නගර ප්‍රවේශ කාණ්ඩය
බෝධිසත්ත්වයන්ව අල්ලාගත් දවසේ මහාසත්ත්වයන්ගේ මව, කාලවර්ණ, රතු ඇස් ඇති පුරුෂයකු විසින් කඩුවකින් තමාගේ අත කපා ලේ පෙරමින් ගෙනයනු සිහිනයෙන් දුටුවාය. ඕ තොමෝ බියෙන් තැති ගත්තේ නැගිට දකුණු අත පිරිමැද සිහිනයක් බව දැනගත්තාය. ඉක්බිති ඇයට මෙසේ කල්පනා විය. මා විසින් නපුරු සිහිනයක් දක්නා ලදි. මාගේ දරුවන් සතරදෙනාට හෝ ධෘතරාෂ්ට්‍ර රජුට හෝ මට හෝ අනතුරක් විය යුතුයි. තව ද මහා සත්ත්වයන් වහන්සේ පිළිබඳව විශේෂයෙන් සිතුවාය. කුමක් නිසාද? ඉතිරි අය තමන්ගේ නාග භවනයෙහි වාසය කරත්. අනිත් තැනැත්තා වනාහි සීලය පිළිබඳ අදහස ඇති බැවින්. මිනිස්ලොවට ගොස් පෙහෙවස් රකියි. ඒ නිසා කෙසේ හෝ මාගේ පුත්‍රයාව අහිකුණ්ටිකයෙක් හෝ ගුරුළෙක් අල්ලාගත්තේද? ඔහු පිළිබඳව වැඩිමනත් කල්පනා කළේය. එයින් මාස බාගයක් ඉක්මගිය කල්හි මාගේ පුත්‍රයා මා නැතිව මාස බාගයක් සිටින්නට නොහැකි වෙයි. ස්ථිර වශයෙන් ම මොහුට කිසියම් භයක් ඇතිවූයේ වන්නේයැයි කනගාටුවට පත්වූවාය. මාසයක් ගතවූ පසු වනාහි ඇයට කඳුළු නොසළා සිටින්නට නොහැකි විය. හෘදය මලානික විය. ඇස් දැවින. ඕතොමෝ ඔහු අද එන්නේ ය. අද එන්නේ ය කියා බලා සිටියාය. ඉක්බිති ඇගේ වැඩිමල් පුත්‍රයා වූ සුදස්සන තෙමේ මාසයක් ගත වූ විට මහත් වූ පිරිසක් සමග මව්පියන් දැකීමට පැමිණියේ පිරිස පිටත රඳවා ප්‍රසාදයට නැග මවට වැඳ එකත්පස්ව සිටියේය. ඕ තොමෝ භූරිදත්ත ගැන ශෝකවන්නී ඔහු සමග කිසිවක් කථා නොකළාය. ඕ සිතුවාය. මගේ මව මා පෙර පැමිණි අවස්ථාවල සතුටුවෙයි. පිළිසඳර කථා කරයි. අද වනාහි දොම්නස්ව සිටී. හේතුව කුමක්ද? ඉක්බිති අසන්නා වූ ඔහුට මෙසේ කීය.
සියළු දේ සමෘද්ධව, එන්නා වූ මා දැක ඉන්‍ද්‍රියයෝ අප්‍රසන්න නොවෙත්. (ප්‍රසන්න වෙත්) එහෙත් රන් කැඩපතක් බඳු මුහුණ අද අඳුරු විය. කළුවන් විය.
මා දැක්මෙන් ඔබේ මුහුණ තමන්ගේ අතින් කඩාගත් නෙළුම්මලක් අත්ලෙන් පිරිමදින කලක් පරිද්දෙන් කළු වූයේ කවර හෙයින්ද සුදස්සන ඇසීය.
එහි අහට්ඨානි යනු අප්‍රසන්න නැත. සාවං රන්කැඩපතක් වන් මුහුණ අඳුරු විය. හත්‍ථගතං යනු අතින් කඩාගත් එදිසං යනු මෙබඳු මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් නුඹලා දැකීම සඳහා ආවා වූ මා දැක,
ඇය මෙසේ කියූවද කථා කළේ නැත. සුදර්ශන තෙමේ මෙසේ සිතීය. කිම, කවරකු විසින් හෝ ආක්‍රෝශ පරිභව කළා වන්නේය. ඉක්බිති ඇගෙන් අසමින් ඉතිරි ගාථාව ප්‍රකාශ කළේය.
කිම! කිසිවෙක් ආක්‍රෝශ කළේද? යම්කිසි වේදනාවක් තිබේද? පෙර මා දැක ආවා වූ ඔබගේ මුහුණ මෙසේ නොවීය.
එහි කච්චින්නු තෙ නාභිසයී කිම යම්කෙනෙක් ඔබට පරිභව කළේද? ආක්‍රෝශ පරිභව කළේද? හිංසා කළේදැයි මට කියන්න. තුය්හං යනු ඔබගේ, පෙර මමං දිසවාන ආගතං යනු මෙබදු මුහුණක් නැත. යම්කිසි කරුණකින් අද ඔබගේ මුහුණ ඒ කාරණය මට කියන්නැයි විචාළේය.
ඉක්බිති විමසන ලද ඇය මෙසේ කීවාය.
දරුව, මෙයින් මාසයකට පළමු මාවිසින් සිහිනයක් දකින ලදී. මා අඬා වැලපෙද්දී එක්තරා පුරුෂයෙක් මාගේ දකුණු අත කපා ලේ පෙර පෙරා රැගෙන ගියේය.
සුදස්සන! එය දැනගන්න. යම්හෙයකින් මා ඒ සිහිනය දුටුවේ ද එදා සිට මට දිවා රාත්‍රී සැපයක් නොලැබේ.
එහි ඉතොමාසං අධොගතං යනු මෙයින් යට මාසයක් ඉක්ම ගියේය. මා දුටු සිහිනයට අදට මාසයක් වේයැයි දක්වයි. පුරිසො යනු එක් කාලවර්ණ රතු ඇස් ඇති පුරුෂයෙක් රොදන්තියාසතී හඬමින් සිටිද්දී. න උපලබ්භති යනු මට සැපයක් නම් නැත.
මෙසේ ද කියා දරුව, මගේ ප්‍රිය පුත් වූ ඔබගේ කනිටු සොයුරා දක්නට නැත. ඔහුට හටගත්තා වූ බයක් විය යුතුයි හඬමින් කීවාය.
පෙර රන්දැලින් වැසීගිය මනා සිරුර ඇති කන්‍යාවෝ යමෙකු පිරිවරාගෙන සිටියාහුද ඒ භූරිදත්ත දැන් දකින්නට නැත.
මැනවින් පිපුණා වූ කිණිහිරිය ගස් වැනි උතුම් කඩු දරන නාග මාණවකයන් පෙර යමකු පිරිවරාගෙන සිටියාහුද ඒ භූරිදත්ත දැන් දකින්නට නැත.
එහෙයින් අපි දැන් භූරිදත්තගේ නිවේසනයට යමු. ශීල සම්පන්න වූ ධර්මිෂ්ට වූ ඔබගේ සහෝදරයාව බලන්නෙමුයි මෑණියෝ පැවසූහ.
එහි සම්ඵුල්ල යනු රන්මය අලංකාර දරන්නා වූ, මනාව මල් පිපුණු කිණිහිරියා ගස් වැනි, හන්‍ද යනු වචනයක අවධාරණාර්ථයෙහි නිපාතයෙහි දරුව එන්න. භූරිදත්තගේ නිවෙසට යමු යැයි කියයි.
මෙසේ ද කියා ඔහුගේ ද තමාගේ ද පිරිස සමග එහි ගියේය. භූරිදත්තගේ භාර්යාවරු වනාහි ඔහු තුඹස මත්තෙහි නොදැක, මවගේ නිවෙසට ගියා වන්නේ යැයි උත්සුක නොවූහ. ඒ අය නැන්දනිය වනාහි අපගේ පුත්‍රයා නොදැක එන්නීයැයි අසා පෙරගමන්කොට, ඔබගේ පුත්‍රයා නොදැක අදට මාසයකැයි මහා හඬින් විලාප දෙමින් පාමුල වැටුනාහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළහ;
එන්නා වූ භූරිදත්තගේ මව දැක භූරිදත්ත නාරජුගේ බිසෝවරු හිසෙහි අත්බැඳ ඇඬුවාහ.
ආර්යාවෙනි! තොපගේ පුත්‍ර වූ යසස් ඇති භූරිදත්ත අදට මාසයක් ගතවී ඇතත් ජීවත්වන්නේද, නැතහොත් මලේද කියා නොදනිමු.