ක්‍රීඩා කාණ්ඩය
ඒ කාලයේ බරණැස්නුවර එක් දිළිඳු බ්‍රාහ්මණයෙක් බොහෝ ණය ගෙන ණයහිමියන් විසින් චෝදනා කරනු ලැබුයේ මට මෙහි වාසයෙන් වැඩක් නැත. වනයට ගොස් මරණයට පත්වීම යෙහෙකි යි නික්මගොස් පිළිවෙලින් ඒ අසපුව දෙසට පිවිස තාපසයාට වතාවත් කිරීමෙන් සතුටු කෙළේය. මේ බ්‍රාහ්මණයා මට අතිශයින් උපකාර කරන්නෙකි. ගුරුළු රාජයා විසින් දෙන ලද දිව්‍ය මන්ත්‍රය මොහුට දෙමියි තාපසයා සිතා බමුණාට මෙසේ කීය. බ්‍රාහ්මණය! මම ඉතා ප්‍රයෝජනවත් මන්ත්‍රයක් දනිමි. එය ඔබට දෙමි. එය ගන්න යැයි කියූ විට ස්වාමීනි! මට මන්ත්‍රයකින් වැඩක් නැත යයි කියූ කල්හි නැවත නැවතත් කියා පොළඹවාගෙන මන්ත්‍රය දුන්නේය. ඒ මන්ත්‍රයට ගැලපෙන ඖෂධ වර්ගද මන්ත්‍රයට පිළිපදින ආකාරය ද යන සියළු දේ ඔහුට කියා දුන්නේය. බ්‍රාහ්මණයා ජීවත්වීමට මගක් ලැබුනේයැයි දවස් කීපයක් ගතකර ස්වාමීනි! මම වාතාබාධයකින් පෙළෙමියි කරුණු පෙන්වා තාපසයා විසින් මෙහෙයවන ලද ඔහු තාපසයාට වැඳ සමාව අයැද වනයෙන් නික්ම පිළිවෙලින් යමුනා ගංතෙරට පැමිණ ඒ මන්ත්‍රය කියමින් මහමග ගමන් කරයි.
ඒ කාලයේ දහසක් පමණ භූරිදත්තගේ පරිචාරිකා නාග මානවිකාවන් ඒ සියලු දේ ලබාදෙන මාණික්‍ය රත්නය ගෙන නාග භවනයෙන් නික්ම යමුනා ගංඉවුරේ වැලිමත තබා එහි ආලෝකයෙන් මුළු රාත්‍රියම ජලක්‍රීඩා කොට අළුයම් වේලෙහි සියළු අභරණවලින් තමන්ව සරසාගෙන මාණික්‍ය රත්නය වටකරගෙන සිරියාව විහිදෙන සැටි බලා සිටියහ. බමුණාද මන්ත්‍රය කියමින් එතැනට පැමිණියේය. ඒ මානවිකාවෝ මන්ත්‍ර ශබ්දය අසාම මේ ගුරුළකු විය යුතුයයි බියෙන් තැති ගත්තාහු මාණික්‍ය රත්නය නොගෙනම පෘථිවියේ කිමිද නාග භවනයට ම ගියාහ. බ්‍රාහ්මණ තෙම මාණික්‍ය රත්නය දැක දැන්ම මගේ මන්ත්‍රය සඵල වීයයි සතුටු සිතැත්තේ මාණික්‍ය රත්නය ගෙන යන්ට ගියේය. එකෙණෙහි ඒ නෙසාද බ්‍රහ්මණයා සෝමදත්ත සමග මුවන් මැරීම සඳහා වනයට පිවිසෙන්නේ ඔහුගේ අතෙහි ඒ මාණික්‍යරත්නය දැක පුත්‍රයාට මෙසේ කීය. මේ භූරිදත්ත විසින් අපට දුන් මැණික නේද? එසේය. පියාණෙනි, ඒ මැණිකය. එසේනම් එහි අගුණ කියා මේ බ්‍රාහ්මණයා රවටා මේ මාණික්‍ය රත්නය ගන්නෙමි. පියාණෙනි! ඔබ කලින් භූරිදත්ත විසින් දෙන කල්හි මෙය ගත්තේ නැත. දැන් වනාහි මේ බ්‍රාහ්මණයා එයම වංචා කරන්නේය. ඒ නිසා නිහඬව සිටින්න. බ්‍රාහ්මණයා දරුව වේවා! මොහු හෝ මා හෝ රැවටෙන හැටි බලන්න. ආලම්බායන සමග කථා කරමින් මෙසේ කීය;
මංගල සම්මත වූ සුන්දර වස්තුවක් වන මනහර වූ ලකුණුවලින් යුක්ත මේ මැණික කොහෙන් ලැබුනේද?
එහි මාංගල්යං යනු මංගල සම්මත වූ, සියළු දේ දෙන කො ඉමං යනු මේ මැණික කොහෙන් ලැබුනේද?
ඉක්බිති ආලම්බන මේ ගාථාව කීය.
ලොහිතක්ඛ සහස්සාහි සමන්තා පරිවාරිතං,
අජ්ජකාලං පදං ගච්ඡං අජ්ඣගාහං මණිං ඉමං
අජ්ජකාලං පදං ගච්ඡං අජ්ඣගාහං මණිං ඉමං
එහි අර්ථය නම්, මම අද උදේම පයින් මහමග යන්නේ රතු වූ ඇස් ඇති නාගමානවිකාවන් දහසක් පමණ හාත්පසින් පිරිවරාගත් මේ මැණික ලබාගත්තෙමි. මා දැක වනාහි සියල්ලෝම බියෙන් තැතිගෙන මෙය අතහැර දමා පලාගියහ.
නෙසාද පුත්‍රයා ඔහුව රවටනු කැමැත්තේ මාණික්‍ය රත්නයේ අගුණ ප්‍රකාශ කරමින් තමා විසින් ගනු කැමැත්තේ ගාථා තුනක් ප්‍රකාශ කළේය.
යමෙක් මේ මැණික්ගල සැමකල්හි පුදන ලද්දේ දරණ ලද්දේ බහාතබන ලද්දේ ද සියළු අර්ථ සාදා දෙයි.
යමෙක් වනාහි චාරිත්රවිධි නොදන්නේ ද නුවණින් තොරව පරිහරණය කරන්නේ ද මේ මාණික්‍යය විනාශය පිණිස හේතු වේ.
අදක්ෂයෙක් මේ දිව්‍යමය මාණික්‍ය දැරීමට සුදුසු නැත. මා කියන දේ පිළිපදින්න. ඔබට නිකඛ (රන්කාසි) සියයක් දෙමි. මැණික මට දෙන්න.
එහි සබ්බත්ථං යනු මේ ගල මනාව පරිහරණය කරන්නට පුදන්නට තමාගේ ජීවිතය මෙන් මමායනය කරන්නට මනාව දරන්නට මනාව බහා තබන්නට යමෙක් දනීද ඔහුට සියළු අර්ථ සාදා දෙයි යන අර්ථයි. උපචාර විපන්නස්ස යනු යමෙක් වනාහි උපචාර විධි නොදන්නේ ද මෙය දරන්නා වූ ඔහුට විනාශයක්ම ළඟාවෙයි යැයි කියනු ලැබේ. ධාරෙතු මාරහො යනු දරන්නට නුසුදුසුය. පටිපජ්ජ සතං නික්ඛං යනු අපගේ ගෙයි බොහෝ මැණික් තිබේ. අපි මෙය දරන්නට දනිමු. මම ඔබට නික්ඛ (රන්කාසි) සියයක් දෙන්නෙමි. එය පිළිගන්න. දෙහි මං රතනං මමං යනු ඔහුගේ ගෙයි එක රන්කාසියක්වත් නැත. ඔහු වනාහි ඒ මැණික සියළු දේ ලබාදෙන බව දනියි. ඒ නිසා ඔහුට මේ අදහස ඇතිවිය. මම හිස සහිතව ජලය හා මැණික ජලයෙන් සෝදා නික්ඛ සියයක් මට දෙවයි කියමි. ඉක්බිති මට ලබාදෙයි. මම එය මොහුට දෙන්නෙමි. ඒනිසා වීර්යවන්ත වී මෙසේ කීය.
ඉක්බිති ආලම්බායන කීය.
මා සන්තක වූ මේ මැණික කිසිවෙක් රනයන් හෝ ගවයන් දී මිලට නොගතයුතුයි. මේ මැණිකක ලක්ෂණ ඇත්තේය. ඒ නිසා මගේ මාණික්‍යය මිළට නොගත යුතුයි. කිසි වස්තුවකට විකිණිය යුතු නොවේ.
එහි නවාම්යායං යනු මේ මැණික මාගේ සමීපයෙන් කිසිවකු විසින් මිළට නොගත යුතුයි. නෙව කෙය්යො යනු මගේ මේ මැණික නියම ලක්ෂණවලින් සම්පූර්ණය. ඒ නිසා කිසිවකු විසින්වත් මිළට නොගත යුතුයි. කිසි වස්තුවකට නොවිකිණිය යුතුය නම් වේ.