කාළාගිරි කාණ්ඩය
මෙසේ මහා සත්ත්වයන් උතුම් මනුෂ්‍ය ධර්ම සතර බුද්ධ ලීලාවෙන් ප්‍රකාශ කළහ. ඒවා අසන ගමන්ම පුණ්ණක තෙමේ මෙසේ සිතීය. ස්ථාන සතරකදී පණ්ඩිතයා තමාගේ ජීවිතයම ඉල්ලයි. මොහු වනාහි මට පෙර එකට නොවැසූවහුට සත්කාර කළේය. මම මොහුගේ නිවසෙහි දවස් තුනක් මහත් වූ සැපතක් විඳිමින් වාසය කළෙමි. මම ද මේ පාපය කරන්නේ ස්ත්‍රියක් නිසාවෙනි. හැම පැත්තකින්ම මම ම මිත්‍රද්‍රෝහි වෙමි. ඉදින් පණ්ඩිතයන්ට අපරාධයක් කරන්නේ නම් උතුම් මනුෂ්‍ය ධර්මයන්හි යෙදෙන්නෙක් නොවෙම් ද? නාග මානවිකාවගේ ඉඳුපත් වැසියන්ගේ කඳුළු සහිත මුහුණු සිනහ ගන්වමින් මොහුව වේගයෙන් ගෙන ගොස් දම් සභාවට බස්වන්නෙමියි සිතා කීය.
පඬිතුමනි. තොපගේ නිවසේ මම තුන්දවසක් විසීමි. ආහාරපානවලින් උපස්ථාන කරන ලද්දේ වෙමි. තොප මාගේ මිත්‍රයෙකි. මම තොප මුදාහරිමි. ඒකාන්තයෙන් ගෙට යව.
නාග කුලයේ කටයුත්ත පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජනයක් නොවේවා. ඤාණවන්තය. තෙපි තමන්ගේ සුභාෂිත වචනයෙන් මා අද ප්‍රාණ වධයෙන් මුදන ලද්දේය.
එහි උපට්ඨිතොස්මි ඔබ විසින් උපස්ථාන කරන ලද්දේ වෙමි. විසජාමහං තං මම ඔබව මුදාහරිනෙමි. කාමං ඒකාන්තයෙන්. වධාය වධයෙන්. පඤ්ඤා ඤාණවන්තය.
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ, මානවකය! ඔබ මා තමන්ගේ ගෙදරට නොයවන්න. නාග භවනයටම මා ගෙන යන්නයැයි කියන්නේ මේ ගාථාව කීය.
එසේනම් යක්‍ෂය, තෙපි මාද එහි ගෙන යව. තොපගේ මයිලණුවන්ගේ කාර්යය මා කෙරෙහි පවරව. අපිදු නොදුටුවිරූ නාග විමානයත් නා රජුත් දකිමු.
එහි හන්‍ද යනු වචනයාගේ අග්‍ර අර්ථයෙහි නිපාතයකි. සසුරං නු තෙ, අමත්‍ථං මයි චරස්සු යනු ඔබගේ මාමණ්ඩිය සතු කාර්යය මා වෙත පවරන්න. ඔහුව නොමරන්න. නාගාධිපති විමානං නොදුටුවිරූ නාරජුවද විමානයද බලන්නෙමි.
පුණ්ණක තෙමේ කීය;
මිනිසාට යමක් අහිත වන්නේද එය ප්‍රාඥයා දක්නට නිසි නොවේ. එසේ ඇති කල්හි කවර හේතුවක් නිසා සතුරුගමට යාමට තෙපි කැමැත්තහුද?
එහි අමිත්තගාමං යනු සතුරා වසන තැන සතුරා හා එක්වීම යන අර්ථයි.
මහාසත්ත්වයන් වහන්සේ කීය.
ඒකාන්තයෙන් මම ද මෙය දනිමි. එය බැලීමට ප්‍රාඥතෙම නිසි නොවේ. කිසිතැනක මා කළ පාපයක්ද නැත. එහෙයින් මරණයට පත්වීමට මම සැක නැත්තෙමි.
එහි මරණාගමාය යනු මරණයට පැමිණීම.
තවද දේවරාජය! මා විසින් එබඳු වූ නපුරකුව දහම් කතාවෙන් පොලොඹවාගෙන, මෘදු බවෙන් දැන්ම, නාග මානවිකාවගෙන් මට වැඩක් නැත. තමන්ගේ ගෙට යන්න යැයි කීවේය. නාගරාජයාගේ සැරපරුෂ බව නැතිකිරීමෙහිලා මගේ වගකීම කුමක්ද? මා එහි ගෙන යන්න. ඒ අසා පුණ්ණක තෙමේ ඔහුගේ කීම යහපත්යැයි කියා පිළිගෙන මෙසේ කීය.
එසේනම් මා හා සමග එන්න. නලිනී රාජධානියේ වෛශ්‍රවණ රජු මෙන් යම්තැනක නාරජු නෘත්‍ය ගීතයෙන් යුතුව හිඳී ද ඒ මහත් අනුභව ඇති නාවිමන බලව.
ඒ නා මෙනෙවිය සමූහයා විසින් දිවා රාත්‍රී නිරන්තරයෙන් කළ ක්‍රීඩා ඇති බොහෝ මල්දම් ඇති නොයෙක් පුෂ්පයන්ගෙන් වැසුනු විමන අහසෙහි විදුලිය මෙන් බබලයි.
ආහාරපානයෙන් ද නෘත්‍ය ගීත හා වාදනයෙන් ද යුත් ඒ විමානය ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගත් කන්‍යාවන්ගෙන් පරිපූර්ණ වූයේ ඉතා ශෝභන වෙයි.
මෙහි හන්‍දච යනු නිපාත මාත්‍රයකි. ඨානං නාරජු වසන තැනට පසුපසින්. නළිඤ්ඤං නළිනී නම් වූ රාජධානිය. ගණෙන එය නාග කන්‍යා සමූහයේ හැසිරිම් ඇති. නිකීළිතං නිතර දවල්ද රාත්‍රිද නාග කන්‍යාවන් සමග ක්‍රීඩාකරන ලද.