දොහළ කණ්ඩය
ඔවුනතුරෙන් නාගරාජයාගේ බිරිඳ විමලාදේවී නම් වූවාය. ඇය ඔහුගේ ගෙළෙහි පළඳින මැණික නොදැක විචාළාය. ස්වාමීනි, ඔබගේ මාණික්‍යය කොහේද? සොඳුර, චන්ද බ්රාහ්මණපුත්ර විධුර පඬිතුමාගේ ධර්මකථාව අසා පහන් සිතැත්තෙම් මම ඒ මැණික එතුමාට පූජා කළෙමි. හුදෙක් මා පමණක් නොවේ. ශක්‍රයාද ඔහු දිව්‍යමය දුහුල් වස්ත්‍රයකින් පිදීය. සුපණ්ණ රජු රන්මාලයකින්ද, ධනංජය රජු ගවයන් දහසකින් පිදීය. දේවයන් වහන්ස! ඔහු ධර්ම දේශකයෙකි. සොඳුර! කුමක් කියන්නෙහිද? දඹදිව් තලයෙහි බුදුන් පහළ වූවාක් මෙන් වෙයි. සියළු දඹදිව එක්සියයක් රජවරු ඔහුගේ මිහිරි කථාවෙන් බැඳී හස්තිකාන්ත වීණා ස්වරයෙහි ලොල් වූ මත්වූ හස්තීන් මෙන් තමන්ගේ රාජ්‍යවලට නොයත්. මෙබඳු ස්වභාව ඇති ඔහු මධුර ධර්මකථිකයෙකි. ඇය විධුර පඩිතුමා පිළිබඳ ගුණකථාව අසා ඔහුගේ බණ කථා අසනු කැමැත්තී ඔහුව මෙහි ගෙන එන්නයැයි කීවාය. ඉදින් මා ළඟට කැඳවාගෙන නොඑන්නේ නම් මගේ හදෙහි ඔහු පිළිබඳ දොලක් උපන්නේයැයි ගිලන්හලක් කරවන්න. ඇය එසේ කොට සේවක ස්ත්රීන්ට දැනුම්දී හොත්තේය. නාරජ තෙමේ උපස්ථාන වේලාවේදී නොදකින්නේ විමලා දේවිය කොහේදැයි සේවක කාන්තාවන්ගෙන් අසා දේවයන් වහන්ස, ඇය රෝගාතුර වී සිටීයැයි කී කල්හි ඈ සමීපයට ගොස් ශරීරය මිරිකා පළමු ගාථාව කීය.
විමලාවෙනි, තිගේ සිරුර පඬුවන්ය. කෘශය. දුබලය. පෙර තිබුනු රූපශ්‍රීය දැන් නැත. තිට කවර ශරීර වේදනාවක් පවතීදැයි මට කියව.
එහි පණ්ඩු යනු පඬුවන් කොළපාටය. කීසියා කෘශය. දුබ්බලා අල්ප වූ ශක්ති ඇත්තී. වණ්ණරූපං නතවෙදිසං පුරෙ ඔබගේ වර්ණ සංඛ්‍යාත වූ රූපය පෙර මෙබඳු නොවෙයි. නිදොස්ය. නිවැරදිය. එය දැන් වෙනස්වී නුසුදුසු බවට, අමනොඥ බවට පත්ව ඇත. විමලෙ යැයි ඇයට අමතයි.
ඉක්බිති ඔහුට කියන්නී දෙවන ගාථාව කීය.
මිනිසුන් අතර ස්ත්රීන්ට දොළදුක් ඇතිවීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් මෙහි ගෙන එන විදුර පඬිතුමාගේ හදවත පතමි.
එහි ධම්මො යනු ස්වභාවයයි. මාතිනං ස්ත්රීන්ට. ජනින්ද නාගජනයාගේ ප්‍රධාන. ධම්මා හට නාගකුඤ්ජර විධුරස්ස හදයාභිපත්ථයෙ නාග ශ්‍රේෂ්ඨය, මම දැහැමින් සෙමින් සැහැසි නොවන ලෙස මෙහි ගෙනෙන ලද විධුරගේ හදවත පතමි. මට එය ලැබේනම් ජීවිතය පවතී. නොලැබේනම් මරණය මෙහිම වේයැයි ඔහුගේ ප්‍රඥාව ගැනම මෙසේ කීය.
එය අසා නාගරාජයා තුන්වන ගාථාව කීය.
දොළ නිසා චන්ද්‍රයා ප්‍රාර්ථනා කරහි. සූර්යයා ප්‍රාර්ථනා කරති. නැතහොත් පවන ප්‍රාර්ථනා කරමි. විධුරගේ දර්ශනය පවා දුර්ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙනඑන්ට සමත්වේද?
එහි දුල්ලභෙහි විධුරස්ස දස්සනෙ අසම ධුරයක් දරණ විධුරගේ දැකීමම දුලභය. සියළු දඹදිව රජවරු දැහැමි රැකවරණ ආරක්ෂා තබා ඔහුව දැකීම සඳහා යති. නමුත් කිසිවෙකුට ඔහුව දකින්නටවත් නොලැබෙයි. ඔහුව කවරෙක් මෙහි ගෙන එන්නේදැයි කියයි.
ඇය ඔහුගේ වචනය අසා නොලබන්නා වූ මාගේ මරණය මෙහිම වේවායි පෙරළී පිට පෙන්වා සළු කෙළවරින් මුහුණ වසාගෙන වැදහොත්තේය. නාරජ තෙමේ තමන්ගේ සිරියහනට ගොස් සයනය මත සිටියේ විමලා දේවිය විධුරගේ හෘදය මාංශය ගෙනෙව්. විධුර පඬිතුමාගේ හෘදය මාංශය නොලබන්නී විමලාවන්ට ජීවිතයක් නැත. කෙසේනම් විධුරගේ හෘදය මාංශය ලබන්නෙම්දැයි සිතීය. ඉක්බිති ඔහුගේ දියණිය වූ ඉරන්දතී නම් නාග කන්‍යාව සියළු අලංකාරයෙන් සැරසී මහත්වූ ශ්‍රී විලාශයෙන් උපස්ථානයට ආ පියාට වැඳ එකත්පස්ව සිටියා වූ ඕ තොමෝ ඔහුගේ ඉන්ද්රිය විතාරය දැක පියාණනි, අතිශයින් දුකට පත්වූයෙහි. කුමන කරුණක් නිසාදැයි අසන්න මේ ගාථාව කීය.
පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නහුද? ඔබවහන්සේගේ මුහුණ අතින් මැඬලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමක් නිසා දොම්නස් සහගත වූයෙහිද? සතුරන්ගේ තැවීමෙන් තෙපි ශෝක නොකරන්න.
එහි පඣායසි යනු සිතන්නෙහි. හත්ථගතං ඔබගේ මුහුණ අතින් පිරිමදින ලද්දක් මෙන් විය. හත්ථගතං යනු අතින් පිරිමදින ලද නෙළුමක් මෙන් විය. ඔබගේ මුහුණ. ඉස්සරා පන්සිය යොදුනක් වූ මඤ්ජෙරික නාග භවනයෙහි අධිපති.
දියණියගේ වචන අසා නාරජ තෙමේ ඒ බව සඳහන් කරමින් මෙසේ කීය;
ඉරන්දතිය, තිගේ මව විධුගේ හදවත පතයි. විධුරගේ දර්ශනය පවා දුර්ලභය. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේද?
එහි ධනීයති යනු ප්‍රාර්ථනා කරයි.