6. භූරිදත්ත ජාතකය (543)
නගර කාණ්ඩය
“යං කිඤ්චි රතනං අත්ථි” යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසද්දී උපෝසථ ශීලය සමාදන් වූ උපාසක පිරිසක් අරබයා දේශනා කළ සේක. ඔව්හු වනාහි පොහෝදින උදෑසනම උපෝසථ ශීලය අධිෂ්ඨාන කොට දන් දී දවල් දානයෙන් පසුව සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව දෙව්රම් වෙහෙරට ගොස් බණ අසන වේලාවෙහි එකත්පස්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මනාව පනවන ලද බුදු අසුනෙහි වැඩසිට භික්ෂු සංඝයා දෙස බැලූ සේක. භික්ෂූන් ඇතුළු පිරිසෙහි යමෙක් අරබයා ධර්මකථාව ආරම්භ වන්නේ ද ඔවුන් සමග තථාගතයන් වහන්සේලා කථා කරත්. එබැවින් අද උපාසකවරුන් අරභයා පෙර හැසිරීම් පිළිවෙල හා බැඳුණු ධර්මකථාවක් ආරම්භවන්නේ යැයි දැනගෙන, උපාසකවරුන් සමග කථාකරමින් උවසුවනි, ඔබලා උපෝසථය සමාදන් වූවහුදැයි විචාරා, එසේය ස්වාමීනියැයි පිළිතුරු දුන්කල්හි උපාසකයෙනි, යහපති. ඔබලා විසින් යහපත් දෙයක් කරන ලදී. යම්හෙයකින් නුඹලා මා වැනි අවවාද දෙන ආචාර්යවරයෙක් වන බුදුකෙනෙක් ලබා උපෝසථය කරන්නහුය යන මේ කාරණය පුදුමයක් නොවේ. පුරාණයේ සිටිය පණ්ඩිතයෝ ගුරුවරයකු නැතිවද මහත් වූ සැපසම්පත් අතහැර උපෝසථය රැක්කාහයි වදාළහ. ඔවුන් විසින් ආරාධනා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස්නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන්නේ තම පුත්රයාට සියළු යසඉසුරු දී පසුව ඔහුගේ ඒ සැපසම්පත් බලා මොහු මාගේ රජකමද ගන්නේ යැයි උපන් සැක ඇතිව දරුව, නුඹ මේ නගරයෙන් නික්ම ඔබට රුචි තැනක වාසයකොට මගේ ඇවෑමෙන් කුලසන්තක වූ රාජ්යය ගන්න යැයි කීය. ඔහු එසේය කියා පියාට වැඳ එතනින් නික්මගොස් පිළිවෙලින් යමුනා ගංතෙරට ගියේ යමුනා නදියටත් සාගරයටත් පර්වතයටත් අතර පන්සලක් නිමවා වනයේ මුල්, ගෙඩි ආදිය ආහාර කොටගෙන ජීවත්වෙයි. එකල්හි සමුද්රයෙහි පිහිටි නාග භවනයක මළ සැමියා ඇති එක් නාග මානවිකාවක් අනිත් සැමියන් සහිත මානවිකාවන්ගේ යසස බලා ආශාව නිසා නාග භවනයෙන් නික්ම මුහුදු වෙරළෙහි හැසිරෙන්නී රාජපුත්රයාගේ පාසටහන් දැක පියවර අනුව ගොස් ඒ පන්සල දුටුවේය. ඒ අවස්ථාවෙහි රාජපුත්රයා ඵලාපල සෙවීමට නික්ම ගොස් සිටියේ විය. නාග මානවිකාව ඒ පන්සලට පිවිස කටු ඇතිරියද අනිකුත් පිරිකරද බලා මෙසේ සිතීය. මේ යම්කිසි පැවිද්දකුගේ වාසස්ථානයක් විය යුතුයි. ඔහු ශ්රද්ධාවෙන් පැවිදි වූවෙක් ද නැද්ද කියා පරික්ෂා කරන්නෙමි. ඉදින් වනාහි ශ්රද්ධාවෙන් පැවිදි වූයේ වන්නේන්ද ඔහු කලකිරීමට පත්වූවෙක් වන්නේ ය. මට අලංකාර සයනයක් පිළියෙල කර නොදෙයි. ඉදින් කාමයේ අභිරති ඇත්තෙක් වන්නේ ද ශ්රද්ධාවෙන් පැවිදි නොවූයේ වේද මගේ සයනයෙහිම හොවින්නේ ය. ඉක්බිති ඔහුව ගෙන තමාගේ ස්වාමියා කොට මෙහිම වාසය කරන්නෙමි’යි (සිතීය.) ඕ තොමෝ නාගභවනයට ගොස් දිව්යමය මල් ද දිව්යමය සුගන්ධයන් ද ගෙනවුත් මල් ආසනයක් පිළියෙල කොට පන්සලට පූජෝපහාර දක්වා සුවඳකුඩු විසුරුවා පන්සල සරසා නාග විමානයටම ගියාය.
රාජපුත්රයා වනාහි සවස්කාලයේ අවුත් පන්සලට පිවිසියේ කරන ලද මේ ක්රියාව දැක කවරකු විසින් මේ සයනය සූදානම් කරන ලද්දේදැයි සිතා ඵලාඵල අනුභවකොට, පුදුමය, සුවඳ මලින් මනාව සයනය සූදානම් කර ඇතැයි ශ්රද්ධාවෙන් පැවිදි නොවූ බැවින් සතුටට පත්වූයේ මල් අසුනෙහි වැතිරුනේ නින්දට වැටී පසුදා උදෑසන පිබිද පන්සල නො හැමද ම ඵලාඵල සෙවීමට පිටත්ව ගියේ ය. නාග මානවිකාව ඒ මොහොතේම අවුත් මැලවුණු මල් දැක කාමයෙන් මුසපත් වූවා, මේ තැනැත්තා ශ්රද්ධාවෙන් පැවිදි වූයේ නොවෙයි සිතා ඔහුව අල්ලාගත හැකියයි දැනගෙන පැරණිමල් බැහැරකොට අලුත් සයනයක් සූදානම්කර පන්සල අලංකාර කොට සක්මනෙහි මල් අතුරා නාගභවනයටම ගියාය. ඔහු ඒ දවසද ඒ මල් සයනෙහි නිදා පසුදා මෙසේ සිතුවේය. කවරෙක් නම් මේ පන්සල පිළියෙල කළේ වන්නේද? ඔහු ඵලාඵල සෙවීමට නොගොස් ම පන්සලට නුදුරෙහි සැඟවී සිටියේය. අර තැනැත්තිය ද (නාගමානවිකාව) බොහෝ සුවඳ ද්රව්යයන් ද මල් ද රැගෙන පන්සලට පැමිණියාය. රාජපුත්රයා මනා රූ සපුවකින් යුත් නාග මානවිකාව දැක හටගත් පිළිබඳ සිත් ඇත්තේ තමා නොපෙනී ඒ පන්සලට පිවිස සයනය සූදානම් කරන වේලෙහි ඔබ කවරියක්දැයි විචාළේය. ස්වාමීනි, මම නාග මානවිකාවක් වෙමි’යි කීවාය. ඔබට ස්වාමියෙක් සිටීද? නැද්ද? ස්වාමීනි, මම අස්වාමික වැන්දඹුවක් වෙමි. ඔබ කොහි වාසය කරන්නේදැයි ඇසීය. මම වනාහි බරණැස රජතුමාගේ පුත්රයා වෙමි. බ්රහ්මදත්ත කුමාරයා වෙමි. නුඹ නාගභවනය අත්හැර කුමක් නිසා ඇවිදින්නීද? ස්වාමීනි, මම සැමියන් සහිත නාග මානවිකාවන්ගේ යසස බලා පව් සිතුවිලි නිසා කලකිරුණේ එයින් නික්ම ස්වාමියකු සොයමින් ඇවිදිමි. මම ද ශ්රද්ධාවෙන් පැවිදි නොවූයෙමි. පියා විසින් නෙරපා දැමූ බැවින් මෙහි අවුත් වාසය කරමි. ඔබ කිසිවක් නොසිතන්න. මම ඔබගේ සැමියා වන්නෙමි. අපි දෙදෙනා මෙහි එකට වසන්නෙමු. ඇය යහපතැයි පිළිතුරු දුන්නාය. එතැන් පටන් ඒ දෙදෙනා එහි ම වාසය කළහ. ඇය තමාගේ ආනුභාවයෙන් ඉතා වටිනා ගෘහයක් මවා වටිනා අසුනක් ගෙනවුත් සයනයක් පැනවූවාය. එතැන් පටන් මුල්, ගෙඩි අනුභව කළේ නැත. දිව්යමය ආහාරපාන ම විය.
පසුකලෙක නාග මානවිකාව ගැබ්ගෙන පුතකු වැදුවාය. ඔහුට සාගර බ්රහ්මදත්ත යැයි නම් කළහ. ඔහු පයින් ඇවිදින කාලයේ නාග මානවිකාව දුවක වැදුවාය. මුහුදුතීරයේ උපන් බැවින් ඇයට සමුද්දජා යැයි නම් කළහ. ඉක්බිති එක් බරණැනුවර වැසි වනයේ ඇවිදින පුරුෂයෙක් එම ස්ථානයට පැමිණ කරන ලද කථාබහ ඇත්තේ, රාජපුත්රයාව හඳුනාගෙන දවස් කීපයක් එහි වාසය කොට, දේවයන් වහන්ස, ඔබවහන්සේලා මෙහි වසන බව රජගෙදරට දන්වන්නෙමියි එතනින් නික්ම ගොස් නගරයට පැමිණියේය. එකල්හි රජතුමා කළුරිය කළේය. ඇමතිවරු ඔහුගේ දේහය පිළිබඳ කටයුතු කර සත්වන දින රැස්වී (මෙසේ) කථාකළහ. අරාජිකව රටක් නො පවතී. රාජපුත්රයා වසන තැනක් හෝ ඔහු සිටීද නැද්ද යන බවක් හෝ නො දනිමු. ඵුස්ස රථයක් (පුද්ගලයන් රහිත අශ්ව රථයක්) මුදාහැර රජකු තෝරාගනිමු යි නිගමනය කළහ. ඒ අවස්ථාවේ වනයේ ඇවිදින පුරුෂයා නගරයට පැමිණ මේ තොරතුරු දැනගෙන ඇමතිවරුන්ගේ සමීපයට ගොස්, මම රාජපුත්රයා ලඟ දවස් තුන හතරක් වාසය කර ආවෙමි’යි ඒ පුවත සැලකර සිටියේය. ඇමතිවරු ඒ අසා ඔහුට සැළකිලි දක්වා ඔහුගේ මඟපෙන්වීම යටතේ එහි ගොස් කරන ලද පිළිසඳර ඇත්තාහු රජු මියගිය බව පවසා, දේවයන් වහන්ස, රාජ්යය භාරගන්න යැයි ඉල්ලා සිටියහ.