අතුරු සංක්‍ෂේපය
මෙසේ දූදරුවන් හා මිත්‍රාදීන්ට අනුශාසනා කරන්නා වූ ඔහුට දවස් තුනක් ගතවිය. ඔහු දවස සම්පූර්ණ බව දැන උදයේම නොයෙක් රස ඇති බොජුන් වළඳා රජුගෙන් අවසර ගෙන මානවකයා සමග යන්නෙමියි නෑ සමූහයා පිරිවරාගෙන රජගෙදරට ගොස් රජුට වැඳ එකත්පසෙක සිටියේ ප්‍රකාශ කළයුතු වචනය කීවේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
(විධුර) පඬිතුමා මෙසේ ඤාති සමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේය.
පඬිතුමා රජතුමාගේ පා මත හිස තබා වැඳ ඔහු ප්‍රදක්ෂිණා කොට ඇඳිලි බැඳගෙන රජුට මෙසේ කීය.
රජතුමනි! මේ මානවකයා තමන්ට හැඟුනක් කරනු කැමතිව මා ගෙන යයි. (මාගේ) නෑයන්ට යහපත සඳහා මෙය කියන්නෙමි. එය අසනු මැනවි.
මාගේ දරුවන් බැලුව මැනව. මාගේ නිවසෙහි අන්‍ය වූ යම් ධනයක් වේනම් එයද බැලුව මැනවි. මා ගිය පසු මාගේ නෑසියෝ යම්සේ නොපිරිහෙත්ද එසේ කරන්නේ නම් මැනවි.
යම්සේ පොළව පැකිලී ගියේ පොළවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේය. මාගේ මෙම වරද දකිමි.
එහි සුහදෙහි මහා හදක් ඇති ඤාති මිත්‍රාදීන් විසින්. යඤ්චමඤ්ඤං යම් ඒ නුඹ විසින් හෝ අන් රජවරුන් විසින් හෝ දෙන ලද ගෘහයෙහි ඇති අප්‍රමාණ වූ ධනයක් වේද ඒ සියල්ල ඔබම බලන්නෙහි. පෙච්චා පසුව. ඛලතී යනු පැකිළෙයි. එවෙතං මෙසේ මෙය මම බිම පැකිල එහිම පිහිටියා වූ පුරුෂයකු මෙන් නුඹලා කෙරෙහි පැකිල නුඹලා කෙරෙහිම පිහිටුවමි. එතං පස්සාමි යමෙක් රජ්ජුරුවන් වහන්සේ කවුරුන් වනසේක්දැයි මානවකයා විචාළ කල්හි නුඹ නොබලා සැබෑ බව දන්නා නිසා මම දාසයෙක් වෙමියි කියන්නහුගේ වරදයි. මේ වරද දකිමි. වෙන දෝෂයක් නම් නැත. මාගේ ඒ වරදට සමාවන්න. එය හදවතෙහි තබාගෙන පසුව මාගේ දරුවන් භාර්යාවන් කෙරෙහි අපරාධයක් නොකරන්න.
එය අසා රජතෙමේ පණ්ඩිතය! ඔබගේ ගමනට මම කැමැති නොවෙමි. ඔබ නොයන්න. මානවකයාව පිළිවෙලින් කැඳවා ඝාතනය කොට සඟවමු. මට එය රුචිවෙයි යැයි දක්වමින් ගාථාවක් කීය.
උතුම් වූ මහා ප්‍රාඥය! ඔබට යා නොහැකිය. මට මෙසේ සිත්වේ. කාත්‍යායන නම් වූ මානවකයා මෙහිදී තළා මරා මෙහි නවතිනු යනු මට රුචිවෙයි. තෙපි නොයව.
එහි ඣත්‍වා යනු මෙහි රජගෙදරම ඔහුට තළාපෙළා මරා.
ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ නුඹට මෙබඳු අදහසක් නොගැලපේයැයි කියා මෙසේ පැවසීය.
රජතුමනි, අධර්මයෙහි සිත නොයොදන්න. අභිවෘද්ධිය ඇතිවන දෙයෙහිත් පුණ්‍ය කටයුතුවලත් යෙදෙන්න. යම් කර්මයක් කොට පසුව අපායට යේද, එවැනි ලාමක වූ පාප ක්‍රියාවන්ට නින්දා වේවා.
මේ යුක්තිය නොවේ. යළි කටයුතු දේ නොවේ. රජතුමනි! ස්වාමියා දාසයාගේ අධිපතියාය. ස්වාමියා විසින් ඔහුව නසන්ටත්, දවන්ටත්, පෝෂණය කරන්ටත් සුදුසුය. මානවකයා කෙරෙහි මට කෝපයක් නැත. මම ඔහු සමග යමි.
එහි මාහෙවධම්මෙසු යනු අධර්මයන්හි අනර්ථයන්හි පින් නොවන දෙයෙහි නුඹගේ සිත නොයොදන්න යන අර්ථයි. පච්ඡා යනු යම් කර්මයක් කොට හෝ අජරාමර නොවෙයි. ඉක්බිති පසුව නිරයෙහිම උපදින්නේය. ඒ කර්මයට නින්දා වේවා. නෙවෙස මෙය නොවේ. අයිරො ස්වාමීනි, සාතෙතුං මේ ඝාතන ආදිය කරන්ට ආර්යයන් වහන්සේ දාසයාගේ ප්‍රධානියාය. මේ සියල්ල කරන්නට ලැබෙයි. මට මානවකයා කෙරෙහි අල්ප වූද ක්‍රෝධයක් නැත. දෙන ලද කාලයේ පටන් සිත වලක්වාගන්නට වටනේය. රජතුමනි, මම යමි යැයි කීය.