මහාරාජ කාණ්ඩය
බෝධිසත්ත්වයෝ ද මද්‍රි දේවියද සතුටුව ශක්‍රයා විසින් දෙන ලද පන්සලෙහි වාසය කළහ. ජූජකයාද කුමාරයන් ගෙන සැටයොදුන් මගට පිළිපන්නේය. දෙවියෝ කුමාරවරුන්ගේ ආරක්ෂාව සිදුකළහ. ජූජකයාද හිරු බැසගිය කල්හි කුමාරවරුන්ව ගසක බැඳ බිම හොවා තෙමේ චණ්ඩ මෘගයන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදයි. ඒ මොහොතේ එක් දිව්‍යපුත්‍රයෙක් වෙස්සන්තර ලෙසත් එක් දෙව්දුවක් මද්‍රිදේවිය ලෙසත් අවුත් කුමාරවරුන් ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා දිවයන්හි නිදිකරවා හිරු උදාවන කල්හි බැඳ ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදන් වෙයි. මෙසේ ඔවුහු දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව ගමන් කරත්. ජූජකයාද දෙවියකු අධිගෘහිත වී කලිඟුරටට යමියි අඩමසෙකින් දිවිතුරු නගරයට පැමිණියේය. ඒ දිනයේම අළුයම සිවුමහරජ සංජය සිහිනයක් දුටුවේය. එය මෙබඳු සිහිනයක් විය. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබීය. රජු ඒ මල් දෙකන්හි පැළඳ ගත්තේය. ඒවායේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙයි. හෙතෙම පිබිද උදෑසනම බ්‍රාහ්මණයන්ගෙන් විචාළේය. දේවයන් වහන්ස, බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙන්නාහ කියා තේරුම් කළහ. හෙතෙම උදයෙන්ම නොයෙක් රජබොජුන් වළඳා විනිශ්චයාසනයේ හුන්නේය. දේවතාවෝ බ්‍රාහ්මණයා ගෙනවුත් රජගෙදර මිදුලේ තැබුවාහ. ඒ වේලාවේ රජතුමා බලන්නේ කුමාරවරුන් දැක මෙසේ කීය.
ගින්නෙන් තවන ලද රත්රන් මෙන් උදුනෙහිලා පැහැ ගැන්වූ රන් කොඬොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද?
දෙදෙනාම සමාන අඟපසඟ ඇත්තාහ. දෙදෙනාම සමාන ලක්ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය හා සමානය. එකක් තෘෂ්ණජිනාවන් හා සමානය.
දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහායෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවෝ රනින් මවන ලද්දවුන් මෙන් පෙනෙති.
එහි වුත්තන්තමග්ගිනා ගින්නෙන් තවන ලද බිලාවනික්ඛන්තා ගුහාවෙන් නික්මෙන සිංහයන් මෙන්.
මෙසේ රජතුමා ගාථා තුනකින් කුමාරයන් වර්ණනා කර එක් ඇමතියකුට අණ කළේය. යව්, මේ බ්‍රාහ්මණයාව දරුවන් සමග මෙහි කැඳවාගෙන එව්. ඔහු ඉක්මණින් ගොස් කැඳවාගෙන ආවේය. ඉක්බිති බ්‍රාහ්මණයාට රජු මෙසේ පැවසීය.
පින්වත් බ්‍රාහ්මණය, මේ දරුවන් කොහි සිට ගෙනෙන්නෙහිද?
ජූජකයා මෙසේ කීය,
සඳමහ රජතුමනි, මේ දරුවෝ මට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසෙකැ මට දෙන ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රියයි.
එහි විත්තෙන යනු සතුටින්, පැහැදුනු අයකු විසින්. අජ්ජපන්නරසා රත්ති මා විසින් මේ දරුවන් ලබන ලද දවසේ පටන් අදට පසළොස්වන රාත්‍රියයි කියා පවසයි.
රජතුමා කීය,
බමුණ, තා විසින් කවරනම් ප්‍රිය වචනයකින් ලබන ලද්දහුද? සත්‍ය කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සලකා දන් දුන්නේද?
එහි කෙනවා වාචපෙය්යෙත බ්‍රාහ්මණය, කවර නම් ප්‍රිය වචනයකින් ඔබ විසින් ඔවුහු ලබන ලද්දාහුද? සම්මාඤායෙන සද්දහෙ බොරුවක් නොකොට නිවැරදි කරුණින් අපව විශ්වාසවත් කරන්න. පුත්තකෙ තමන්ගේ දරුවන් උතුම් දානයක් කොට කවරෙක් තොපට දෙන ලද්දේද?
ජූජකයා කීය,
යමෙක් සත්ත්වයන්ට මහපොළව මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය.
යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.
එහි පතිට්ඨාසි පිහිට විය.
ඒ අසා ඇමැතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවාහ,
භවත්නි, මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසවු. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දිනිද?
[missing trans]
හේ දාසියකද දාසයකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදූ රථයක්ද දෙනු ලැබේවා. උතුම් ඇතකුද දෙනු ලැබේවා. හේ කුමට දරුවන් දෙන්නේ ද?