ෂට්ක්ෂත්රිය කාණ්ඩය
ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කඳවුරු බඳවා දහහතර දහසක් රථ ආවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්රදේශවල සිංහ, ව්යාඝ්ර, කඩු මාර්ග ආදියේ ආරක්ෂාව යෙදීය. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. මහාසත්ත්වයෝ එය අසා කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු යැයි මරණ බියෙන් බියපත් වූයේ මද්රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බැලීය. ඒ කාරණ ප්රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
වෙසතුරු රජ ඔවුන්ගේ හඬ අසා බියපත් වීය. බියපත් වූයේ කඳුගැටයකට නැග සෙනඟ බලයි.
එම්බා මද්රි දේවියනි, වනයෙහි යම්බඳු මහ හඬෙක් ඇද්ද එය පිරික්සව. ආජානේය අශ්වයේ හේසාරව කෙරෙති. රියෙහි නැගූ දද අග පෙනෙයි.
ඒකාන්තයෙන් මොව්හු වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැඳ වළට හෙළා එකෙණෙහි මරව. තළව ආදීන් විවිධාකාරයෙන් නපුරු හඬ නගමින් ඔවුනතුරෙහි හොඳ හොඳ මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි.
අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවහු සතුරන් අතට පත්වූයෙමු. දුර්වලයන් මරණ සැටි බලව.
එහි ඉංඝ චෝදනාර්ථයේ නිපාතයකි. නිසාමෙහි තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. ඉමෙ නූන අරඤ්ඤස්මිං ආදී වූ ගාථා දෙකහමාරක අර්ථ සම්බන්ධය දතයුතුය. මද්රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමූහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවේලේම නසන්නහුය. දුෂ්ට මෘගයෙනියි කියමින් නිග්රහ කරමින් තිබුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොඳ හොඳ මුවන් නසත්. මොව්හු වනාහි ඒකාන්තයෙන් අපව අසභ්ය වචනවලින් නිග්රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ ඇතිකල්හිද අමත්තහත්ථත්ථගතා සතුරන් අතට පත්වූවාහු මේ දුබලයන් මරන සැටි බලව කියා මරණ බියෙන් හැඬීය.
ඕ තොමෝ ඔහුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි මහාසත්ත්වයන් අස්වසමින් මේ ගාථාව කීය.
තණහුලෙක ගින්න ගැඹුරු දිය ඇති මුහුද සෙයින් සතුරෝ තොප මැඩිය හැකි නොවෙත්. තෙපි එයම සිතව. මේ බලකායෙන් සෙතක් වන්නේ මැනවැ.
එහි අග්ගීව උදකණ්ණවෙ යම්සේ තණ ගිනිහුළ ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්යාත විශාල ජලකඳක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔහුව අමිත්තා නප්පසහෙය්යුං අභිභවනය නොකරත්. තදෙව ශක්රයා විසින් නුඹට වරයක් දී මහරජ නොබෝ කලකින්ම ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. තදෙව ත්වං විචින්තෙහි මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.
ඉක්බිති මහාසත්ත්වයෝ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස පන්සල් දොරටුවේ සිටියේය. ඒ කාරණය ප්රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක,
ඉක්බිති වෙසතුරු රජ පර්වතයෙන් බැසැ සිත දැඩි කොටගෙන පන්සල් දොර හුන්නේයැ.
එහි දළ්හං කත්වාන මානසං අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි සිත දැඩිකොට හුන්නේය.