වන ප්‍රවේශ කාණ්ඩය
එකල්හි බරණැස් නගර ද්වාරය අසල ගම්වැසි එක් බ්‍රාහ්මණයෙක් ‘සෝමදත්ත’ නම් පුත්‍රයා සමග වනයට ගොස් උල් මුගුරු හා උගුල් අටවා සතුන් මරා මස් කදකින් ගෙන අවුත් විකුණා ජීවිකාව කරයි. ඔහු එක්දිනක් අඩු තරමින් තලගොයි පැටවකු පමණවත් නො ලබා සෝමදත්ත පුත! ඉදින් හිස් අතින් ගෙදර ගියහොත් මව ඔබට කිපෙන්නීය. ඒ නිසා යමක් අරගෙනම යමුයැයි බෝසතුන් වැදහෙව සිටිය තුඹස දෙසට ගොස් ජලය බීමට යමුනා ගඟට බසින්නා වූ මෘගයන්ගේ පා සළකුණු දැක දරුව, වනසතුන් යන මාර්ගය පෙනෙයි. නුඹ සැඟවී සිටින්න. මම වතුරබීමට ආ සතකුට විදින්නෙමියි දුන්න ගෙන සතුන් දෙස බලමින් එක් ගසක් මුල හුන්නේය. ඉක්බිති එක් මුවෙක් සවස්වේලෙහි ජලය බීමට ආවේය. ඔහු ඒ මුවාට විද්දේය. මුවා එහි නොවැටී ඊතල වේගයට බියවූයේ ලේ පෙරමින් පලාගියේය. පියපුතු දෙදෙනා ඒ මුවාව ලුහුබැඳ ගොස් වැටුනු තැන මස් කරගෙන වනයෙන් පිටවන්නාහු ඉර බැස යන වේලෙහි ඒ නුගගස ළඟට පැමිණ දැන් යන්නට වෙලාවක් නැත. මෙහිම නතරවන්නෙමි යි මස් එක් පැත්තක තබා ගසට නැග අතු අතරෙහි හොත්තාහ. බමුණා අලුයම පිබිද සතුන්ගේ හඬ ඇසීමට කන් යොමුකරගෙන සිටියේය.
ඒ මොහොතෙහි නාග මානවිකාවියෝ අවුත් බෝසතාණන්ට මල් අසුනක් පිළියෙල කළහ. ඔහු සර්ප ශරීරය අතුරුදන් කොට සියළු අලංකාරයන්ගෙන් යුත් දිව්‍ය ශරීරයත් මවා ශක්‍රලීලාවෙන් මල්අසුනෙහි වාඩිවිය. නාග මානවිකාවෝ ද ඔහුට ගඳමල් ආදියෙන් පුදා තූර්යවාදන කොට ගී නැටුම් පැවැත්වූහ. බ්‍රාහ්මණයා ඒ ශබ්දය අසා මොහු කවරෙක්දැයි දැන ගන්නෙමියි, පුත්තේ, පුතේ යැයි කී නමුත් පුතාව අවදි කරගත නොහැකිව ඔහු නිදා ගනීවා. මහන්සි ඇති. මම ම යන්නෙමියි ගසෙන් බැස ඔහු සමීපයට ගියේය. නාගමානවිකාවෝ ඔහු දැක තූර්ය භාණ්ඩ සමගම පොළොවෙහි කිමිද නාග භවනයට ම ගියාහ. බෝධිසත්ත්වයන් වහන්සේ හුදකලාව විය. බ්‍රාහ්මණයා ඔහු සමීපයේ සිට විචාරන්නේ මේ ගාථා දෙක ප්‍රකාශ කළේය.
ගෙනෙන ලද මල් සමූහයක් ඇති මේ වනය මැද රතු ඇස් ඇති විශාල පිටපෙදෙසක් ඇති නුඹ කවරෙක් ද? මනා වස්ත්‍ර ඇඳගත් රන් ආභරණ පැළඳි වඳින්නා වූ ස්ත්‍රීහු සිටිත්.
වන මැද, විශාල බාහු ඇති, ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් බබලන්නා වූ ඔබ කවරෙක්ද? මහේශාක්‍ය වූ යම්කිසි යක්‍ෂයෙක්ද? නැත්නම් මහානුභාව සම්පන්න නාගයෙක්ද?
එහි පුප්ඵාභිහාරස්ස යනු බෝධිසත්ත්වයන්ට පූජාව සඳහා ගෙනෙන ලද දිව්‍යමය මල් සමූහයෙන් යුක්ත වූ කො යනු නුඹ කවරෙක්ද? ලොහිතක්ඛො රතු ඇස් ඇති විහතන්තරංසො යනු පළල් වූ පිට පෙදෙසක් ඇති කම්බුකායූරධරා යනු ස්වර්ණමය ආභරණ දරණ. බ්‍රහාබාහු යනු විශාල බාහු ඇති.
ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ ඉදින් වනාහි මම ශක්‍රාදීන් අතරෙහි කෙනෙක් වෙමි යි කියම්ද මේ බ්‍රාහ්මණයා විශ්වාස කරන්නේ ය. අද වනාහි මා විසින් ඇත්තක්ම කිව යුතුයයි සිතා තමන්ගේ නාගරාජ භාවය ප්‍රකාශ කරමින් මෙසේ කීය.
මම වනාහි තේජස් ඇති කිසිවකු විසිනුත් ඉක්මවා යා නොහැකි සෘද්ධිමත් නාගයෙක් වෙමි. ඉදින් කිපියේ නම් සම්පත් පිරුණු ජනපදය ද දෂ්ට කරන්නෙමි.
මගේ මව සමුද්දජා නම් වේ. පියා ධෘතරාෂ්ට්‍රය. මම සුදස්සනගේ කනිෂ්ට සහෝදරයා වෙමි. මට භූරිදත්ත යැයි කියති.
එහි තෙජසී යනු විස තේජසින් තෙදවත් වූ දුරතික්කමො වෙනකකු විසින් යටත් කළ නොහැකි. ඩසෙය්‍යං යනු ඉදින් මම කිපුනේ නම් සම්පූර්ණ ජනපදයට දෂ්ට කරන්නෙමි. මගේ දළය පොළවට වැටෙන පමණින් පොළව මගේ තේජසින් මුළු ජනපදයම අළු වන්නේය. දුස්සන කනිට්ඨොස්මි යනු මම සහෝදර සුදස්සනගේ බාල සොහොයුරු වෙමි. විදූ යනු මෙසේ ම, යොදුන් සියයක් විශාල නාග භවනයෙහි හඳුනත්.
මෙසේ ද කියා මහා සත්ත්වයන් වහන්සේ මෙසේ සිතීය. මේ බ්‍රාහ්මණයා සැඩ පරුෂය. සර්පයන් අල්ලන්නකුට කියා මගේ උපෝසථයට බාධා ඇති කරන්නේය. ඉදින් මම මොහු නාගභවනයට ගෙන ගොස් බොහෝ සැපසම්පත් දී උපෝසථකර්මය බොහෝකලක් කරන්නෙමි. ඉක්බිති ඔහුට මෙසේ කීය. බ්‍රාහ්මණය, ඔබට මහත් වූ සැප සම්පත් දෙමි. එන්න. රමණීය වූ නාගභවනයට යමු. ස්වාමීනි, මට දරුවෙක් සිටී. ඔහු ආ කල්හි යන්නෙමි. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට බ්‍රාහ්මණය! යන්න. ඔහුව රැගෙන එන්න යැයි කීය. තමාගේ වාසස්ථානය ගැන සඳහන් කරමින් මෙසේ කීය.
යම් ඒ ගැඹුරු වූ සැමකල්හි දිය සුළි ඇති භයානක වූ විලක් දකින්නෙහි ද නොයෙක් සියගණන් පුරුෂයන් සිටින ඒ දිව්‍යමය මහාවිළ මගේ නිවාසයයි.
උභය තීරයෙහි මොනර, කොස්වාළිහිණි ආදීන්ගේ නාදයෙන් පිරුණු නිල් ජලය ඇති වන මැදින් ගලාබසින යමුනා බලන්න. එහි පිවිස බිය නැතිව සුරක්‍ෂිත වූ, බියක් නැති ආචාර සම්පන්නයන්ගේ වාසභූමියට පිවිසෙන්න.
එහි සදා වට්ට යනු හැමදා තිබෙන්නා වූ දියසුළි ඇති භෙසමං යනු බියජනක. අවෙක්ඛසි යනු මේ මෙබඳු වූ ස්වභාව ඇති මහාවිල බලන්න. මයූර කොඤ්චාභිරුදං යනු ඉවුරු දෙකෙහි කැලෑ රොදෙහි වසන්නා වූ මොනරුන් හා කොස්වාළිහිණියන් විසින් නාදයෙන් ගීතවත් වූ නීලොදං නිල්ජලය ඇති. වනමණ්ඩතො ම වනය මැදින් ගලාබසියි. පවිස මාභීතො යනු මෙබඳු ස්වරූප ඇති යමුනාවට බියෙන් තොරව බැසගන්න. වත්තවතං යනු වත්සම්පන්න වූ, ආචාර සම්පන්න වූවන්ගේ වාසභූමියට පිවිසෙන්න. බ්‍රාහ්මණය, යන්න. පුත්‍රයාව රැගෙන එන්න.