5. ඛණ්ඩහාල ජාතකය (542)
රජාසි ලුද්ද කම්මාති යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දත් තෙරුන් අරබයා දේශනා කළ සේක. එහි නිදාන කතාව සංඝභේද කන්දකයෙහි ආ පිළිවෙලමය. එය ඔහුගේ (දෙව්දත්හුගේ) පැවිදි වීමේ සිට බිම්බිසාර රජතුමාගේ මරණය දක්වා වූ පරිදි දතයුතුය. බිම්සර රජු මරණයට පමුණුවා දෙව්දත් අජාසත් කරා එළඹ මෙසේ කීය. මහරජ, ඔබගේ මනෝරථය ඉටු විය. මගේ මනෝරථය තවම ඉටු නොවීය. ‘ස්වාමීනි, ඔබගේ මනෝරථය කිමෙක්දැ’යි විමසූ කල්හි බුදුන් මරා බුදුවීම යැ’යි කී. ‘මා විසින් එයට කුමක් කළ යුතුදැ’යි ඇසූ කල්හි දුනුවායන් රැස්කර දෙනු’වැයි කීවිට, අකුණුසරින් (අක්ෂවේදී) විදීමට සමත් පන්සියයක් දුනුවායන් රැස්කරවා ඔවුනතුරෙන් වඩා දස්කම් ඇති එක් තිස්දෙනෙකු තෝරා, තෙරුන් කී දෙයක් කරන්නැයි දෙව්දත් වෙත යැවීය. හෙතෙම දෙටු දුනුවායා අමතා ‘සගය, සමණ ගොයුම්හි ගිජුකුළු පව්වෙහි වෙසෙති. අසවල් වේලෙහි දිවාකල සක්මනෙහි යෙදෙති. තෝ එහි ගොස් විසපෙවූ හීයකින් විද දිවි තොරකොට අසවල් මගින් එන්නැයි නියමකොට යවා එමඟ දුනුවායන් දෙදෙනෙකු සිටුවා තොප සිටින මගින් එක් පුරුෂයෙක් පැමිණෙනු ඇත. තොප ඔහුගේ දිවි තොරතොට අසවල් මගින් පැමිණෙව් යැයි කියා නියම කළේය. එමග දුනුවායන් දෙදෙනෙකු සිටුවා, තොප සිටින මඟ කිසියම් මිනිසුන් දෙදෙනෙකු පැමිණෙන්නේය. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට තැබීය. එම (සතරදෙනා) එන මග දුනුවායන් අටදෙනෙකු සිටුවා, තොප සිටින මගින් පුරුෂයෝ සිව්දෙනෙක් පැමිණෙති. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට කීය. ඔවුන් එන මග දුනුවායන් සොළොස් දෙනෙකු සිටුවා තොප සිටින මගෙහි පුරුෂයෝ අටදෙනෙක් පැමිණෙති. තෙපි ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට යෙදවීය.
කුමක් නිසා මෙසේ කළේද? තමන් කළ දේ සඟවාගැනීම පිණිසය. ඉක්බිති ඒ දෙටු දුනුවායා වමතින් කඩුවක් දරා හියවුර පිටෙහි එල්වාගෙන මැඩහඟු දුන්න (මෙණ්ඩක සිංග) අතින් ගෙන සර්වඥයන් වහන්සේ නුදුරට ගොස් බුදුන් විදිමියි සිතා දුන්නෙහි දුනුදිය නගා ඊය ඉඳුවා ගෙන ඊය අසුර ගල්වන්නට අසමත් විය. මුළු සිරුර යතක ලා (යන්ත්‍රයක දමා) පෙළන්නා සේ තදව ගියේය. හෙතෙම මරණ බියෙන් තැතිගෙන සිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහු දැක මධුරස්වර විහිදුවා බිය නොවන්න මෙහි එන්න යැයි වදාළ සේක. එවේලෙහි ඔහු ආයුධ විසිකර දමා අඥාන බැවින් මුලාවට පැමිණ අකුසල් හේතුවෙන් මා විසින් වරද ඉක්මවා යන ලදී. ඔබවහන්සේගේ ගුණය නොදැන අඥාන වූ දෙව්දත්ගේ වචන අසා ඔබවහන්ගේ දිවි තොරකිරිම පිණිස ආවෙමි. ස්වාමීනි, මට සමාවන්නැයි කියා සමාව ගෙන එකත්පසෙක සිටියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහු හට චතුරාර්ය සත්‍යය දේශනා කොට දෙව්දත් කී මග නොයා අනෙක් මගෙකින් යන්නැයි කියා යැවූ සේක. ඔහු පිටත්කර යවා සක්මනින් බැස එක් ගසක් මුල වැඩහුන් සේක.
ඉක්බිති එම දුනුවායා නොඑන බව දුටු අනෙක් දෙදෙනා මොහුගේ ප්‍රමාදය කිමෙක්දැයි විමසමින් ඉදිරියට යන්නාහු පෙරමගට යන්නාහු බුදුන් දැක එළඹ වැඳ එකත්පසෙක සිටියාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ද චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. ඔවුහු ද සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ඔවුන් ද දෙව්දත් කී මගින් නොයවා මේ මගින් යන්නයැයි වෙනත් මගකින් පිටත්කර යැවූ සේක. මේ ආකාරයෙන් අනෙක් සියළු දුනුවායන් ද ශාස්තෲන් වහන්සේ කරා පැමිණි කල්හි දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවා වෙනත් මංවලින් පිටත්කර යැවූ සේක. ඉක්බිති ඒ පළමු දුනුවායා දෙව්දත් කරා එළඹ ස්වාමීනි, දේවදත්තයනි, සම්මා සම්බුදුන්ගේ ජීවිතය නැසීමට නොහැකියැයි දන්වා සිටියේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මහානුභාව ඇත්තෝයැයි දන්වා සිටියේය. පසුව ඒ සියලු දෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපි දිවි ලැබුවෙමුයි ශාස්තෲන් වහන්සේ වෙත පැවිදිව අර්හත් භාවයට පැමිණියාහුය. මෙපුවත භික්ෂූන් අතර ප්‍රකට විය. භික්ෂූන් දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ‘ඇවැත්නි, දේවදත්ත ස්ථවිරයෝ එකම සර්වඥයන් වහන්සේ කෙරෙහි වෛරයෙන් බොහෝදෙනා මැරවීමට උත්සාහ කළේය. ඒ සියලු දෙනා ශාස්තෲන් වහන්සේ නිසා දිවි ලදැයි යනාදී වශයෙන් කතා කරමින් සිටියාහුය. ශාස්තෲන් වහන්සේ එහි වැඩමකොට, මහණෙනි, මා එන්නට පෙර කිනම් කතාවකින් යුක්තව සිටියාහුදැයි අසා, මෙනම් කතාවකින්යැයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරද දෙව්දත් වෛරයෙන් බැඳී, එක් අයෙක් වූ මා නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත නැසීමට උත්සාහ ගත්තේ යැයි කියා, අතීත කතාව ගෙනහැර දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර පුෂ්පවතී නම් විය. එනුවර වසවර්ති නම් රජුගේ පුත් වූ ඒකරාජ නම් රජු රාජ්‍ය විචාරන්නේය. ඔහු පුත් චන්ද කුමාරයා උපරජ තනතුර දැරීය. ඛණ්ඩහාල නම් බමුණා පුරෝහිත විය. හෙතෙම රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්ය. රජතුමා ඔහු පණ්ඩිතයෙකැයි සිතා අධිකරණ කටයුතු සඳහා යෙදවීය. ඒ ඛණ්ඩහාල නම් පුරෝහිතයා අත්ලස් ධනය කොට සලකා අත්ලස් ගෙන හිමියන් අහිමියන් කෙරෙයි. අහිමියන් හිමියන් කෙරෙයි. එක් දවසක් යුක්තියෙන් පැරැදී පුරුෂයෙකු අධිකරණ ශාලාවෙන් මුරගාගෙන නික්මෙන්නේ රාජසේවයට යන්නා වූ චන්ද කුමාරයන්ගේ පාමුල වැඳ වැටුනේය. එකල්හි ඒ කුමාරයෝ පින්වත් වූ පුරුෂය, මේ කිමෙක්දැයි කිවූය. ස්වාමීනි, ඛණ්ඩහාල බමුණා විනිශ්චය මණ්ඩලයෙහි කොල්ලකන්නේ ය. මම ඔහු විසින් අල්ලස් ගෙන පරාජයට පමුණුවන ලද්දෙමියි කීය. එකල්හි කුමාරයෝ තෝ නොබවයි ඔහු අස්වසා විනිශ්චය මණ්ඩලයට කැඳවාගෙන ගොස් යුක්ති විචාරා හිමි තැනැත්තහු හිමි කළහ. මහජනයා මහත්කොට සාධුකාර දුන්නාහුය. රජතුමා එය අසා ඒ කිනම් ශබ්දයක්දැයි ඇසීය. චන්ද කුමාරයන් විසින් ඛණ්ඩහාල බ්‍රාහ්මණයා නපුරුකොට විචාරණ ලද්දා වූ යුක්තිය මනාකොට විචාළ හෙයින් එතැන්හි පැවැත්වූ සාධුකාර ශබ්දය යැයි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ එපවත් අසා කුමාරයා පැමිණ වැඳ සිටි කල්හි, දරුව, තොප විසින් එක් යුක්තියක් විචාරා පසිඳනා ලද්දේදැයි විචාළහ. එසේය ස්වාමීනියි කී කල්හි ‘එසේ නම් මෙතැන් පටන් තෙපිම යුක්ති විචාරවයි’ විනිශ්චය මණ්ඩල නායක කොට තැබීය.