ශක්‍ර කාණ්ඩය
මෙසේ ඔවුනොවුන් සතුටුසාමීචි කථා කරද්දී ශක්‍රයා මෙන් සිතීය. වෙස්සන්තර රජු ඊයේ මහපොළව කම්පා කරමින් දරුවන් ජූජකයාට දන් දුන්නේය. දැන් කිසියම් හීන පුරුෂයෙක් පැමිණ සියලු අඟපසඟින් හෙබි සිල්වත් වූ මද්‍රිදේවිය ඉල්වා රජ තනිකොට මද්‍රිය ගෙන යන්නේය. එයින් ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. බ්‍රාහ්මණ රූපයෙන් ඔහු වෙතට පැමිණ මද්‍රිය ඉල්ලා පාරමි මුදුන් පමුණුවා කිසිවකුට නොදෙන ලෙස කොට නැවත ඇයව ඔහුටම දී එන්නෙමියි සිතීය. හෙතෙම හිරු උදාවන කල්හි ඔහුගේ සමීපයට ගියේය. මේ කාරණය පැහැදිලි කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
ඉක්බිති රාත්‍රිය අවසානයේ හිරු උදාවත්ම සක්දෙව් රජ බමුණු වෙසෙකින් යුතුව අලුයම්හි ඒ දෙදෙනාට පෙනී සිටියේය.
එහි පාතො යනු උදෙන්ම ඒ දෙදෙනාටම පෙනෙන පරිද්දෙන් ඉදිරියෙහි සිටියේය. සිට ද පිළිසඳර කථා කරමින් මෙසේ කීය.
කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද කිම වනමුල් පලයන්ගෙන් යැපෙන්නේද? කිම අල හා පලවැල බොහෝ තිබේද?
කිම මැසි මදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙන්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?
මහාසත්ත්වයෝ මෙසේ පැවසූහ,
බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද වනයේ පලවැලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ.
මැසිමදුරුවෝද සර්පයෝද අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වෙනෙහි අපට හිංසා නොපෙනෙයි.
සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට බෙලිපැහැ හුණදණ්ඩද (සැරයටිය) ගෙන ආවා වූ අඳුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු.
බ්‍රාහ්මණය, තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ දෙපා දෝවනය කරව. පන්සල තුලට පිවිසෙන්න.
තිඹිරිපලයැ. පියල්පලය. මීපලය. කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොඳ හොඳ පල ගෙන වළඳන්න.
පර්වතය තුළින් ගලා ආ හොයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි, ඉදින් තෙපි බොනු කැමැත්තහු නම් එයින් ගෙන පානය කරන්න.
මෙසේ ඔහු සමග පිළිසඳර කථා කොට,
තවද තෙපි කිනම් කරුණකි. කිනම් හේතුවකින් මහ අරණට පැමිණියහුද, මා විසින් විචාරණ ලද්දා වූ තොප ඒ කරුණ කියන්න.
මෙසේ පැමිණි කාරණය විචාළේය. ඉක්බිති ඔහුට ශක්‍රයා මෙසේ කීය. මහරජ, මහළු මම මෙහි එන්නේ නුඹගේ බිරිඳ වූ මද්‍රිය ඉල්වන්නටය. ඇයව මට දෙන්න කියා මේ ගාථාව කීය.
යම්සේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිඳේද, එබඳු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසින් අයදනා ලද තෙපි මට තොපගේ අඹුව දෙව.
මෙසේ කී කල්හි මහාසත්ත්වයෝ, බ්‍රාහ්මණය, ඊයේ දරුවන් දෙන ලදී. වනයෙහි හුදෙකලාව සිට කෙසේනම් ඔබට මද්‍රි දේවිය දෙන්නෙම්දැයි නොකියා දිගුකළ අතෙහි දහසින් බැඳි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැඳී නොසැඟවුණු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් ගාථාව කීය.
බමුණානෙනි, තෙපි යමක් මා අතින් ඉල්වවු නම් එය දෙමි. දෙන්නට නොසැලෙමි. ඇති දැය නොසඟවමි. මා සිත දානයෙහි ඇලෙයි.
එහි සන්තං නප්පටිගූහාමි ඇති දෙය නොසඟවමි.
මෙසේ ද කියා වහාම කෙණ්ඩියෙන් පැන් ගෙන අතෙහි වත්කර භාර්යාව බමුණාට දුන්නේය. එකෙණෙහිම ඉහත කියූ ආකාරයේ සියළුම ආශ්චර්යයන් සිදුවිය. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,
මද්‍රි බිසව අත්හි ගෙන දිය පිරි කෙණ්ඩිය ද ගෙන සිවිරට වඩනා වෙසතුරු රජ බමුණාට දන් දින.
එදවස් යම් බිහිසුණු බවෙක් වීද, එදවස් ලොමුදැහැ ගැන්මෙක් වී මද්‍රිදේවිය දන් දෙත්මැ මහපොළව කම්පා විය.
මද්‍රි දේවිය මුව නොහැකිලූය. දුර්මුඛ නොවීය. නොහැඬූය. මියෙන් නොබැන තෙල වෙසතුරු රජ මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය.
එහි අදා දානං යනු එම්බා බ්‍රාහ්මණය, මට මද්‍රිදේවියට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් දසදහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිස හේතුවේවායි කියා දන් දුන්නේය. මෙසේද කියා ඇත.
මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද පතිනී මද්‍රි දේවියද බුදුබව පිණිසමැ ත්‍යාග කරනුයෙම් කිසිවක් නො සිතීමි.
දෙදරුවෝ මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි. ඔවුනට වඩා සර්වඥ බව මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි.
එහි සමකම්පථ ජලය අවසන් කොට කම්පා විය. නෙවස්ස මද්දී භකුටී මහණෙනි, ඒ වේලාවේ, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. න සන්‍ධියති න රොදති මකු වූයේ නැත. ඇස් පුරවාගෙන හැඬුයේ නැත. ඉක්බිති නිහඬව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි. මොහු යමක් උතුම්ද එය දනියි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය යන අර්ථයි.