විමාන කාණ්ඩය
මෙසේ කියා මාතලී දෙව්ලොව දෙසට රථය පැදවීය. දෙව්ලොව කරා යන රජතුමා, දොළොස් යොදුන් මැණික්මය රන්සෑයක බඳු සියලු අලංකාරයෙන් පරිමණ්ඩිත වූ කල්ප වෘක්‍ෂය පිරිවර කොටගත් උයන් පොකුණු ආදියෙන් යුතු ඛිරණී නම් දෙව්දුවගේ අහස්කුස පිහිටි විමානය දැක, එම දෙව්දුව ද කූටාගාරය තුළ හාන්සිපුටුවේ බොහෝ අප්සරාවන් පිරිවරා උන්නී මැණික්මය සීමැදුරු කවුළුව හැර බලන්නී දැක, මාතලී දෙව්පුතුගෙන් විමසන (නිමි රජතුමා) ගාථාවක් කීවේය.
පංචථූපං දිස්සතිදං විමානං, මාලා පිළන්‍ධා සයනස්ස මජ්ඣෙ,
තත්‍ථච්ඡති නාරි මහානුභාවා, උච්චාවචං ඉද්ධිං විකුබ්බමානා
ස්තූප පහක් (කුළුගෙවල් පහක්) ඇති මේ විමානය පෙනේ. එහි යහන මැද මාලා පැළඳ ගත් මහත් ආනුභාව ඇති ස්ත්‍රියක් ලොකු කුඩා දිව්‍ය සෘද්ධීන් දක්වමින් සිටී.
විත්තිහි මං වින්‍දති සුත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී,
අයංනු නාරි කිමකංසු සාධුං, යා මොදති සග්ග පත්තා විමානෙති
සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේවසාරථිය, ඔබෙන් විචාරන්නේ, දෙව්ලොවට පැමිණි යම් ස්ත්‍රියක් විමානගතව (මෙසේ) සතුටු වෙයිද? මේ ස්ත්‍රී තොමෝ කෙබඳු වූ යහපතක් කළේ ද?
එසේ ඇසූ කල්හි පුණ්‍යකර්මයන්හි විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
යදිතෙ සුතා ඛීරණී ජිවලොකෙ, ආමාය දාසි අහු බ්‍රාහ්මණස්ස,
සා පත්තකාලං අතිථිං විදිත්‍වා, මාතාව පුත්තං සකි මාභිනන්‍දි,
සංයමා සංවිභාගාච, සා විමානස්මිං මොදතීති
ඉදින් මිනිස්ලොව බමුණකුගේ ගෘහ දාසියක කුස උපන් බිරාණී නමින් දාසියක් වූවා යැයි ඔබ අසා ඇති නේද? ඕ ආගන්තුක සත්කාර දැන දුරසිට ආ පුතෙකුට මවක් සතුටින් සැලකුම් කරන්නා සේ ආගන්තුක සත්කාර කළාය. සිල්වත් වූ පරිත්‍යාග ගුණයෙන් යුතු ඕ තොමෝ මේ විමානයෙහි සතුටින් සිටින්නීය.
එහි පඤ්චථූපා යනු කුළුගෙවල් පසකින් යුක්ත වූ බවයි. මාලාපිළන්‍ධාති පළඳින ලද මල්දම් ආදියෙන් සර්වාභරණයෙන් යුක්ත වූ බවයි. තත්‍ථච්ඡතීති එම විමානයෙහි හිඳී යනුයි. උච්චාවචං ඉද්ධිං විකුබ්බමානාති නොයෙක් ආකාරයේ දේව ඍද්ධි දක්වනු ලබන්නී යනුයි. දිස්වාති එය දැක සිටියේය යනුයි. විත්තිං මං වින්‍දති සතුට විඳී යනුයි. විත්ති නම් තූර්ය භාණ්ඩයක් අයත් වූවෙකු මෙන් වීමි. සතුටින් අභිභූත වූයෙමි. ආමායදාසීති ගෘහ දාසියගේ කුසින් උපන් දාසියයි. අහුබ්‍රාහ්මණස්සාති යනුවෙන් දැක්වූයේ ඈ වනාහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි එක් බමුණෙකුගේ දාසියක් විය. සාපත්ත කාලන්ති ඒ බමුණා සලාක දාන අටක් මහ සඟනට පිරිනැමීමට පොරොන්දු විය. ඔහු ගෙදරට ගොස් හෙට පටන් එක් භික්‍ෂුවකට කහවනුවක් අගනා දාන අටක් පිළියෙල කරන්නැයි බැමිණියට කීවාය. භික්‍ෂූහු නම් ධූර්තයෝය. එබැවින් මට දන් පිළියෙල කළ නොහැකි යැයි කීවාය. ඔහුගේ දියණිය ද ප්‍රතික්‍ෂේප කළාය. ස්වාමීනි මට හැකියැයි එම දාසිය කීවාය. ඇය එසේ දන් පිළියෙල කර හැකියැයි පිළිගෙන එතැන් පටන් කොට මනාකොට කැඳ, බත්, කැවිලි ආදිය පිළියෙල කොට සලාකය ලැබ දන් පිළිගැනීමට භික්‍ෂුව පැමිණෙන විට, පත්තකාලං අතිථිං විදිත්‍වා යනු පළාවන් පැහැ ගොම පිරිබඩ ගන්වා (ගෙය පිරිසිදු කොට) මලින් සරසන ලද මනාකොට සැකසූ ආසනයක වඩා හිඳුවා, යසේ දුරුරට සිට පැමිණි පුතෙකුට මවක් සැලකුම් කරන්නාක් මෙන් හැම දිනකම (දානාදිය පිදීමෙන්) සැලකුවාය. සමහර විටෙක තමන් සතු දෙයක්ද පූජා කළාය. සඤ්ඤමා සංවිභාගාති යනු ඈ සිල් බැවින්ද ත්‍යාගවන්ත බැවින් ද යුක්ත වූවාය. එම සිල්වත් බව හා ත්‍යාගවන්ත බව නිසා දැන් මේ විමානයෙහි සැප විඳින්නීය. එසේම සංයමාති යනු ඉන්‍ද්‍රිය දමනයයි.
මෙසේ කියා මාතලී දෙව්පුත් රිය ඉදිරියට දක්කා සොණාදින්න දෙව් පුතුගේ රුවන් විමාන සත දැක්වීය. හෙතෙම (නිමිරජ) ඒවාද එම දෙව්පුතුගේ සැප සම්පත් ද දැක ඔහු විසින් කළ කුසල් කුමක්දැයි විමසීය. අන්‍ය වූ සම්පත් ගැන ද විමසීය.
දද්දල්ලමානා ආහෙන්ති - විමානා සත්ත නිම්මිකා,
තත්‍ථ යක්ඛා මහිද්ධිකො - සබ්බහරණා භූසිතො,
සමන්තා අනුපරියාති - නාරීගණා පුරක්ඛතො
මැවුණු දිළිසෙන විමාන සතක් බැබළෙති. එහි සව් බරණින් සැරසුණු මහත් සෘද්ධි ඇති දිව්‍ය පුත්‍රයෙක් හාත්පසින් දිව්‍ය ස්ත්‍රීන් පිරිවරා සිටී.
විත්තිහි මං වින්‍දත සුත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙව සාරථී,
අයංනු මච්චො කිමකාසි සාධුං, යො මොදති සග්ග පත්තො විමානෙති
සාරථිය, මෙම (විමානය) දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේ සාරථිය ඔබගෙන් විචාරමි. දෙව්ලොව පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වේද මේ සත්ත්ව තෙම කෙබඳු පුණ්‍ය කර්මයක් කළේද?
එසේ (නිමිරජු) ඇසූ කල්හි පුණ්‍ය කර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.