සුහග කාණ්ඩය
මහා සත්ත්වයන් වහන්සේ පැමිණි කල්හි සියළු නගරයම එකම විලාපයකින් පිරිගියේය. ඔහු ද මාසයක් පෙට්ටියෙහි ක්රීඩා කරන්නේ ගිලන්ව නිදාගත්තේය. ඔහුගේ සමීපයට පැමිණි නාගයන් අප්රමාණය. ඔහු ඔවුන් සමග කියන්නේ වෙහෙසට පත්වෙයි. කාණාරිට්ඨ තෙමේ දෙව්ලොවට ගොස් මහා සත්ත්වයන් නොදැක පළමුවෙන්ම පැමිණියේය. ඉක්බිති ඔහුව, මෙතෙමේ සැඩපරුෂය. නාග පිරිස වළක්වන්නට හැකිවන්නේ යැයි මහා සත්ත්වයන් සිටි තැන මුරකාවලෙහි යෙදූහ. සුභග තෙමේද මුළු හිමවතට සොයා එයින් මහා සමුද්රයත් ඉතිරි ගංගාවන්ද ගැන සිතාබලා යමුනාව ගැන සිතමින් එයි. නේසාද බ්රාහ්මණයාද ආලම්බනගේ කුෂ්ටය දැක මෙසේ සිතීය. මොහු භූරිදත්තව පීඩාවට පත්කොට හටගත් කුෂ්ට ඇත්තේ වන. මම වනාහි මට බොහෝ උපකාරි වූ ඔහුව ධන තණ්හාවෙන් ආලම්බනට පෙන්වූයෙමි. ඒ පාපය මා වෙත එන්නේය. එය මා වෙත එන්නට කලින් යමුනා නදියට ගොස් පව් සෝදන තොටුපළෙහි පව් සෝදා හරින්නෙමියි එහි ගොස් මා විසින් භූරිදත්තට මිත්රද්රෝහී ක්රියාවක් කෙළෙමි. ඒ පාපය සෝදා හරින්නෙමියි ජලස්නාන කර්මය කරයි. ඒ මොහොතේ සුභග තෙමේ එතැනට පැමිණියේ ඔහුගේ ඒ වචනය අසා, මේ පාපියා විසින් මහත් වූ යසස්දායක වූ මාගේ සහෝදරයාව මැණිකක් හේතුවෙන් ආලම්බනයාට පෙන්වන ලදී. මොහුට ජීවත්වීමට ඉඩ නොදෙමි යි වලිගයෙන් ඔහුගේ පාද වෙලා ඇද ජලයෙහි ගිල්වා හුස්ම ගැනීමට අපහසු වනවිට ස්වල්පයක් ලිහිල් කළේය. ඔහු හිස එසවීය. ඉක්බිති ඔහුව නැවතත් ඇද ගිල්වා හුස්මගැනීමට නොහැකි වනවිට ටිකක් ලිහිල් කළේය. ඔහු හිස එසවීය. ඉක්බිති ඔහුව නැවතත් ඇද ගිල්වා, මෙසේ බොහෝ වාර ගණනක් ඒ ක්රමයෙන් පීඩාවට පත් වූ නේසාද බ්රාහ්මණ තෙමේ හිස ඔසවා මේ ගාථාව කීය.
ලෝක සම්මත වූ මෙබඳු ජලය ඇති ප්රයාගයෙහි පිහිටියා වූ යමුනා නදියට බැසගත්තා වූ මා කවරනම් භූතයකු එහි ගිල්වූයේ ද?
එහි ලොකසං යනු පව් සෝදා හැරීමට සමර්ථයැයි ලෝක සම්මත වූ සජන්තං යනු මෙබඳු ස්වභාව ඇති ජලය ඉසින්නා වූ පයාගස්මිං යනු ප්රයෝග තීර්ථයෙහි,
ඉක්බිති ඔහුට සුභග තෙමේ ගාථාවකින් මෙසේ කීය.
ලෝකාධිපති වූ යසස් ඇති යම් ඒ ඒ කෙනෙක් බරණැස් නුවර සම්පූර්ණයෙන් වසාගෙන සිටියේද ඒ උරග නායකයාගේ පුත්රයා වූ මම සුභග යැයි කියත්.
එහි යදෙසා යනු යම් ඒ කෙනෙක්. පකිරහරි සමන්තතො යනු සතුරන් පන්නා දැමීමට සමර්ථව හාත්පසින් පැතිරී සිටියේය. සියල්ල වටකොට මත්තෙහි පෙණයෙන් වසා ගත්තේය.
ඉක්බිති බ්රාහ්මණයා මෙසේ සිතීය. භූරිදත්තගේ සොහොයුරා මට ජීවිතදානය නොදෙයි. මම මොහුගේ මව්පියන්ගේ ගුණ වර්ණනාකොට ඔහුගේ සිත මෘදුකොට තමාට ජීවිතය ඉල්ලන්නෙමියි සිතා මේ ගාථාව කීය.
ඉදින් වනාහි උරග නායක වූ අමර සංඛ්යාත නාගයන්ගේ අධිපති මහේශාක්ය වූ අමරාධිපති වූ කංසරජුගේ පුත්රයෙකි. මිනිසුන් අතර මාතාවක වූ අතුල්යාය. එබඳු මහානුභාව කෙනෙක් බ්රාහ්මණයකුගේ දාසයකු පවා දියෙහි ගිල්වන්නට සුදුසු නැත.
එහි කංසස්සා යනු වෙනත් නමකින් මේ නම ඇත්තාට කාසිස්ස රඤ්ඤො කසීරජුගේ යැයි ද කියත්. කාසිරාජ දියණිය විසින් ගන්නා ලද බැවින් කාසිරාජ්යයද ඔහුට ම අයත්කර දී වර්ණනා කරයි. අමරාධිපස්ස යනු දීර්ඝායුෂ ඇති බැවින් අමර සංඛ්යාත වූ නාගයන්ට අධිපතියාගේ මහෙසක්ඛො යනු මහානුභාව සම්පන්න වූ අඤ්ඤතරො යනු මහේශාක්ය වූ ඔබගේ පියා මිනිසුන් අතර මව වනාහි අනිත් තැනැත්තියකි. දාසම්පි යනු එබඳු වූ මහානුභාව සම්පන්න වූයේ ආනුභාව රහිත වූ බ්රාහ්මණයාගේ දාසයකු පවා ජලයෙහි ගිල්වන්නට යෝග්ය නැත. මහානුභාව බ්රාහ්මණයෙකැයි කියයි.
ඉක්බිති ඔහුට සුභග තෙමේ මෙසේ කීය. දුෂ්ට බ්රාහ්මණය! ඔබ මා රවටා මිදෙන්නෙමියි සිතන්නෙහිද? ඔබට ජීවිතය නොදෙමි. ඔහු විසින් කරන ලද කර්මය ප්රකාශ කරමින් මෙසේ කීය.
එම්බා බ්රාහ්මණය, තෙපි රුකක් ඇසුරු කරමින් ජලය බීමට ආ මුවකු විද්දාහුය. ඊතලයේ වේගය නිසා බිය වූ ඊතලය වැදුනු මුවා ඈතට ගියේය.
ඔබ මහා අරණ්යයෙහි වැටෙන්නා වූ මුවාව දුටුවේය. හෙතෙම මස්කද රැගෙන සවස නුගරුකක් ළඟට පැමිණියේය.
ගිරා, සැළලිහිණි ආදීන් විසින් පවත්වන නාද ඇති පැසුණු ගෙඩි හේතුවෙන් පිඟුවන් වූ ඇටුවන් සහිත නුගරුකක් ඇති මේ භූමිය කොවුල්නාදය ඇති සිත්කලු වූ නිරන්තරයෙන් නිල් තෘණයෙන් ගැවසී ගත්තේය.
ඒ නුගරුකෙහි සිටි තොපට ඍද්ධියෙන් ද යසසින් ද දිලිසෙන මහානුභාව සම්පන්න ඇති නාග කන්යාවන් පිරිවරාගත් මාගේ ඒ සොහොයුරු තෙමේ පෙනුණේය.
ඒ නුඹ මාගේ සොහොයුරු භූරිදත්ත නමැති නාරජු විසින් කැමැති වූ සියළු සම්පත්තීන්ගෙන් සතුටු කරන ලද්දේ ගෞරව කරන ලද්දේ වන්නෙහිය. ද්රෝහ නොකළ යුතු ඔහුට තොප ද්රෝහ කළහුය. ඒ පාපකර්මය දැන් තොප වෙතට පැමිණ ඇත.
වහා ගෙල දිගුකරව. තා මරමි. සොහොයුරාට කළ අපරාධය සිහිකරන මම තාගේ හිස සිඳිමි යි සුභග තෙමේ කීවේය.