4. නිමි ජාතකය (541)
ඒකාන්තයෙන් ම මේ ලොව පුදුම සහගතය යන කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර මබාදේව අඹවනයෙහි වැඩවසද්දී (තමන් වහන්සේ විසින්) මද සිනා ඉපදවීමක් හේතුවෙන් දේශනා කළ සේක. එක් දිනෙක ශාස්තෲන් වහන්සේ සවස් කල බොහෝ වූ භික්‍ෂු පිරිසක් පිරිවරා එම අඹ වනයෙහි සැරිසරණ සේක් එක් සිත් අලවන භූමි ප්‍රදේශයක් (බිම් කඩක්) දැක තමන්වහන්සේගේ පෙර සිරිතක් කියනු කැමැතිව සිනා පහළ කෙළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් සිනා පහළ කිරීමට හේතු විචාල කල්හි ‘ආනන්ද, මම මඛාදේව රජව ඉපිද සිටි සමයෙහි මේ භූමිභාගය මා විසින් ධ්‍යාන සුවයෙන් යුතුව වාසය කළ ස්ථානයයි වදාරා, (ආනන්ද තෙරුන්ගේ) ඉල්ලීමෙන් පැනවූ අසුනෙහි වැඩහිඳ අතීතය ගෙනහැර දක්වා වදාළ සේක.
ඉහත වේදේහ රට මිථිලා නුවර මඛාදේව නම් රජෙක් සිටියේය. ඔහු අවුරුදු අසූහාර දහසක් කුමාරයෙකු වශයෙන් කෙළිලොල්ව විසීය. අවුරුදු අසූහාර දහසක් යුවරජ තනතුරු දැරිය. අවුරුදු අසූහාර දහසක් රාජ්‍යයද විචාරන්නේ, යම් දවසක මාගේ හිසෙහි නර කෙසක් දුටුවේ නම් මා හට කියවයි කපුවාට අණ කළේය. පසුකලෙක හිසෙහි නර කෙසක් දැක කපුවා විසින් දැන්වූ කල්හි අඬුවෙන් එය උගුල්වාගෙන අතට ගෙන බලන්නේ නළලෙහි කෙටූ ලෙසම මරණය පැමිණි බව දකින්නේ දැන් මට පැවිදි වීමට කාලය එළඹියේයැයි කපුවාට ගම්වරයක් තෑගිකොට දෙවා දෙටු පුතු කැඳවා දරුව, රාජ්‍ය විචාලව. මම පැවිදි වන්නෙමියි කීවේය. පියරජතුමනි, කුමක් නිසා පැවිදි වන්නේ දැයි ඇසූ කල්හි,
මේ නරකෙස මගේ හිසේ දිස් විය. වයස ඉක්මුණි. දේව දූතයෙක් පහළ විය. මේ මට පැවිදි වීමට සුදුසු කාලයයි කීවේය.
එසේ කියා ඔහු රාජ්‍යයෙහි අභිෂේක කොට, ඔබ මේ, මේ අයුරින් රාජ්‍ය විචාලවයි අවවාද කොට නුවරින් නික්ම ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අසූහාර දහසක් අවුරුදු බ්‍රහ්මවිහාර වඩා බඹලොව උපන්හ. ඔහුගේ පුතාද මේ ආකාරයෙන් පැවිදිව බඹලොව උපන්නේය. මේ ආකාරයෙන් ඔවුනොවුන්ගේ පුතුන් හත්දහස් තුන්සිය අනූඅට දෙනෙක් රජවරු හිසෙහි නරකෙස් දැක මේ අඹවනයෙහි පැවිදිව සිව් බඹවිහරණ වඩා බඹලොව උපන්නාහුය.
ඔවුන් සියල්ලන්ම පළමු බඹලොව උපන් මඛාදේව රජ බඹලොව සිට තම පරම්පරාව ගැන විමසන්නේ රජවරු සත්දහස් තුන්සිය අනූ අටදෙනෙකු පැවිදි වූ බව දැක සතුටට පැමිණෙමින් ඉදිරියට මාගේ වංශ පරම්පරාව පවතින්නේදැයි බැලීය. නොපවතින බව දැක මාගේ වංශය මා විසින් පවත්වන්නෙමියි එයින් චුතව මියුලු නුවර රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. ඔහුට (එම කුමරුට) නම් තබන දිනයෙහි නිමිත්ත පාඨකයෝ වෙර ලකුණු බලා මහරජ, කුමාරයා ඔබගේ වංශ පරම්පරාව පවත්වාගෙන යාමට උපන්නෙකි. ඔබගේ වංශය මින් ඉදිරියට පැවිදි වන්නන්ගේ වංශයක් වශයෙන් නොපවතින්නේයැයි කීවාහුය. ඒ අසා රජතුමා, මේ කුමාරයා රිය සකක නිම් වළල්ල මෙන් මගේ වංශය පවත්වාගෙන යාමට උපන්නෙකියි කියා, ‘නේමි’ කුමාරයෝ යැයි නම් කළහ.