ජූජක කාණ්ඩය
එකල්හි කලිඟු රටේ දුන්නිවිට්ඨ බ්‍රාහ්මණ ගමෙහි වැසි ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සඳහා ගියේය. ඔහු ආපසු ඒමට ප්‍රමාදවන කල්හි බ්‍රාහ්මණ ගෙදර අය කහවණු වියදම්කොට පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබඳව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තතාපා නම් දුවණියව ඔහුට දුන්නේය. ඔහු ඇයව රැගෙන කලිඟු රටේ දුන්නිවිට්ඨ ගමට ගොස් ජීවත්විය. අමිත්තාපාව බ්‍රාහ්මණයාට හොඳින් සළකන්නීය. ඉක්බිති අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලී බව දැක මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය. නුඹලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නහුදැයි තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරති. ඒ කාන්තාවෝ මේ අමිත්තතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිදී රැස්වී ඇයට නින්දා කළහ. මේ කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
කලිඟුරට වැසි ජූජක නම් බමුණෙක් විය. ඕ හට අමිත්තතාපා නම් වූ තරුණ අඹුවක් වූවාය.
එගම්හි කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගියාහු ඒ අමිත්තතාපාට මෙසේ කීවාහ. ඒ ස්ත්‍රීහු කුතුහලයෙන් මෙන් පිරිවරාගෙන ඇයට පරිභව කරන්නට වූහ.
මෙවර තරුණ බවක් ඇති කල්හි යම්කෙනෙක්තී මේ ජරපත් මහල්ලාට දුන්නහුද තීගේ ඒ මව සැතිරියකියි සිතම්භ. තිගේ ඒ පියා සතුරෙකැයි හඟිම්හ.
මෙවන් ළදරු බව ඇති කල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්නුද තිගේ ඒ නෑයෝ රහසිගතව තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.
[missing trans]
මෙවන් සොඳුරු ළදරු බව ඇති කල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ රහසිගතවැ තිම දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.
මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ රහසිගතවැ තිට පව්කම්ක මන්ත්‍රණය කළාහු වන.
මෙවන් තුරුණුබව ඇති කල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ එකලා වැහිඳ හිඳ තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.
මෙවන් ළදරුබව ඇති කල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බඳු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තීගේ ජීවිතයට වඩා මරණය උතුම්ය.
කල්‍යාන වූ සොඳුරිය, මෙවර තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්නුද ඒ තීගේ මවුද පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.
මෙවන් දහර බව ඇති කල්හි ඒ යම්කෙනෙක් මහල්ලාට දුන්නුද ඒ තී විසින් නවමී යාගය නපුරුකොට පුදන ලද වන. තී විසින් ගිනිපූජා නොකරන ලද්දේවන.
මෙවන් තරුණ බවක් ඇති කල්හි යම්බඳු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඒ තොප ලෝකයේ බඹසරෙහි නියැලි සිල්වත්, බොහෝ ඇසූපිරූ තැන් ඇති මහණ බමුණන්ට ආක්‍රෝෂ කළෙහි වන.
නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි. යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.
මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී.
යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිවැ හිඳ රහස් කියද්ද එසඳ ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයෙන් නසිති.
තෝ ළදැරියෙහි රූමත්ය. පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න. නෑයන්ගේ ගෙයි වසන්න. මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද?
එහි අහූ යනු විය. වාසිකලිංගෙසු කලිඟු රටේ දුන්නිවිට්ඨ ගම්වැසි. තා නං තත්‍ථගතා වොචුං ඒ ගමෙහි ස්ත්‍රීහු ගඟෙන් දිය ගෙනයන්නාහු ඇයට මෙසේ කීවාහුය. ඊයොනං ඒ ස්ත්‍රීහු වෙන කිසිවක් නොකීවාහ. ඉක්බිති ඇයට නින්දා කළහ. කුතූහලා කුහුළින් යුක්ත වූවාහු මෙන් වී. සමාගනත්‍වා හාත්පසින් වටකොට. දහරියං ලාබාල තරුණිය සෞභාග්‍ය බවට පත්. ජිණ්ණස්ස ජරපත් මහල්ලාගේ ගෙයි. දුය්‍යිට්ඨං තෙ නවමියං ඔබ විසින් නවමියාගය වැරදි ලෙස කළා විය යුතුයි. ඔබගේ යාගපිණ්ඩය පළමුවෙන් මහළු කවුඩකු විසින් ගන්නා ලද්දේ වන්නේය. දුය්‍යට්ඨා තෙ නවමියා යයිද පාඨයකි. නුඹ විසින් නවමී යාගය වරදවා කරන ලදැයි යන අර්ථයි. අකතං අග්ගි හුත්තකං ඔබ විසින් ගිනි දෙවියන් පිදීමද නොකළා වන්නෙහි. අභිසපී ආක්‍රෝස කළේය. ඔබගේ ඒ පාපයාගේ මේ ඵලයයි. යන අදහසින් කීවාහුය. ජග්ඝිතම්පි නසොභති කඩදත් ඇති මුව විවරකර සිනාසෙන මහල්ලාගේ සිනහවද නොහොබනේය. සබ්බෙසං සොකා නස්සන්ති මොවුන්ගේ මේ සියළු ශෝකයෝ නැතිවන්නාහ. කිං ඡිණ්ණො මේ ජරපත් මහල්ලා කෙසේනම් නුඹව පංචකාම ගුණයන්ගෙන් රමණය කරන්නේද?
ඇය ඔවුන් ඉදිරියේ අපහාස විඳ දියකළය ගෙන හඬමින් ගෙට ගොස්, සොඳුරිය අඬන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට දන්වමින් මේ ගාථාව කීවාය.
බමුණ, තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගඟට නොයමි.
අර්ථය : බමුණ තොපගේ මහළුබව නිසා ස්ත්‍රීහු මට අවමන් ඒ නිසා මෙතැන් පටන් ඔබට ජලය ගෙන ඒමට ගඟට නොයන්නෙමි.
ජූජක තෙමේ කීය.
තෙපි මට මෙහෙ නොකරව. මට දියගෙන ඒම නොකරන්න. මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙව.
එහි උදකමාභිස්සං යනු මම දිය ගෙනෙන්නෙමි.