නිරය කාණ්ඩය
ඉක්බිති රජතුමා මම අවශ්‍යයෙන්ම දෙලොවට ගෙන යනු ලබන්නේය. ඒ අතර අපායද දැකබලා ගන්නෙමියි සිතා ඉක්බිති මේ ගාථාවද කීවේය.
නිරයෙ තාව පස්සාමි ආවාසෙ පාපකම්මිනං,
ඨානාති ලුද්දකම්මානං දුස්සීලනඤ්ච යාගතී
පව්කම් කළවුන් වෙසෙන නියරද දරුණු පව් කළවුන් වෙසෙන තැන්ද දුස්සීලයන් අකුසල විපාකයෙන් වෙසෙන තැන්ද ඇතොත් ඒ නරකයන් පළමුවෙන් දකිනු කැමැත්තෙමියි කීහ.
එහි යාගතීති ඔවුන් උපන් තැන් බලන්නෙමි යනුයි.
ඉක්බිති රජුට වේතරණී නදිය දැක්වීය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
දස්සෙසි මාතලී රඤ්ඤො දුග්ගං වෙතරණි නදිං,
කුථන්තිං ඛාර සංයුත්තං තත්තං අග්ගිසිඛූපමන්ති
මාතලී දෙව්පුත් තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත්වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙන් යුත් වේතරණී නදිය දැක්වීය.
එහි වෙතරණින්ති මහණෙනි, මාතලී දිව්‍යපුත්‍රයා රජුන්ගේ කතාව අසා අපාය දෙසට රථය පදවා පළමුව කර්මවිපාක හේතුවෙන් ඍතු භේද ඇත්තා වූ වෙතරණී ගංගාව පෙන්වීය. එහි යමපල්ලෝ දිලිසෙන කඩු, කිනිසි, හෙල්ල, තෝමර, මුගුරු ආදි ආයුධ ගෙන නිරයෙහි සිටි සතුන්ට පහර දෙන්නාහුය. ආයුධවලින් විදින්නේය. පෙළන්නේය. ඔවුහු ඒ දුක විඳීමට අපොහොසත් වේතරණි ගංගාවට වැටෙන්නෝය. එහි මතුපිට තෝමර ප්‍රමාණයේ කටු ඇති වේවැල්වලින් ගැවැසුණෝය. ඔව්හු එහි අවුරුදු සියදහස් ගණනක් ඉතා තියුණු මුවහත් ඇති උල්කටු ඇනීමෙන් ඇඟ මස් කඩ කඩව යන්නෝ මහත් දුක් විඳිති. යටින් තල්කඳන් හා සමාන යවුල් පැන නගින්නේය. නිරයෙහි උපන් සත්ත්වයෝ බොහෝ දින ගණන් එකී වේවැල් ඇමිණී උල් මත පතිත වී විනිවිද ගිය උල් ශරීරයෙන් මතුවී උල්වල ඇමිණි මසුන් මෙන් බොහෝ කල් දුක් විඳිති. උල්වලට යටින් ලෝදිය මත ලෝහමය නෙළුම්පෙති ඇත්තේය. පසුව ඔවුහු වැල් මත පතිත වී මහත් දුක් විඳිති. එසේම ලොහොදියෙහි වැටෙති. උණු ලොහොදිය මෙන් සත්ත්වයෝ ද පැසෙති. දුම් නැගෙයි. ගංගාවෙහි පතුලෙහි සියුම් මුවත් ඇති ආයුධය. ඔව්හු ගංපතුලෙහි කිනම්දැයි පතුලට ගිලෙති. එවිට එහි වූ සියුම් ආයුධවලින් කඩකඩව කැපී යන්නේ ය. ඔහු එම මහත් දුක ඉවසීමට නොහැකිව මහත්කොට හඬා වැලපෙමින් සැරිසරන්නෝය. කිසියම් විටෙක උඩට ඉල්පෙති. කිසියම්විටෙක යට යති. එසේම ගඟ දෙපස ඉවුරේ සිටින යමපල්ලෝ කඩු හෙල් තෝමර ආදියෙන් ගසා මසුන් මෙන් තුවාල කෙරෙති. ඔව්හු දුක්වේදනාවෙන් පීඩාවට පැමිණ මහත් හඬ නගමින් වැලපෙති. ඉක්බිති ඔව්හු රත්වූ යකඩ කොකුවලින් උඩට ගෙන තුවාලකොට ගිනිගෙන දිලෙන යකඩ පොළොවෙහි රුවා මුඛයෙහි රත්වූ යකඩ ගුලි දමති.
මෙසේ රජතුමා වේතරණී ගංගාවෙහි මහත් දුකින් පෙලෙන සත්ත්වයින් දැක බියෙන් තැතිගෙන මේ සත්ත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි මාතලී දෙව්පුතුගෙන් ඇසීය. ඔහු පැහැදිලිව ඒ බව දක්වමින් මෙසේ කීහ.
නිමී හවෙ මාතලිං අජ්ඣභාසථ, දිස්වා ජනං පතමානං විදුග්ගෙ,
භයංහි මං වින්‍දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී,
ඉමෙනූ මච්ඡා කිමකංසු පාපං, යෙමෙ ජනා වෙතරණිං පතන්තීති,
නිමි රජතෙමේ ඒකාන්තයෙන් ඉතා යා නොහැකි නිරයෙහි වැටෙන ජනයා දැක මාතලී දෙව්පුත් හට මෙසේ කීය. එම්බා මාතලී රථාචාර්යය, මට මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලිය, තොප විචාරමි. යම් මේ මනුෂ්‍යයෝ ඇද්ද ඔව්හු කිනම් පව්කම් කොට වෙතරණී නරකයෙහි වැටෙද්දැයි ඇසුවාහුය.
තස්ස පුට්ඨො වියාකාසි මාතලී දේවසාරථි,
විපාකං පාපකම්මානං ජානං අක්කාස ජනතො
මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කළේය. පාපකර්ම පිළිබඳ විපාක දන්නා ඔහු නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
යෙ දුබ්බලෙ බලවන්තො ජීවලොකෙ, හිංසන්ති රොසෙන්ති සුපාපධම්මා,
තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං, තෙ වෙ ජනා වෙතරණිං පතන්ති
මිනිස්ලොව පහත් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයන්ට පීඩා කෙරෙද්ද නන් අයුරින් අක්‍රොශ පරිභව කෙරෙද්ද ඔවුහු පව් රැස්කොට ඒකාන්තයෙන් වෙතරණී නරකයට වැටෙති.
එහි වින්‍දතීති යනු මම තමාම අසරණ භාවයට පැමිණ බිය අයත් කරගත්තා යනුයි. දිස්වාති (නිරයෙහි) වැටෙන අය දැක යනුයි. ජානන්ති මහණෙනි, ඒ මාතලී දෙව්පුත් තමා දන්නා බැවින් නොදන්නා වූ (නිමි රජතුමාට) තැනැත්තාට කීවේය යනුයි. දුබ්බලෙහි ශාරිරික ශක්තිය, සම්පත්, පෞරුෂය යන බලයන් නැති බවයි. බලවන්තොති ඒ බලයන්ගෙන් යුතු අයයි. භිස්සන්තීති අතින් පයින් (වෙනත් දේවලින්) පහරදීමෛන් සිහිසන් නැතිවීමයි. රොසෙන්තීති නොයෙක් ආකාරයෙන් පරිභව කිරීමයි. පසවෙත්‍වාති දැනගැනීමට සලස්වා යනුයි.
මෙසේ මාතලී දෙව්පුත් ඔහුගේ ගැටළු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී වෙතරණී තීරයෙහි රජු දුටු දේ අන්තරධාන කොට රථය ඉදිරියට පදවා බලුකැණහිල් ආදීන් විසින් නිරි සතුන් හපාකන තැන් දක්වා ඒවා දුටු කල්හි බියට පත් රජු ඇසූ දේද පැහැදිලි කළේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
සාමා ච සොණා සබලාච ගිජ්ඣා, කාකොළ සංඝාච අදෙන්ති භෙරවා,
භයං හිමං වින්‍දති සූත දිස්මා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී,
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යයිමං ජනං කාකොළං අදෙන්තී ති
රතු පැහැති බල්ලෝ ද, කබර පැහැති බල්ලෝ ද, ගිජුලිහිණියෝ ද, භයානක කපුටු රැළ ද මස්කඩා කති. මේ දැක මට භය උපදී. එම්බා සාරථිය, ඔබ විචාරමි. කවුඩන් විසින් ගනු ලබන මේ නිරිසත්තු කුමන පාපකර්මයක් කළාහු ද?
තස්ස පුට්ඨො ව්‍යාකාසි මාතලී දෙවසාරථී,
විපාකං පාපකම්මා නංජානං අක්ඛාස ජානතො
මෙසේ ඇසූ කල පාපකර්මයන්හි විපාක දන්නා මාතලී දිව්‍ය රථාචාර්යයා නොදන්නා නිමි රජුට මෙසේ පැහැදිලි කර දුන්නේය.
යෙකෙචිමෙ මච්ඡරිනො කදරියා, පරිභාසකා සමණා බ්‍රහ්මණානං,
හිංසෙන්ති රොසෙන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්‍වා පාපං,
තයිමං ජනං තාකොලා අදෙන්තීති
මසුරු (අනුන්ට යමක් නොදෙන) අනුන් දෙන දේ වළක්වන, පහත් ගති ඇති යම්කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කෙරෙද්ද හිංසා ආක්‍රොශ කෙරෙද්ද දරුණු පාපකර්ම ඇති ඔහු පව් රැස්කොට නිරයට යන්නාහුය. ඒ මේ නිරිසතුන්ගේ මස්කවුඩෝ කඩ කඩා කන්නෝ යැයි මාතලී කීය. මෙයින් අන්‍ය වූ ප්‍රශ්න විසඳීමෙහිලා මෙම න්‍යායම අනුගමනය කළ බව දතයුතු. එහි සාමාති රත්පැහැයෙන් යුතු බවයි. සොණාති බල්ලෝ යනුයි. සබලාචාති කබර පැහැයෙන් යුතු බවයි. සුදු, කළු, පිඟුවන් පැහැ ආදී වූ වර්ණ පසකින් යුතු බල්ලන් දැක්වේ. උන් මහ ඇතුන් පමණ වේ. ගිනියම් වී දිළිසෙන යකඩ පොළොවෙහි මුවන් පසුපස ලුහුබැඳ මස්පිඬු ඩැහැගෙන උන්ගේ ගවු තුනක් පමණ වූ සිරුර යපොළොවෙහි හොවා මහත්සේ හඬ නගමින් දෙගාත්වලින් පපුව පැහැර ඇට ඉතුරුකොට මස් ඇද ඇද කඩා කන්නේය. ගිජ්ඣති ලොකුගැල් සදිසි ගිජුළිහිණියෝය. ලෝහතුඩු ඇති උන්, උන්ගේ තෝමර වැනි තුඩුවලින් ඇට බිඳ ඇටමිදුළු කන්නෝය. කාකොළ සංගාතිලොහො තුඩු ඇති කවුඩෝය. උන් ඉතාම භයානකය. දුටු දුටුවන්ට තුඩින් අනින්නෝය. යයිමං ජනන්ති මේ නියත නිරිසත්තු කාක ආදීන් විසින් කනු ලබන්නෝය. මේ මිනිස්සු කිනම් පව්කම් කළෝදැයි ඇසීය. මච්ඡරිනොති අන්‍යයන්ට කිසිවක් නොදුන්නෝය. තදරියාති අනුන් දෙන දේ වළක්වන්නේය. ඔහු තද මසුරු අය වෙති. සමණ බ්‍රාහ්මණානන්ති සමාහිත වූ බැහැර කරන ලද පව් ඇත්තේය.