ද්‍යූත කාණ්ඩය
මෙසේ කියා පුණ්ණක තෙමේ මහරජ, මම ඉදින් සූදුවෙහි දිනුයේ නම් මේ මාණික්‍ය රත්නය දෙන්නෙමි. නුඹ වනාහි කුමක් දෙන්නෙහිදැයි ඇසීය. දරුව, මගේ ශරීරයත් සේසතත් හැර ඉතිරි මා සන්තක සියල්ල බදු වේවා. එසේනම් දේවයනි, කල්ගත නොකරන්න. මම දුර සිට පැමිණියේ වෙමි. සූදු මණ්ඩපය, සූදානම් කරවන්න. රජු ඇමතියන්ට අණ කළේය. ඔව්හු වහා දුකෙළි මණ්ඩපය සූදානම් කර රජුට උතුම් පොත් අතුරණයක් සෙසු රජවරුන්ට ආසනද පනවා පූර්ණකටද සුදුසු ආසනයක් දී රජුට කාලය දැනුම් දුන්හ. ඉක්බිති පුණ්ණක රජුට ගාථාවකින් මෙසේ කීය.
ක්‍රීඩා ශාලාව සාදා අවසන්ය. සූදු පිටියට එනු මැනවි. මෙවැනි මාණික්‍යයක් ඔබට නැත. ක්‍රීඩාවෙහි යෙදෙන අපි සැහැසි ලෙස නොව දැහැමි ලෙස දිනන්නෙමු. දිනූ තැනැත්තාට කල් නොයවා ධනය දෙන්න.
මහරජ, සූදු ශාලාවේ වැඩ උපාගතං අවසන් මෙබඳු මාණික්‍ය රත්නයක් තට නැත. ප්‍රමාද නොකරව. උපෙහිලක්ඛං සූදු ක්‍රීඩාකරන තැනට එන්න. ක්‍රීඩා කරන්නා වූ අපි ධර්මයන් දිනන්නෝ වෙමු. සැහැසි බවෙන් ජයග්‍රහණය නොවේවා. ඉදින් වනාහි නුඹ දිනුයේ වත්තෙහිද ඉක්බිති වහා අපට දෙන්න. ප්‍රමාද නොකොට දිනුවහුට ධනය දෙන්නයැයි කියන ලදී.
ඉක්බිති ඔහුට මහරජු මෙසේ කියයි. මානවය, මා රජයැයි ඔබ බිය නොවන්න. ධර්මයෙන් මිස සැහැසි බවෙන් නොව ජයපරාජය වන්නේ. ඒ අසා පූර්ණක තෙමේ අපගේ ධර්මයන්ට ජයපරාජය වන බව දැනගනිව් යැයි රජුට ප්‍රත්‍යක්‍ෂව ඒ බව මෙසේ කීය.
සුප්‍රකට පංචාල රජ ද සූරසේන රජ ද මච්ඡ රජ ද කේකක ජනපදයේ රජු සමග මදුරට රජු ද යන අය අපේ මේ තරගය කපටිබවින් තොරව බලත්වා. සභායෙහි කිසි සහායයක් නොකරන්නේ නොවේ.
එහි පච්චුග්ගතා මතු වූ නිසාවෙන් පෙනෙන නිසාවෙන් ප්‍රකට බැවින් පංචාල රජුටම ආමන්ත්‍රණය කරයි. මච්ඡා ච ඔබද යහළුව මච්ඡක රටේ රජ. මද්දා යනු මදුරටේ රජු. සහකෙකකෙහි කෙක නම් ජනපදය සමග පවත්නා කේතරාජ, නුඹද නොඑසේ නම් ශබ්දය සමග කෙකක යන පදයට පසුවට තබා ඉදිරියට ගියේය යන ශබ්දයද සූරසේන යන්නට විශේෂණ කොට පංචාල පච්චුග්ගත. සූරසේන මච්ඡ රට මද්දකෙකයන් සමග අනිකුත් රජවරු යනුවෙන් මෙහි අර්ථ ගැනේයැයි දතයුතුයි. පස්සන්තුනොතෙ මේ රජවරු අප දෙදෙනාගේ සූදු තරගය කපටිබවෙන් තොරව බලත්වා. නහො සහායං න කරොති කිච්චි යන මෙහි නො යනු නිපාත මාත්‍රයකි. සභාවෙහි කිසිවෙක් සාක්‍ෂ්‍ය නොවේ. ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද කරත්මය. ඒ නිසා ඉදින් කිසියම් අකටයුත්තක් හටගනීද අපට ඇසුනේ නැත. අප දුටුවේ නැත කියා කියන්නට නොලබව්. අප්‍රමාදී වව්.
යක්‍ෂ සේනාපතියා රජුට විශ්වාසවන්ත කළේය. ඉක්බිති රජතුමා එක්සියයක් රජුන් පිරිවරා පුණ්ණකට ගෙන සූදු ශාලාවට පිවිසියේය. සියල්ලෝ සුදුසු ආසනවල හිඳගත්හ. රිදී තහඩු රන් දාදුකැට තැබවූහ. පුණ්ණක තෙමේ කලබලව මහරජතුමනි, දාදු කැට අතර මාලික, සාවට, බහුල, භද්‍ර ආදී විසිහතරක් ඇත. ඒවා අතර ඔබ තමාට කැමැති දාදුවක් ගන්නයැයි කීය. රජු යහපතැයි බහුල නම් වූව ගත්තේය. පූර්ණක තෙමේ සාවට නම් වූම ගත්තේය. ඉක්බිති ඔහුට රජු මෙසේ කීය. එසේනම් මානවකය, දාදු දමන්න. මහරජ, මට පළමුවාරය නොලැබේ. ඔබ දමන්න. රජු යහපතැයි පිළිගත්තේය. ඔහුගේ වනාහි තුන්වන ආත්මභාවයේදී මව වූ ආරක්‍ෂක දේවතිවායක් ඇගේ ආනුභාවයෙන් රජු සූදුවෙහි දිනයි. ඇය නුදුරෙහි සිටියාය. රජු දෙවියන් සිහිකොට සූදුවේ ගීතය ගයා දාදුකැට අතට ගෙන අහසට දැම්මේය.