෙමියි කියා ඔහු මහාසත්ත්වයන් වහන්සේව පර්වතය මුදුනේ තබා පර්වතය පාමුළට අවුත් මැණිකක් තුළ නූලක් දමන්නාක් මෙන් නාදකරමින් පර්වතය ඇතුළතින් පිටතට අවුත් මහාසත්ත්වයන් වහන්සේ දැඩිව අල්ලාගෙන පෙරළා හිස පහළට සිටින සේ අහසට වීසි කළේය. ඒ නිසා කියන ලදී,
කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි ගොස් පර්වත අතරෙහි සිට ඇතුළට පිවිස විවෘත ප්රදේශයෙහිදී හිස යටිකුරු කොට අල්ලා ගත්තේය.
එහි ගන්ත්වාන යනු පර්වත මස්තකයෙන් පර්වතය පාමුලට ගොස් එහි පර්වත අන්තරයෙහි සිට එහි ඇතුළට නොපිවිස පර්වතය මස්තකයෙහි සිටියහුට යට පෙනෙන්නේ නොවැසුනු භූමි ප්රදේශයක් දැරීය. කලින්ම දැරුවේ නැත. එහි වනාහි ඔහුව දමා අත දිගුකර හිස පහතට වැටෙන්නහුගේ පාවලින් අල්ලාගෙන හිස පහළට සිටිනසේම ඔසවාගෙන මුහුණ බලා මැරේයැයි දැනගෙන දෙවනුවත් දමා යොදුන් තිහක් පමණ පහතට වැටෙන කල්හි එසේම ඔසවා මුහුණ බලා ජීවත්ව සිටින බව දැනගෙන මෙසේ සිතීය. ඉදින් දැන හැටයොදුනක් නමුත් පහතට නොවැටී නොමැරෙන්නේය. ඔහුව පාදයන්ගෙන් අල්ලාගෙන පර්වතය මුදුනෙහි ගසා මරන්නෙමියි ඉක්බිති ඔහුව තුන්වනුවද හෙළා යොදුන් හැටක් පහතට වැටුණු කල්හි අත දිගුකර පාවලින් ගෙන එසවීය. මහාසත්ත්වයන් වහන්සේ මෙසේ සිතූහ. මොහු මා පළමුව පහළොස් යොදුනක් හෙළීය. දෙවනුව තිස්යොදුනක්, තුන්වනුව හැටයොදුනක් හෙළීය. දැන් නැවත නොදමයි. ඔසවන්නේ වනාහි පර්වතය මුදුනෙහි ගසා මරන්නේය. යම්තාක් මා ඔසවාගෙන පර්වත මස්තකයේ නොගසාද ඒ තාක් හිස පහතට සිටින සේ එල්ලෙමින් තමා මැරීමට කාරණය විමසන්නෙමියි කියා ඔහු නිර්භයව සන්ත්රාසයට පත්නොවී එසේ කළේය ඒ නිසා කියන ලදී. ධාරයී කාතියානො කියා තුන්වරක් පහතට හෙළා දැරීය යන අර්ථයි.
කුරුරට වාසීන්ගේ ශ්රේෂ්ඨ ඇමතිතුමා මහාබිය දනවන ලොමුඩැහැ ගැනුම් ඇතිකරන යා නොහැකි නිරය වැනි මහා ප්රපාතයක එල්ලෙමින් නොබියව පූර්ණක යක්ෂයාට මෙසේ කීය.
රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේ වුවත් අනාර්ය පැවතුම් ඇත්තෙහිය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනිය. තෙපි රුදුරු සැහැසිකම් කරහි. අල්ප වූද, කුසලයක් තොප සිතැ නැත.
යම් කරුණකින් මා ප්රපාතයෙහි හෙළනු කැමැත්තහුද මගේ මරණයෙන් තොපට කවර ප්රයෝජනයක්ද? අද තොපගේ පෙනුම අමනුෂ්යයකුට සමානය. තෙපි කවරනම් යක්ෂයෙක් වන්නෙහිදැයි මට කියව.
එහි සො ලම්බමානො ඔහු කුරු රට වැසියන්ගේ ශ්රේෂ්ඨයා. තුන්වන වරටත් එල්ලෙන්නේ. අරියාවකාසො රූපයෙන් ආයයකු වැනිය. දේව ස්වභාවයෙන් හැසිරෙන්නෙහිය. අසඤ්ඤතො කායාදියෙන් නොහික්මුනේ, දුස්සීලයෙකි. අච්චාහිතං යහපත ඉක්මවා ගිය. අතිශයින් අහිත, භාවෙ ච තෙ නුඹගේ සිතෙහි අල්පමාත්ර වූද කුසලයක් නැත. වණ්ණො අද ඔබගේ මේ ස්වභාවය අමනුෂ්යයකුගේය. දෙවතා යනු යක්ෂයන් අතර කවරනම් යක්ෂයෙක්ද ඔබ?