8. විධුර ජාතකය (545)
සිව්පෙහෙවස් කාණ්ඩය
පණ්ඩුකිසියාසි දුබ්බලා යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසද්දී ප්‍රඥා පාරමිතාව අරබයා දේශනා කළ සේක. එක්දිනක් භික්‍ෂූහු දම්සභාවේදී කථාවක් මතුකළහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මහා ප්‍රාඥය. පැතිරීගිය ප්‍රඥා ඇත්තේය. බබලන ප්‍රඥා ඇත්තේය. වේගවත් ප්‍රඥා ඇත්තේය. තියුණු ප්‍රඥා ඇත්තේය. විනිවිද යන ප්‍රඥා ඇත්තේය. අනුන්ගේ වාද මඩින්නේය. තමන්ගේ ප්‍රඥානුභාවයෙන් ක්‍ෂත්‍රීය පණ්ඩිතාදීන් විසින් සකස්කළ සියුම් ප්‍රශ්නයන් බිඳදමා සේවනය නොකළ හැකි සේ කොට සරණයන්හිද සීලයන්හිද පිහිටුවා නිර්වාණගාමී මාර්ගය පිළියෙළ කරන සේක් යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමකර මහණෙනි, මෙහි කවර නම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙබඳු කථාවකින් යැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ උතුම් වූ නිර්වාණයට පැමිණ පරවාදයන් බිඳ දමා ක්‍ෂත්‍රිය ආදීන් හික්මවන්නේය යන පුදුමයක් නොවේ. කලින් භවයකදී බෝධිඥානය සොයන තථාගතයන් වහන්සේ ප්‍රඥාවන්ත වූයේ අනුන්ගේ වාද මර්දනය කිරීමේ සමර්ථ වූයේ යම්සේ වනාහි මම විධුර කුමාර කාලයෙහි යොදුන් සැටක් උසැති කාල පර්වතයක් මුදුනෙහි පුර්ණක නම් යක්‍ෂ සේනාපතියා ඥාන බලයෙන්ම දමනය කොට නොසෙව්නා කොට තමාගේ ජීවිත දානය දුන්නේ යැයි කියා අතීත කථාව ගෙනහැර දැක්වීය.
අතීතයේ කුරුරට ඉන්දුපුස්ත නගරයෙහි ධනංජය කෞරව රජු රාජ්‍යය කළේය. විධුර පණ්ඩිත නම් ඇමැතියා ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ විය. ඔහු මිහිරි කථා ඇත්තේය. මහා ධර්මකථා ඇත්තේය. සියළු දඹදිව රජවරු හස්තිකාන්ත වීණා ස්වරයෙහි ලොල් වූ ඇතුන් මෙන් තමන්ගේ මධුර ධර්ම දේශනාවෙන් පොළඹවාගෙන ඔවුන්ට තමන්ගේ රාජ්‍යයන්ට යාමට ඉඩ නොදී බුද්ධ ලීලාවෙන් මහජනයාට ධර්ම දේශනා කරන්නේ මහත් වූ යසසින් ඒ නගරයෙහි වාසය කළේය.
බරණැස් නුවර වනාහි ගිහි සහායක වූ බ්‍රාහ්මණ මහාසාර කුලපුත්‍රයෝ සතරදෙනෙක් කාමයන්හි ආදීනව දැක හිමවතට පිවිස සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අභිඤ්ඤා, සමාපත්ති උපදවාගෙන වනමුල් ඵල ආහාර ලෙස ගන්නාහු එහිම බොහෝකලක් වාසයකොට ලුණු ඇඹුල් සෙවීම සඳහා චාරිකාවේ ඇවිදින්නාහු අඟු රටෙහි කාලචම්පා නගරයට පැමිණ රජ උයනෙහි වැස පසුදා භික්‍ෂාව සඳහා නගරයට වැඩියහ. එහිදී මිත්‍රයන් සතරදෙනා වූ කෙළෙඹි පුත්‍රයෝ ඔවුන්ගේ ඉරියව් පිළිබඳව පැහැදී භික්‍ෂා භාජනය ගෙන එක් එක් සෘෂිවරයාට තමන්ගේ නිවෙස්වල ප්‍රණීත ආහාර වළඳවා ප්‍රතිඥා ගෙන උයනෙහිම වාසය කළහ. තවුසෝ සතරදෙන කෙළෙඹි පුත්‍රයන් සතරදෙනාගේ ඉදිරියෙහි දිවා විහරණය සඳහා එක්කෙනෙක් තව්තිසා දෙව්ලොවට යයි. එක්කෙනෙක් නාග භවනයට ද එක්කෙනෙක් සුපර්ණ භවනයට ද එක්කෙනෙක් කොරව්‍ය රජුගේ මිගාචිර උයනට ද යයි. ඔවුනතුරෙන් යමෙක් දෙව්ලොව ගොස් දිවා විහරණය කරයිද ඔහු ශක්‍රයාගේ යසස බලා තමාගේ උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් නාග භවනයට ගොස් දිවා විහරණය කරයිද ඔහු නාගරාජයාගේ සම්පත්තිය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් සුපර්ණ භවනයට ගොස් දිවා විහරණය කරයිද ඔහු සුපර්ණ රජුගේ ශ්‍රී විභූතිය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් කොරව්‍ය රජුගේ උයනෙහි දිවා විහරණය කරයිද ඔහු ධනංජය රජුගේ ශ්‍රී සෞභාග්‍යය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි.
ඒ සතරදෙනම ඒ ඒ දේව තනතුරු ප්‍රාර්ථනාකොට දානාදී වූ පිංකොට ආයුකෙළවර එක් අයෙක් ශක්‍රයා වී උපන්නේය. එක් අයෙක් අඹුදරුවන් සමග නාගභවනයෙහි උපන්නේය. එක්කෙනෙක් ඉඹුල්රුක් විමානයෙහි සුපර්ණ රජුව උපන්නේය. අනිකෙක් ධනංජය රජුගේ අග බිසවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ තාපසයෝද බ්‍රහ්මලෝකයේ උපන්හ. කොරව්‍ය කුමාරයා වැඩිවිය පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයේ පිහිටා ධර්මයෙන් රාජ්‍යය කළේය. ඔහු සූදු අන්තුවෙක් විය. ඔහු විධුර පඬිතුමාගේ අවවාදයෙහි පිහිටා දන් දෙයි. සිල් රකියි. පෙහෙවස් සමාදන් වෙයි.