කුමාර කාණ්ඩය
ජූජකයාද අච්චුත තාපසයා විසින් කියන ලද මාර්ගයෙන් ගොස් සතරැස් පොකුණ වෙතට පැමිණ මෙසේ සිතීය. අද බොහෝ සවස් විය. දැන් මද්‍රිදේවිය වනයෙන් එන්නීය. කාන්තාවෝ වනාහි දානයට විරුද්ධ වූවෝ වෙති. හෙට ඇය වනයට ගිය කල්හි අසපුවට ගොස් වෙසතුරුගෙන් දරුවන් ඉල්වා ඇය පැමිණෙන්නට පළමු දරුවන් රැගෙන නික්ම යන්නෙමි. ඉක්බිති එයට නුදුරෙහි එක් කඳුගැටයකට නැග පහසුතැනක හොත්තේය. එදා රාත්‍රියේ මද්‍රිදේවිය සිහිනයක් දුටුවාය. මෙබඳු සිහිනයක් විය. එක් කාලවර්ණ පුරුෂයෙක් කසාවන් රෙදි දෙකක් හැඳ දෙකන්හි රතුමාලා පැළඳ ආයුධ ගත් අත් ඇතිව තර්ජනය කරමින් අවුත් පන්සලට පිවිස මද්‍රිදේවිය ජටාවෙන් අල්ලාගෙන ඇද බිම හෙළා හඬා වැලපෙද්දී ඇගේ ඇස්දෙක ගලවා අත්දෙක කපා පපුව පළා ලේ බිඳු වගුරුවමින් හෘදයමාංශය ගෙන නික්ම ගියේය. ඇය පිබිද බියෙන් තැතිගත්තී මා විසින් පවිටු සිහිනයක් දකින ලදී. වෙස්සන්තර සමානව සිහින විස්තර කරන්න වෙන කෙනෙක් නැත. ඔහුගෙන් විචාරන්නෙමියි සිතා පන්සලට ගොස් මහා සත්ත්වයන්ගේ පන්සල් දොරට තට්ටු කළාය. මහාසත්ත්වයෝ මේ කවරෙක්දැයි ඇසීය. ස්වාමීනි, මම මද්රියයි. සොඳුර, අපගේ පොරොන්දුව කඩකර කුමක් නිසා විකාලයේ මෙහි ආවෙහිද? ස්වාමීනි කෙලෙස් සිතකින් පැමිණියා නොවෙයි. තව ද මා විසින් පවිටු සිහිනයක් දක්නා ලදී. එසේනම් මද්‍රිය කියව. ඇය තමා විසින් දුටු අයුරින්ම පැවසුවාය.
මහාසත්ත්වයෝ සිහිනය පරීක්ෂාකර බලා මාගේ දාන පාරමිතාව සම්පූර්ණ වන්නේය. හෙට මා වෙත යදියකු පැමිණ දරුවන් ඉල්වන්නේය. මද්‍රි දේවියව සනසා පිටත්කර හරින්නෙමියි සිතා මද්‍රිය, නරක සයනය නිසාත් නරක ආහාර නිසාත් ඔබගේ සිත අවුල් වූයේ වෙයි. බිය නොවන්නැයි මුලාකර, අස්වසා පිටත්කර හැරියේය. ඇය රාත්‍රිය පහවූ කල්හි, සියළු වැඩ නිමවා දරුවන් දෙදෙනා වැළඳගෙන හිස සිඹ, අද මා විසින් නරක සිහිනයක් දකින ලදී. දරුවෙනි, ප්‍රවේශම් වන්නැයි අවවාද දී ස්වාමීනි, දරුවන් හොඳින් බලාගන්නයැයි මහාසත්ත්වයන්ට දරුවන් භාරදී පැස ආදී උපකරණ රැගෙන කඳුළු පිසමින් මුල් පලාඵල සඳහා වනයට පිවිසියාය. ජූජකයාද දැන් මද්‍රිදේවිය වනයට යන්නට ඇතැයි කඳුගැටයෙන් බැස අඩිපාර දිගේ අසපුවට ගියේය. මහාසත්ත්වයෝ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රත්පිළිමයක් මෙන් හිඳ දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයකු මෙන්, සුරාසොඬකු මෙන් ඔහු එනමග බලමින් සිටියේය. දරුවෝ ද ඔවුන්ගේ දෙපා ළඟ සෙල්ලම් කරත්. ඔහු මගබලමින් සිටින්නේ බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන ධුරය ඔසවන්නාක් මෙන්, මෙහි එව බ්‍රාහ්මණය කියා සතුටට පත්වූයේ ජාලිය කුමාරයා අමතා මේ ගාථාව කීය.
ජාලිය, නැගී සිටින්න. පෙරගමන් කරන්න. පැරණි දසුනක් මෙන් පෙනේ. බමුණකු ලෙස පෙන්නේ. මගේ සිත සොම්නසින් පිරේ.
එහි පොරාණං විය යනු පෙර ජයතුරා නුවර නොයෙක් දිසාවන්ගෙන් යාචකයන්ගේ පැමිණීම මෙන් අදද යාචකයන්ගේ පැමිණීමක් දක්නට ලැබේ. නන්දියො මාභිකීරරෙ මේ බමුණා දුටු වේලාවේ පටන් මාගේ සිතෙහි සොම්නස පැතිරි යයි. ග්‍රීෂ්මයෙන් පීඩිත වූවකුගේ හිසට සිහිල්පැන් කල දසදහසක් වත්කරන්නාක් මෙන් විය.
එය අසා කුමාරයා මෙසේ කීය.
පියාණෙනි, මම ද දකිමි. යමෙක් බමුණකු මෙන් පෙනේ ද ඔහු යදියකු ලෙසින් එයි. හේ අපට අමුත්තෙක් වන්නේය.
මෙසේ ද කියා කුමාරයා ඔහුට ගරුසත්කාර දක්වන්නේ අසුනින් නැගිට බ්‍රාහ්මණයාට පෙරගමන්කොට පිරිකර ගන්නටදැයි ඇසීය. බ්‍රාහ්මණයා ඔහුව බලා මේ වෙස්සන්තරගේ පුත්‍රයා වූ ජාලිය කුමාරයා නම් වන්නේ යැයි මුලසිටම එරුසවචනයෙන් කථා කරන්නෙමියි සිතා ඉවත්වන්න ඉවත්වන්න කියා අසුර ගැසීය. කුමාරයා ඉවත්ව ගොස් මේ බ්‍රාහ්මණයා අතිශයින් ඵරුෂය. කුමක් නිසාදැයි ඔහුගේ ශරීරය බලන්නේ අටළොස් පුරුෂ දෝෂයන් දුටුවේය. බ්‍රාහ්මණයාද බෝසතුන් වෙතට පැමිණ පිළිසඳර කථා කරමින් කීය.