මද්‍රීදේවි කාණ්ඩය
මහාපොළව කම්පා කරමින් රජු විසින් බ්‍රාහ්මණයාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියේය. එයින් බිඳුනු හදවත් හිමවත් වැසි දේවතාවෝ බ්‍රාහ්මණයා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය අසා මෙසේ කතිකාකර ගත්හ. ඉදින් මද්‍රිදේවිය කල්ඇතිව අසපුවට එන්නීද, එහි දරුවන් නොදැක වෙස්සන්තරගෙන් අසා බ්‍රාහ්මණයාට දුන් බව දැනගෙන බලවත් සෙනෙහසින් පසුපස්සේ දුවගොස් මහත් දුකකට පත්වන්නීය. ඉක්බිති ඒ දේවතාවෝ, නුඹලා සිංහ, ව්යාඝ්ර, දිවි යන වෙස්ගෙන දේවියගේ ගමන්මග බාධාකරමින් ඉල්වා සිටියත් ඉර බැසයනතුරු මාර්ගය ඉඩනොදී යම්සේ සඳඑළියෙන් අසපුවට පැමිණේ ද එපරිද්දෙන් සිංහාදී සතුන්ගෙන් පීඩාවකට පත්නොවන ලෙස ආරක්ෂා කරව්යැයි අණ කළහ. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
ඒ දරුවන් දෙදෙනාගේ විලාප අසා වනදෙවියෝ දිව්‍යපුත්‍රයන් තිදෙනෙකු මේ වදන් කීහ. තෙපි සිංහ, ව්යාඝ්ර, දිවි යන වනවැසි චණ්ඩ මෘගයන්ගේ වෙස් ගනිව්.
අපගේ රාජදේවිය සන්ධ්‍යාවේ වනයෙන් නොඒවා. අප නිරන්තරයෙන් පරිභෝග කරන වනයෙහි චණ්ඩ මෘගයෝ ඇයට පීඩාවක් නොකරත්වා.
සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ ශ්රීමතිය වෙහෙසට පත්කරන්නේ නම් ජාලිය කුමරු නොම පවත්නේය. කෘෂ්ණජිනා කෙසේ පවත්නීද? ඒ බිසෝ තොමෝ ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් යන දෙකොටසින්ම පිරිහෙන්නීයැයි කීහ.
එහි ඉදං වචන මබ්රවුං නුඹලා තුන්දෙනා සිංහයෙක්, ව්‍යාඝ්‍රයෙක්, දිවියෙක් යන නපුරු සතුන් බවට පත් වව්යැයි ඒ දේවපුත්‍රයන් තුන්දෙනාට කීහ. මාහෙවනො මද්‍රිදේවිය වනයෙන් සන්ධ්‍යාවේ නොඒවා. සඳඑළියෙන් අඳුර වැටීගෙන එනවිට යේවායි කීහ. මාහෙවාමහාකං නිබ්භොගෙ යනු අප පරිභෝග කරන විජිතයෙහි අපගේ මනරොදේ ඇයව කිසි මෘගයෙක් හිංසාවට පත් නොකෙරේවා. යම්සේ හිංසා නොකරයිද එපරිද්දෙන් ඇයට ආරක්ෂාව යොදන්න යැයි කියත්. සීහොචෙනං ඉදින් යම්හෙයකින් ආරක්ෂා රහිත ඇයට සිංහාදී වූ කිසිවෙක් හිංසා කළේ වීනම් ජීවිත හානියට පත් ඇයට ජාලිය කෙනෙක් කොයින්ද? කෘෂ්ණජිනා කෙනෙක් කොයින්ද? මෙපරිද්දෙන් ඕ තොමෝ විශේෂ අවධානයෙන් යුක්ත වූවාය. උභයෙ නෙවජීයෙථ පතිං පුත්තෙවා දෙපැත්තකින්ම පිරිහෙන්නේය. ඒ නිසා ඇගේ ආරක්ෂාව මනාව සංවිධානය කරව්.
ඉක්බිති ඒ දේවපුත්‍රයෝ යහපතැයි ඒ දේවතාවන්ට ප්‍රතිඥා දී සිංහ, ව්යාඝ්ර, දිවියන් වී ගොස් ඇය එන ගමන්මගැ පිළිවෙලින් හොත්තාහ. මද්‍රිය මෙසේ සිතුවාය. ඈ මා විසින් නරක සිහිනයක් දකින ලදී. ඉක්මණින් මූලපලාදිය ගෙන අසපුවට යන්නෙමියි කම්පාවන්නී මූලපලයන් සොයාබැලීය. ඉක්බිති ඇගේ අතින් අලවංගුව වැටෙයි. එසේම පසෙකින් එල්ලාගත් පැස ද වැටෙයි. දකුණු ඇසද සෙලවෙයි. ඵල දරණ ගස් ඵල නැති ඒවා ලෙසත් පල නැති ගස් පල ඇති ඒවා ලෙසත් පෙනී ගියේය. දස දිසාව නොපෙනී ගියේය. ඇය මේ කුමක්ද? අද සිදුවන්නේ කලින් සිදු නොවූවකියි සිතා මෙසේ කීය.
මා අතින් පොළව කණින හුල ගිලිහෙයි. දකුණු ඇසද සැලෙයි. ඵල ඇති රුක් ඵල නැතියන් සේය. මට සැට දිශාවක් මුලාව පෙනෙයි.
ඒ මා සවස් වේලෙහි හිරු අවරට ගිය කල්හි අසපුව දෙසට එනකල්හි සැඩ සිවුපාවෝ පෙරමග නැගී සිටියහ.
හිරු ද පහතින් එල්බෙයි. අසපුවද ඉතා දුරයැ. ඔවුනට යමක් මෙයින් ගෙනයම්ද ඔවුහු ඒ බොජුන් වළඳනාහ.