සුළුවන වර්ණනාව
චේත පුත්‍රයා බ්‍රාහ්මණයා අනුභව කරවවා ඔහුට මගට අවශ්‍ය දේ ලෙස මී පිරූ ලබුකබලද පිසන ලද මුවගාතය ද දී මගසිට දකුණු අත ඔසවා මහාසත්ත්වයන් සිටින ඉසව්ව කියමින් මෙසේ කීය.
බමුණ, යම්තැනෙකැ වෙසතුරු රජදරුවන් හා සමග වාසය කරයිද, අර පෙනෙන ගල ඒ ගන්‍ධමාදන පර්වතයයි.
ඒ රජ උතුම් තවුස් වෙස්ද දෙහෙටිල්ල ද ගිනිපුදන හැන්ද ද දළමඩුලු ද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම කොළ ඇතිරියෙහි හොවි. ගිනිදෙවියා පුදයි.
තෙල නිල්වන් වූ නොයෙක් ඵල දරන වෘක්‍ෂයෝ නැඟීසිටි වලාකුළු මෙන් නිවන් අඳුන් කුළු මෙන් පෙනෙයි.
දැවයැ. අසුයැ. කිහිරියැ. සල්යැ. කොළොම්යැ. මාළුවායැ යන වෘක්‍ෂයෝ එක්වරක් මැ පානය කළ රාසොඬුන් මෙන් පවතිත්. වෙවුළති.
වෘක්‍ෂ ශාඛා මතුයෙහි සියොතුන්ගේ හඬ දිව්‍ය ගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු රංචු හා කෙවිලි සමූහයා ගසින් ගසට පනිති.
යම් පර්වතයකැ වෙසතුරු රජදරුවන් සමග වාසය කෙරේද, එහි පවනින් සැලෙන ශාඛා පත්‍රයෝ තමන් හැරදමා යන්නවුන් කැඳවනුවන් වැන්න. තමා කරා එන්නහු රමණය කරනුවන් වැන්නහ. නිතිවසන දනන් තුටු කෙරෙති.
එරජ එහි උතුම් තවුස් වෙස්ද දෙහෙටිල්ල ද ගිනිපුදන හැන්ද ද දළකඩුලු ද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම හොවී. ගිනිදෙවියා නමදී.
එහි ගන්‍ධමාදනො යනු මේ ගන්‍ධමාදන පර්වතය මෙහි පාමුලින් උතුරු පැත්තට යන්නේ එම ශක්‍රයා විසින් දෙන ලද අසපුවේ වෙස්සන්තර රජු දරුවන් සමග වාසය කරයි. ඔහුව දකින්නෙහි යන අර්ථයි. බ්‍රහ්මණං වණ්ණං උතුම් වූ පැවිදි වෙස්. ආසදඤ්ච මසංජටං ඇද ගෙඩි කඩාගැනීම සඳහා දෙහෙටිල්ලද ගිනිපුදන හැන්දද දළමඩුලු ද දරනුයේ චම්මවාසී අඳුන් දිවිසම් දරන්නේ. ජරාසෙති පොළවෙහි කොළ ඇතිරියෙහි නිදයි. ධවස්ස කණ්ණඛදිරා දැවයැ. අසුයැ. කිහිරියැ. සකිම්පීතාව මාණවා එක්වරක් පමණක් පානය කළ මත්සොඬුන් මෙන්. උපරිදුමපරියායෙසු ගස් අතුවල සංගීතියොව සූයරෙ නොයෙක් පක්‍ෂීන්ගේ ඇසෙන දිව්‍යමය සංගීතරාවයක් මෙන් අසත්. නජ්ජූහා විළිකුළු පක්‍ෂීන්. සම්පතන්ති නාදකරමින් හැසිරෙත්. සාඛාපත්තසමෙරිකා අතුවල කොළවලින් වැසී සිට නාදකරන පක්‍ෂීහු වාතයෙන් සෙලවෙන කොළඅතු මෙනි. ආගන්තු ආගන්තුක ජනයා. යත්‍ථ යම් ආශ්‍රමයක වෙස්සන්තර වාසය කරයිද එහි ගොස් මේ ආශ්‍රමපදය දකින්නෙහි.
එයින් මතුදු ආශ්‍රමය වණනා කරමින් මෙසේ කීය.
අඹ ද ගිවුළු ද පනා ද සල්ද දඹ ද බුළු ද අරළු ද ඇඹුලු (නෙල්ලි) ඇසතු ද ඩෙබර ද
එහි රන්තිඹිරි රුක් ද නුග ද හෙළකිඳි ඇසතු ද ඇත. මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පල ද ඇත. කිරිපලුද එල්ගෙඳ ද, මී වෑහෙන මිදි ද ඇත. ඒ වෙනෙහි නිවැසි මී තුමූ මැ ගෙන බුදිති.
ඒ වනයෙහි සමහර අඹ රුක් කෙතෙක් මල් පිපී තිබේ. ඇතැම් අඹරුක් අමුපල ද විලිකුන් පලද ඇතිවැ සිටිති. ඒ අමු විලිකුන් ඵල දෙවර්ගයම මැඩියන් වැන්න.