7. මහානාරදකස්සප ජාතකය (544)
අහු රාජා විදෙහානං මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ලට්ඨිවන උද්‍යානයෙහි වැඩවසද්දී උරුවේල කස්සප දමනය අරබයා දේශනා කළ සේක. යම්කලෙක වනාහි ශාස්තෲන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් පැවතුම් ඇත්තේ උරුවෙල කස්සප ආදී ජටිලයන් දමනය කොට මගධ රජුට දුන් පොරොන්දුවෙන් නිදහස්වීමට පැරණි ජටිලයන් දහසක් පරිවරාගෙන ලට්ඨිවන උද්‍යානයට වැඩි සේක. එකල්හි දොළොස් දහස් නහුතයක් පිරිස සමග අවුත් බුදුන් වැඳ සිටියා වූ මගධ රජුගේ පිරිස අතර සිටි බ්‍රාහ්මණ ගෘහපතියන්ට විතර්කයක් ඇතිවිය. කිම උරුවෙල කස්සප තෙමේ මහා ශ්‍රමණයන් වෙත බඹසර හැසිරෙයිද, නැතහොත් මහා ශ්‍රමණයන් වහන්සේ උරුවෙල කස්සප ළඟ බඹසර හැසිරෙයිද යනුවෙනි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කස්සප තමන් සමීපයෙහි පැවිදි වූ බව දන්වන්නෙමියි මේ ගාථාව වදාළ සේක.
උරුවෙලවාසී ඔබ කුමක් දැක ගින්න අත්හළේද, කාශ්‍යපය, ඔබගෙන් මේ කාරණය අසමි. කෙසේ නම් ඔබගේ යාගහෝම ගිනි පූජා ප්‍රහීණ වූයේද,
තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන,
රූප ශබ්ද රස කාම ස්ත්‍රීහුද යන මේවා යාගයෙහි කියත්. මෙය උපධි විෂයෙහි කිලිටියැයි දැනගෙන යාග හෝමයන්හි නොඇලුනෙමි.
මේ ගාථාව කියා තමන්ගේ ශ්‍රාවක භාවය ප්‍රකාශ කිරීම සඳහා තථාගතයන් වහන්සේගේ පා ළඟ හිස තබා භාග්‍යවතුන් වහන්ස! මම ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි’ යි කියා එක් තල්ගසක්, තල්ගස් දෙකක් ආදී ලෙස තල්ගස් හතක් පමණ සත්වරක් අහසට පැන නැගී, බිමට බැස තථාගතයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. ඒ ප්‍රාතිහාර්ය දැක මහාජනයා, පුදුමයි. බුදුවරයන් වහන්සේලා මහානුභාව සම්පන්නය. මෙසේ ස්ථිර දෘෂ්ටියකින් යුක්තව සිටි තමා රහත්යැයි හඟිමින් සිටි උරුවෙල කස්සප තෙමේ තම දෘෂ්ටිදැල බිඳ දමා තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුයේ යැයි ශාස්තෲන් වහන්සේ ගුණ කථා කළහ. ශාස්තෲන් වහන්සේ දැන් සර්වඥතාවයට පත්වූ මා විසින් මොහු දමනය කිරීම පුදුමයක් නොවේ. ඒ මම පෙර සරාගී කාලයේදී නාරද නම් වූ බ්‍රහ්මයා වී මොහුගේ දෘෂ්ටිවැල බිඳ දමා මොහු එය සේවනය නොකරන්නකු කළෙමියි කියා ඒ පිරිස විසින් ඉල්ලා සිටියේ අතීතය ගෙනහැර දැක්වීය.
අතීතයෙහි වේදේහ රටේ මිථිලා නගරයේ ‘අංගාති’ නම් රජතෙමේ රාජ්‍යය කළේය. ධාර්මික රජ කෙනෙක් විය. ඔහුට රුජා නම් දියණියක් සිටියාය. ඇය රූමත්ය. ප්‍රසන්නය. ඇය කල්ප ශතසහශ්‍රයක් පැතු පැතුම අනුව මහා පින් ඇති අගමෙහෙසියගේ කුසෙහි උපන්නීය. ඔහුගේ ඉතිරි දාසයදහසක් ස්ත්‍රීහු වඳ වූහ. ඔහුට දියණිය අතිශයින් ප්‍රිය විය. මනාප වූවාය. ඔහු ඇයට නොයෙක් මල්පිරවූ මල්පෙට්ටි විසිපහක් ද සියුම් වස්ත්‍රද යවා මේවායෙන් තමා අලංකාර වන්නැයි දිනපතා යවන ලදී. ඇගේ කෑමබීමවල ප්‍රමාණයක් නැත. අඩමසක් පාසා දන් දෙන්නයැයි දහසක් යැවීය. ඔහුට වනාහි විජය, සුනාම හා අලාතයැයි අමාත්‍යයෝ තුන්දෙනෙක් වූහ. හෙතෙම ඉල් පසළොස්වක සිව්මස් සැණකෙළිය පවත්නා කල්හි නගර දේවනගරයන් මෙන් ද අන්තඃපුරද අලංකාරකොට තමා ස්නානය කොට මනාව සුවඳ ආලේපකොට සියළු අලංකාරයන්ගෙන් සැරසී රාත්‍රී භෝජනය වළඳා සී මැදුරු කවුළු විවෘතකොට මහා ශාලාවේ ඇමතිගණයා පිරිවරා පිරිසිදු ගගනතලයේ නොඇලෙන සඳමඬල දැක මේ සඳරැස් ඇති රාත්‍රිය රමණීයයි. අද කවර තැනැත්තියක් සමග අභිරමණයේ යෙදෙම්දැයි ඇමැතියන්ගෙන් විචාළේය. ඒ කාරණය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.