යඤ්ඤහෙදවාද කාණ්ඩය
ඉක්බිති දොරටුපාලකයාව සිටි කාණාරිට්ඨ තෙමේ එසේ හිංසා කරමින් ගෙන එනු ලබන ඔහුව දැක ඉදිරියට ගොස් සුභග! මෙසේ හිංසා නො කරන්න. බ්රාහ්මණයෝ වනාහි මහා බ්රහ්මයාගේ දරුවෝය. ඉදින් වනාහි මහා බ්රහ්මයා දැනගන්නේද මාගේ පුත්රයන්ට හිංසා කරන්නේ යැයි කිපී අපගේ සියලු නාග භවනය විනාශ කරන්නේය. ලෝකයෙහි බ්රාහ්මණයෝ වනාහි උත්තමයෝය. මහානුභාව සම්පන්නයෝය. නුඹ ඔවුන්ගේ ආනුභාවය නොදන්නෙහිය. මම දනිමි. කාණරිට්ඨ තෙමේ අතීතයේ වෙනත් භවයකදී යාගකරන එක්තරා බ්රාහ්මණයෙක් විය. ඒ නිසා මෙසේ කීය. කියාද විඳීම් වශයෙන් යැදීම් ස්වභාවකොට ඇත්තේ වී සුභග හා නාගපිරිස අමතා එව්. යාග කරන්නා වූ බ්රාහ්මණයන්ගේ ගුණය තොපට වර්ණනා කරන්නෙමියි කියා යාග වර්ණනාව ආරම්භ කරමින් මෙසේ කීය.
සුභග! මේ ලෝකයෙහි යාගයන් ද වේදයන් ද අලාමකය. ඉතා අල්පවූ බ්රාහ්මණයන්ගෙන් යුක්තය. ඒ නිසා බ්රාහ්මණයාට නින්දා කරන්නා වූ ගර්හා කරන්නා වූ තැනැත්තා ධනයත් උතුම් ධර්මයත් අත්හරියි.
එහි අනිත්තරා යනු සුභගය. මේ ලෝකයෙහි යාගයෝත් වේදයෝත් උතුම්ය. ලාමක නොවෙත්. මහානුභාව සම්පන්නය. ඒවා ඉතා අල්ප වූ බ්රාහ්මණයන්ගෙන් යුක්ත වූයේ වෙයි. ඒ නිසා බ්රාහ්මණයෝ ද උසස්ව උපන්නාහ. තදග්ග රය්හං යනු ඒ නිසා නින්දා නොකළයුතු බ්රාහ්මණයාට නින්දා කරන්නා ධනයත් පණ්ඩිත ධර්මයත් අත්හරියි.
මෙය වනාහි හෙතෙම, මොහු විසින් භූරිදත්තට මිත්රද්රෝහි ක්රියාවක් කරන ලද්දේයැයි කියන්නට නොලබාවයි කීවේය. ඉක්බිති සුභගය. දන්නෙහිද. මේ ලෝකය කවරකු විසින් මෙහෙයවනු ලැබේදැයි විචාරා නොදනිමියි කීකල්හි බ්රාහ්මණයන්ගේ සීයා වූ බ්රහ්මයා විසින්යයි දක්වන්නට ඉතිරි ගාථාව කීය.
ආර්යයන් අධ්යාපනයත්, රජවරු පෘථිවියත් වශයෙන් ගොවිතැනත්, ශුද්රයන් මෙහෙවර කිරීමත් යන ලෙසට මහා බ්රහ්මයා විසින් වෙන්කරන ලද ආකාරයට ඒ ඒ කුලානුරුප කටයුතුවල යෙදුනාහ.
එහි උපාගු යනු පැමිණියාහ. බ්රහ්මයා වනාහි බ්රාහ්මණාදීන් මවා ආර්යයන්ට හා බමුණන්ට කීය. තෙපි අධ්යාපනයෙහි යෙදෙව්. වෙන කිසිවක් නොකළ යුතුයි. රජවරුන්ට කීය. තෙපි මහපොළව ජයග්රහණය කරව්. වෛශ්යයන්ට කීය. තෙපි ගොවිතැනෙහි යෙදෙව්. ශුද්රයන්ට කීය. තෙපි මුලින් කී වර්ණ තුනට අයත් වූවන්ට මෙහෙ කිරීමෙහි යෙදෙව්. එතැන් පටන් ආර්ය බ්රාහ්මණයන් අධ්යාපනයෙහිත් රජවරු මහපොළවත්, වෛශ්යයෝ ගොවිතැනත් ශුද්රයෝ මෙහෙකාර මෙහෙයිත් යෙදුනාහයි කියත්. පච්චෙකං යථාපදෙසං යනු එසේ එළඹෙන්නාහු වෙන වෙන ම තමන්ගේ කුලප්රදේශවලට ගැලපෙන අයුරින් බ්රහ්මයා විසින් කියූ අයුරින්ම එළඹුනාහ. කතාහු එතෙ වසිනාති ආහු යනු මෙසේ වනාහි බලවන්ත වූ ඒ මහා බ්රහ්මයා විසින් කරන ලදී යැයි කියත්.
මෙපරිද්දෙන් මේ බ්රාහ්මණයෝ නම් බොහෝ ගුණ ඇත්තෝය. යමෙක් මොවුන් කෙරෙහි පැහැදී දනක් දෙයිද ඔහුට වෙන තැනක ප්රතිසන්ධියක් නොවේ. දෙව්ලොවටම යන්නාහු යයි කියා නැවතත් මෙසේ කීය.
ධාතා, විධාතා, වරුණ, කුවේර, සෝම, යම, චන්දිම, වායු, සුරිය යන දෙව්රජවරු බ්රාහ්මණ ගුරුවරුන්ට සියළු කැමති වස්තූන් දී මේ තත්ත්වයට පත්වූහ.
පන්සීයක් පමණ අදින ලද මහදුන්න ඇති බලවත් භයානක මහාසේනා ඇති සහස්සබාහු නමැති මහපොළවෙහි අසමාන යම් අර්ජුන නම් රජෙක් වීද ඔහු ද එකල ගිනිදෙවියා පිදීය.
එහි එතෙහි යනු මොවුන් විසින් ධාතා යනු ධාතා ආදී දෙව් රජදරුවෝ. පුථුසො යනු නොයෙක් ආකාර යාග කොට අථ සබ්බකාමෙ යනු ඉක්බිති ආචාර්ය වූ බ්රාහ්මණයන්ට සියළු කැමැති දේ දී මේ තත්ත්වයන්ට පත්වූයේ යැයි දක්වයි. විකාසිතා යනු අදින ලද. චාපසතානි පඤ්ච දුනු පන්සියයක් නොවේ. දේදුනු පන්සියයක් පමණ වූ දුන්නක් ඇති. භීමසෙනො යනු භයානක වූ සේනා ඇති. සහස්සබාහු යනු ඔහුගේ අත් දහසක් නොවේ. පන්සියයක් දුනු අත් දහසකින් ඇදිය යුතු දුන්න ඇදීමෙන් මෙසේ කීකල්හි ආදහි ජාතවෙදං යනු ඒ රජතෙමේ ඒ කාලයෙහි බ්රාහ්මණයන් සියළු කාමවස්තූන්ගෙන් සතුටුකර ගිනිපූජා කළේය. ඒ කාරණයෙන් ම දෙව්ලොව උපන්නේය. ඒ නිසා බ්රාහ්මණයෝ වනාහි මේ ලෝකයෙහි ප්රධානීහු වෙත්ය.