රාජවසති කාණ්ඩය
ඉක්බිති හෙතෙම ඒ නෑයන් වෙත පැමිණ තුණ්හීභූතව සිටින්නවුන් දැක දරුවෙනි! නොසිතව්. සියළු සංස්කාරයෝ අනිත්‍යයහ. යස්ස නම් විපත්තිය අවසන්කොට ඇත්තකි. තවද නුඹලාගේ රාජ්‍ය සේවය නම් යසස් ප්‍රතිලාභවලට හේතු වෙයි. කියන්නෙමි. එය එකඟ සිතින් අසව් යැයි බුද්ධ ලීලාවෙන් රාජ්‍ය සේවය නම් පිහිටුවීය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
නොසැඟවුණු සිතුවිලි ඇති විදුර පඬිතුමා මිතුරන්ට ඇමැතියන්ට නෑයන්ට සහ හිතවතුන්ට මෙසේ කීය.
ආර්යයෙනි, එපරිද්දෙන් රජ කුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණෙත්ද මා කියන රජමැදුරේ සේවය මා සමීපයේ සිට අසවු.
එහි සුහදං ජනෙ සහෘද ජනයා එථය්‍යො එන්න. ප්‍රිය වූ ව්‍යවහාරයෙන් දරුවන් අමතයි. රාජවසතිං මා විසින් කියනු ලබන රාජසේවය අසව්. යථා යනු යම් කාරණයකින් රාජකුලං පත්තො පැමිණෙන්නේ රජුගේ සමීපයෙහි හැසිරෙන්නේ. පොසො යසං නිගච්ඡති ඒ කාරණය අසන්නයැයි අර්ථයි.
අප්‍රකට තැනැත්තාද අදක්‍ෂ තැනැත්තාද අඥාන තැනැත්තාද මුළා වූ සිහි ඇති තැනැත්තාද රජමැදුරට පැමිණ කිසිකලෙක යසස නොලබයි.
යම්කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනීද එකල ඔහු විශ්වාස කරයි. සඟවාලිය යුතු රහස පවා නොසඟවා කියයි.
එහි අඤ්ඤාතො අප්‍රකට ගුණ ඇති, නොදත් චරිත ඇති. නාසුරො නිවටයෙක් නොවේ. බියජනක ස්වභාව ඇති. යදාස්ස සීලං යම්කලෙක මේ සේවකයාගේ රජු ශීලයත්, ප්‍රඥාවත්, සුවච බවත් ආචාරශීලී බවත් ඤාණ බලයත් සුවපත් බවත් දැනගනීද. අථවිස්ස සතෙත්‍යම්හි රජු ඔහු කෙරෙහි. විසස්සති විශ්වාස කරයි. තමාගේද රහසක් වේද එය නොරකී. නොසඟවයි. කියයි.
යම්සේ මැනැවින් දරණ ලද ඔසවාලූ තරාදිය එහි දඬුව සමානවැ සිටීද එසේ රාජ නියෝග ලද සේවකයා නොසැලේද හෙතෙම රජ කුලෙහි වසන්නේය.
යම්සේ මැනවින් ඔසවන ලද තරාදිය එහි දඬුව සමව සිටීද ඒ ලෙස සියළු රාජ කාර්යයන් කරන හෙතෙම රජ කුලයෙහි වසන්නේය.
එහි තුලා යථා යනු යම්සේ මේ කියන ලද ප්‍රකාර ඇති තරාදිය පහතට නොවැටෙයි. උඩට නොයයි. එපරිද්දෙන් රාජ්‍ය සේවකයා කිසියම් කටයුත්තක් රජු විසින් මෙය කළ යුතුයයි නියෝග කළ කල්හි ඡන්‍ද ආදී අගතියකින් කම්පා නොවන්නේය. සියලු කටයුතුවලදී ඔසවන ලද තරාදිය මෙන් සමාන වන්නේය. ස රාජිවසති යනු ඒ මෙබඳු ස්වරූප ඇති සේවකයා රජගෙදර වාසය කරන්නේය. රජවරුන්ට ආවතේව කරන්නේය. මෙසේ සේවය කරන්නේ වනාහි යසස ලබයි යන අර්ථයි. සබ්බානි අභිසමභොනෙතා සියළු රාජකෘත්‍යයන් කරන්නේ.
නුවණැත්තේ රාජකාර්යයෙහි දවල්හි හෝ රාත්‍රියෙහි මෙහෙයන ලදුයේ නොසැලේ නම් හේ රජගෙයි වසන්නේය.
නුවණැත්තේ රාජ කාර්යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේය.
රජතුමා සඳහා යම් මාර්ගයක් මනාව පිළියෙල කරන ලදද ඒ මාර්ගයෙන් යවයි කියන ලදද ඒ මාර්ගයෙන් නොයන්නේය. ඔහු රජගෙහි වසන්නේය.
එහි න විකම්පෙය්‍ය කම්පා නොවී ඒ කටයුතු කරන්නේය. යොචස්ස යනු යමෙක් රජුට ගමන්මග මනාව කරන ලද්දේ ද ඒ මගින් යවයි රජු විසින් කියන ලද්දේ නමුත් එයින් නොයන්නේ ය.
රජතුමාට සමාන ලෙස කිසිවිටෙක පස්කම් සැප නොවිඳින්නේ ය. හැමතැනදීම එයට වඩා අඩු ප්‍රමාණයෙන් කම්සැප විඳින්නේ ය. හේ රජගෙයි වසන්නේ ය.
[missing trans]
එහි නරඤ්ඤො රජුට සමානව කප නොවිඳින්නේය. එබඳු තැනැත්තාට රජු කිපෙයි. සබ්බත්‍ථ යනු සියළු රූප ආදී කාමගුණයන්හි රජුට පසුපසින්ම යන්නේය. අඩු ප්‍රමාණයකින්ම සේවනය කරන්නේය යන අර්ථයි. අඤ්ඤං කරෙය්‍ය රජුගේ ආකල්පයෙන් වෙනස් වූ වෙනත් ආකල්පයක් කරන්නේය. ස රාජවසතිංවසෙ ඒ පුද්ගලයා රජු සමීපයට ගොස් වාසය කරන්නේය.
රජතුමා ඇමැතියන් භාර්යාවන් පිරිවරා ක්‍රීඩා කරන්නේ ද එවිට ඤාණ සම්පන්න ඇමැතිවරයා රජුගේ බිරියන් විශ්වාස නො කරන්නේය.
අහංකාරයෙන් තොරව චපල පැවතුම් ඇත්තෙක්ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක්ව වසාගත් ඉන්‍ද්‍රිය සය ඇත්තෙක්ව රජගෙහි වසන්නේ ය.
එහි භාවං යනු විශ්වාස වශයෙන් අචපලො නොසරසන ශීලය. නිපකො මුහුකුරා ගිය ඤාණය. සංවුතින්‍ද්‍රියො වසන ලද සඉඳුරන් ඇත්තේ රජුගේ හෝ අංග ප්‍රත්‍යංගයන් හෝ අන්තඃපුර කතුන් දෙස හෝ නො බලන්නේ ය. මනොපණිධිසම්පන්නො නො සෙල්වෙන මනාව පිහිටුවන ලද සිතෙන් යුක්ත වූයේ.
රජුගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගතව ඔවුන් සමග කථා නො කරන්නේ ය. රජුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙයි වසන්නේ ය.
අධික නිදාවැටෙන කෙනෙක් නොවන්නේය. මත්වීම පිණිස සුරාව නො බොන්නේ ය. රජුගේ අභය භූමිවල සිටින මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
මම කාර්මිකයෙක් වෙමියි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතුපිටට හෝ රථයට නො නගින්නේය. හේ රජගෙයි වසන්නේය.
ඥානවන්ත රාජ්‍ය සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නොසිට රජු කරන දෙස බලමින් සිය ස්වාමියාට පෙනෙන තැනක සිටින්නේය.
ඒකාන්තයෙන් රජු මිත්‍රයෙක් නොවේ. රජතුමා තමාට සමානද නොවේ. ඇසට වැටුණු වී නන්ඩුව ඇසේ ප්‍රකෘතිගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.
රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමියි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කථා නොකරන්නීය.