මහාවන වර්ණනාව
ඒ ජූජක බමුණා යන්නේ අච්‍යුත තවුසා දිටී. බමුණු ඔහු දැක තවුසා සමග පිළිසඳර කථා කළේය.
කිම, භවතා නිරෝගීද, භවතාට දුකක් නැද්ද? කිම වනමුල් ඵලාඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම මුල් හා පලවැල බොහෝ ඇද්ද,
කිම ඔබට මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝ ද අල්පවැ සිටිත්ද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?
එහි භාරද්වාජො යනු ජූජකයා. අප්පමෙව ස්වල්පමයැ. හිංසා ඔවුන්ගේ වසඟවීමෙන් තොපට විහිංසාය.
තාපසයා කීය.
බමුණ, මට රෝග නැත. තවද මට දුක්ද නැත. වනමුල් එලවලින් ජීවත්වෙමි. මුල් හා පලවැල බොහෝය.
තවද මැසිමදුරුවෝද දීඝ ජාති සර්පයෝ ද අල්පමයැ. චණ්ඩ මෘගයන් සිටින වනයේ මා හට හිංසාවක් නැත.
අවුරුදු බොහෝ ගණනක් අසපුවේ වසන මට උපන් සිත්කළු නොවන රෝගයක් නුදුටිමි.
බමුණ, ඔබට යහපත් ගමන් වේවා. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවනය කරන්න. පන්සල ඇතුළට පිවිසෙන්න.
බමුණ, තිඹිරි පලය, පියල්පලය, මිහිරි කටු එරමිණියයැ. දඬුඵල් බෑ මීයෙකැ යන මේවා මෙහි ඇත. යහපත් යහපත් දේ වළඳන්න.
මේ පැන්ද සීතලය. ගල්කුසින් ගලා ආ ඔයෙන් ගෙනෙන ලදය. බමුණ, ඉදින් තෙපි රිසියවු නම් එයින් ගෙන පානය කරව.
ජූජකයා කීය.
යමක් තොප විසින් දෙමියි කීවේනම් ඒ දෙන ලදැමූයි වේවා. මා විසිනුදු පිළිගන්නා ලදමැයි. සියල්ල පඩුරු කරන ලදය. සඳමහ රජුගේ ප්‍රිය පුත්‍රයා සිවීන්ගෙන් වෙන්ව වසන බව නොදහුද? මම ඔහු දක්නට ආමි. ඉදින් දන්නේ නම් මට කියන්න.
එහි තමහං දස්සනමාගතො මම ඔහු දැකීමට ආවෙමියි තාපසයා කීය.
භවතා සිවිරජ දකින්නට එන්නේ පින් පිණිස නොවෙයි. ඔබ රජුගේ දේවිය පතාගෙන ආවේ වන. කෘෂ්ණජිනා දාසියකොට ජාලිය දාසයාකොට ගන්නට රුචිවනැයි හඟිමි.
නොහොත් මවය. දෙදරුය යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයේ වනැයි හඟිමි. කොළ බමුණ, ඕ හට භෝග නැත. ධන ධාන්‍යද නැත.
එහි න තස්සභොගා එම්බා බ්‍රාහ්මණය, වනයේ වසන ඒ වෙස්සන්තර හට භවභෝග සම්පත් නැත. ධනං ධඤ්ඤඤ්ච ධන ධාන්‍යයද නැත. දුප්පත්ව සිට ජීවත්වෙයි. ඔහුගේ සමීපයට ගොස් කුමක් කරන්නෙහිද?
ඒ අසා ජූජකයා මෙසේ කීය.
මම භවත්හු විසින් නොකිපිය යුතු කෙනෙක් වෙමි. මම කිසිවක් ඉල්ලන්නට නොආමි. ආර්යයන්ගේ දැක්ම යහපති. ඔවුන් හා විසීම හැමදා සුවදායකයැ.
සිවි මහරජු යම් දවසෙකැ සිවීන් විසින් රටින් නෙරපන ලදද ඒ දවස් පටන් හේ මා විසින් නුදුටුවිරූය. එබැවින් මම ඔහු දක්නට ආමි. ඉදින් දනුනම් මට කියව.
මෙසේ කියා ඇත. එම්බා තාපසය, මම නුඹ විසින් නොකිපිය යුත්තෙක් වෙමි. මෙපමණකින් මට වැඩක් නැත. මට වනාහි වෙස්සන්තරගෙන් කිසිවක් ඉල්වනු කැමැත්තේ නොවෙමි. උතුමන්ගේ දැකීම යහපත්ය. මොවුන් සමග විසීමද සැපතකි. මම ඔහුගේ ඇදුරු බමුණා වෙමි. යම්කලෙක සිවීන් විසින් නෙරපන ලද්දේ ද එතැන්පටන් මා විසින් නොදකින ලද්දේය. ඒ නිසා මම ඔහු දැකීමට ආවෙමි. ඔහු වසන තැනක් දන්නේ නම් මට කියන්න.
ඔහු ඒ බමුණාව විශ්වාස කොට වේවා! මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගතකරන්නයැයි පලාඵල ආදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නේ අත දිගුකර මෙසේ කීය.
බමුණ, යම්තැනෙක වෙසතුරු රජදරුවන් සමග වාසය කෙරේද, තෙල පෙනෙන පර්වතය ගන්‍ධමාදන නම් වේ.