පෙක්ඛණ කාණ්ඩය
මහා සත්ත්වයන් වහන්සේ වනාහි නතරවිය. ඉක්බිති ඔහුට පුණ්ණක තෙමේ මෙසේ කීය.
ස්වාමියා විසින් තෙපි මට දෙන ලද්දහුය. එව දැන් යමු. මාගේම අභිවෘද්ධිය පතා පිළිපදින්න. මෙය සනාතක ධර්මයෙකි.
එහි දින්නො තො යන මෙහි නො යනු නිපාත මාත්‍රයකි. ස්වාමියා විසින් මට දෙන ලදී යන අර්ථයි. සනත්තනො මාගේ දියුණුව සඳහා පිළිපදින්නා වූ තා විසින් තම ස්වාමියාගේ දියුණුව සිදුවිය යන අර්ථයි. යම් මේ ස්වාමියාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම නම් වූ මේ ධර්මය සදාකාලික වූවකි. මෙය පෞරාණික පණ්ඩිතයන්ගේ ස්වභාවයයි.
විධුර පණ්ඩිත තෙමේ මෙසේ කීය;
මාණවකය! තා විසින් මා ලබන ලදැයි දනිමි. ස්වාමීන් විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල්යේද එපමණ තුන් දිනක් අපගේ නිවසේ වසමු.
එහි තයාහමස්මි යනු ඔබ විසින් මම ලබන ලද්දේ වෙමියි දනිමි. ලබන්නහු විසින් වෙන ක්‍රමයකින් නොව මට දෙන ලද්දේ වෙමි. ඔබගේ ස්වාමියා වූත් මාගේ ස්වාමියා වූත් රජු විසින් මම ඔබට දෙන ලද්දේ වෙමි. තීහඤ්ව මාණවකය! මම නුඹට බොහෝ උපකාරි වෙමි. රජුව නොබලා සත්‍යයම කීවෙමි. ඒ නිසා ඔබ විසින් මම ලබන ලද්දේ වෙමි. ඔබ මාගේ මහත් බව දන්නෙහිය. අපි දවස් තුනක් තමන්ගේ ගෙයි වසමු. ඒ නිසා යෙනද්ධුනා යම් පමණ කලකින් අපි අඹුදරුවන් අනුශාසනා කරන්නෙමුද ඒ තාක් කල් ඉවසන්න.
එය අසා පූර්ණක තෙමේ කීය. පණ්ඩිතයා සත්‍යය කීවේය. මොහු මට බොහෝ උපකාරි වෙයි. මට දවස් හතක් හෝ මාස භාගයක් හෝ කියූ කල්හි ඉවසිය යුතුයැයි සිතා,
තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පුණ්‍යවන්ත තෙමේ අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම්ලෙසකින්ද එසේ අනුශාසනා කෙරේවා.
එහි තංමෙ ඔබ යමක් කියන්නෙහිද? ඒ සියල්ල මට එසේම වේවා. භවජ්ජා යනු ඔබ අද පටන් දවස් තුනක් අනුශාසනා කෙරේවා. තයි පච්ඡා යම්සේ ඔබ ගිය කල්හි පසුව ඔබගේ අඹුදරුවෝ සුවපත් වන්නාහුද මෙසේ අනුශාසනා කරන්න.
මෙසේ කියා පූර්ණක තෙමේ මහාසත්ත්වයන් වහන්සේ සමග ඔහුගේ නිවෙසට පිවිසියේය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
මහා භෝග ඇති යක්‍ෂයා යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත්වී ගියේය. උසස් පැවතුම් ඇති යක්‍ෂයා ඇතුන්ද අසුන්ද හැසිරෙන ඇතුල් නුවරට පිවිසියේය.
එහි පහූතකාමො යනු මහා සම්පත්. කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණං ඇතුන්ගෙන්ද අශ්වයන්ගෙන්ද ගැවසීගත් අරියසෙට්ඨො උසස් පැවතුම් ඇති ශ්‍රේෂ්ඨ වූ පූර්ණක යක්‍ෂයා ද ඔහුගේ ඇතුල් නුවරට පිවිසියේය.
මහාසත්ත්වයන් වහන්සේට වනාහි තුන් ඍතුන් සඳහා ප්‍රාසාද තුනක් ඇත. ඒවායින් එකක් කොඤ්ච නම් වේ. එකක් මයූර නම් වේ. එකක් පියකෙත නම් වේ. ඒවා ගැන මේ ගාථාව කියන ලදී.
කොඤ්ච, මයූරය, පියකේත යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙත්. ඒ ප්‍රාසාද අතුරෙන් අතිශය මනෝහර වූ බොහෝ ආහාරපාන ඇත්තා වූ ශක්‍රයාගේ මසක්කසාර භවන වැනි වූ තමාගේ වාසස්ථානයට පැමිණියේය.
එහි තත්‍ථ යනු ඒ ප්‍රාසාද තුන අතරින් යම්තැනක ඒ කාලයේ තමා වාසය කරන ඒ සුරම්‍ය වූ ප්‍රාසාදයට පූර්ණකව රැගෙන පැමිණියේය.
පැමිණ අලංකාර කළ ප්‍රාසාදයේ සත්වන මහළෙහි නිදන කාමරයද මහා තලයද සූදානම් කර ශ්‍රී යහනාව සූදානම්කර සියළු ආහාරපාන විධීන් පිළියෙල කර දේව කන්‍යාවන් වැනි පන්සියයක් ස්ත්‍රීහු පාදපරිචාරිකාවෝ වෙත්. කලකිරීමත් ඇති නොවී වාසය කරන්න යැයි ඔහුට පවරා දී තමන් වසන ස්ථානයට ගියේය. ඔහු ගිය කල්හි ඒ ස්ත්‍රීහු නොයෙක් තූර්ය භාණ්ඩයක් ගෙන පූර්ණකට සේවාවක් ලෙස නෘත්‍ය ආදිය පැවැත්වූහ. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
එහි දෙව්ලොව්හි දෙවඟනන් මෙන් සරහන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට තරඟ කරන්නේ.
එහි අව්හයන්ති වරාවරං යනු උතුම්. නෘත්‍ය ගීතයන් පවත්වමින් කියත්.
දහම් ගන්නා බෝසත් තෙම එදවසැ යක්‍ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද යුක්ත කොට ස්වකීය අර්ථයමැ මෙනෙහි කරමින් භාර්යාව වෙත එළඹියේය.
එහි පමදාහි කාන්තාවන් විසින් ද ආහාරපාන ආදියෙන් ද යුක්ත කොට ධම්මපාලො යනු ධර්මය පාලනය කරන, ආරක්‍ෂාකරන. අත්‍ථත්‍ථමෙව අර්ථයක් ඇති අර්ථයම. භරියාය සියල්ලන්ට ප්‍රධාන භාර්යාවගේ.
සඳුන් සුවඳ ඇති කලල් තවරාගෙන දඹ රත්රන් වැනි ශරිර ඇති බිරිඳ අමතා පින්වතිය! එව. මාගේ කීම අහන්න. තඹ පැහැති නෙත් ඇත්තීය. මාගේ දරුවන් කැඳවව.
එහි භරියංවචා භාර්යාවට කීවේය. ආමන්තය කැඳවව.
අනුජ්ජා තොමෝ හිමියාගේ බස් අසා නිලුපුල් වන් නෙත් ඇති චේතාවෙනි. ආභරණවලින් සැරසුනු මාගේ දරුවන් කැඳවන්න. තඹ පැහැතිනිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.
එහි අනුජ්ජා යනු එනම් ඇත්තී. සුනිසංවච තම්බනඛී සුනෙතකං යනු ඇය ඔහුගේ වචනය අසා කඳුළු පිරි මුවින් අඬන මා විසින් තමාම ගොස් පුත්‍රයන් කැඳවන්නට නුසුදුසු ලේලිය යවන්නෙමියි ඇගේ වාසස්ථානයට ගොස් ඕ තොමෝ තඹවන් නිය ඇත්තේ මනා ඇස් ඇති ලේලියට කීවාය. ආමන්තය කැඳවන්න. වම්මධරා යුද හැට්ටය දරණ, ශුර, සමර්ථ යන අර්ථයි. ආභරණ බඩුම මෙහි ‘වම්ම’ යන්නෙන් අදහස් කෙරේ. ඒ නිසා අබරණ කරයි යන අර්ථයි. චෙතෙ චේත යන නමින් අමතයි. පුත්තානි. මගේ පුත්‍රයෝ ද දූවරු ද ඉන්‍දීවර පුප්ඵසාමෙ ඇයට අමතයි.