වන ප්‍රවේශ කාණ්ඩය
ඔව්හු ඉදිරි මාර්ගයෙහි යන්නාහු මිනිසුන් දැක වංකගිරිය කොහේදැයි අසන්නාහු තව දුරයැයි මිනිස්සු කියත්. එනිසා කියන ලදී.
අනුමඟද පෙරමඟද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නාහු නම් වංකගිරිය කොහිදැයි ඔවුන් අතින් මාර්ගය විමසන්නෙමු.
ඒ මිනිස්සු ඒ මඟැ අප දැක ශෝකරාවයෙන් හැඬූහ. වංකගිරිය දුර යැයි ඔව්හු දුකින් දන්වත්.
එහි මග දෙපස නොයෙක් පලබරින් යුත් ගස් දැක දරුවෝ කෑ ගසත්. මහාසත්ත්වයන්ගේ අනුභාවයෙන් පලබර වූ ගස් නැමී අත් ළඟට එත්. එයින් මනාව පැසුනු ගෙඩි කඩාගෙන ඔවුන්ට දෙයි. එය දැක මද්‍රිදේවිය පුදුමය ප්‍රකාශ කළාය. ඒ නිසා කියන ලදී,
ඉදින් දරුවෝ මහවනයෙහි පලගත් ගස් දකිත්ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස හඬත්.
වැළපෙන දරුවන් දැක කම්පා වූ මියුරු ඵලයෙන් යුත් මහා වෘක්‍ෂයෝ තුමූ මැ නැමී දරුවනට සමීප වෙති.
සියළු අඟපසඟින් හොබනා මද්‍රි දේවිය නොවූවිරූ ලොමුදහගන්වන පුදුමය දැක වෙසතුරු රජුගේ තෙදින් වෘක්‍ෂයෝ තමන්ම නැමුනාහ. මේ වූ කලී ලෝකයේ අපූර්ව වූ ලොමුදහ ගන්වන අසිරියෙක්මැයි කියා සාධුකාර පැවැත්වූහ.
ජයතුරා නගරයෙන් රුවන්ගිරිතල පර්වතයට යොදුන් පසකි. එයින් කොන්නිමාර නම් වූ නදියට යොදුන් පසකි. එයින් ආරඤ්ජරගිරි පර්වතයට යොදුන් පසකි. එයින් දුන්නිවිට්ඨ බ්‍රාහ්මණ ගමට පස්යොදුනකි. එතැනින් මා තුල නගරයට දස යොදුනකි. මෙසේ ඒ මාර්ගය ජයතුරා නගරයේ සිට තිස්යොදුනකි. දෙවියෝ මාර්ගගය හැකිලූහ. එක් දවසකින්ම ඔව්හු මා තුල නගරයට පැමිණියාහ. එබැවින් කියන ලදී.
දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මඟ හැකිලූහ. නික්මුණු දවසේම චේතිය රටට පැමිණියාහ.
යන්නාහු වනාහි ජයතුරා නගරයෙන් උදේ ආහාර වේලාවේ නික්ම සවස්භාගයේ චේතිය රටේ මා තුළ නගරයට පැමිණියාහ. මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ වදාළහ;
ඔව්හු දිග්මඟ ගොස් සමෘද්ධ වූ විපුල වූ බොහෝ වූ මස් රස සහිත ආහාර ඇති ජනපදවලින් යුත් චේතිය රටට පැමිණියහ.
[missing trans]
චේතිය රටේ කාන්තාවෝ ස්ත්‍රී ලක්‍ෂණයෙන් පරිපූර්ණ මද්‍රිදේවිය ආවා දැක පිරිවරා ගත්හ. මේ බිසෝ ඉතා සියුමැලිය. එසේ නමුත් පා ගමනින් යෙයි.
මේ බිසෝ පෙර දවස් හිදොළුවෙන්ද රන්සිවි ගෙයින්ද ඇවිදැ ඒ මද්‍රිදේවි අද වනයේ පා ගමනින්ම යයි.
එහි ලක්ඛණමාගතං සියළු අංග ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ ආවා වූ මද්‍රි දේවිය. පරිධාවති මෙසේ සියුමැලි වී පයින්ම යයි. පරියායිත්‍වා ජේගුත්තර නගරයේ හැසිර. සිවිකාය රන්සිවි ගෙයින්.
මහජනයා ඒ මද්‍රි දේවියද වෙස්සන්තර රජ ද දරුවන්ද අනාථයන් ලෙස පැමිණ ඇති බව දැක ගොස් රජුට සැළකළහ. හැටදහසක් රජවරු හඬා වැළපෙමින් ඔහු සමීපයට පැමිණියාහ. ඒ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ වදාළහ;
චේතිය රටේ රජවරු ඒ වෙස්සන්තර රජු දැක වැළපෙමින් ආවාහ. දේවයිනි. කිම නිරෝගීද? දුකක් නැද්ද? කිම තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද?
මහරජතුමනි! ඔබගේ සේව්නාව කොහිද? ඔබගේ රථසමූහය කොහිද? කිම සතුරන් විසින් යටකරන ලද ද? අසුන් නැතිව රිය නැතිවැ මෙරටට පැමිණියහුද?
එහි දිස්වා දුරදීම දැක. චෙතපාමොක්ඛා චේතිය රටේ රජවරු. උපාගමුං ළඟාවූහ. කුසලං නිරෝගීද? අනාමයං දුකක් නැතියේද? කො තෙ බලං ඔබගේ බලසේනාව කොහිද? රථමණ්ඩලං ආවා වූ අලංකාර කරන ලද රථය කොහිදැයි අසත්. අනස්සකො අශ්වයන් නැත්තේය. අරථකො රථයක් නැත්තේය. දීඝමද්ධාන මාගතො දිගමගක් ආවේය. පකතො යටත් කරන ලද්දේ ද?
ඉක්බිති ඒ රජවරුන්ට මහාසත්ත්වයෝ තමන්ගේ පැමිණි කාරණය පවසන්නේ මෙසේ කීය.
සබඳිනි, මට රෝග නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකෙක් නැත.
යම්හෙයකින් මම රියහිස් බඳු දළ ඇති බර උසුලන. සියලු යුද්ධවලදී නියම භූමිය හඳුනන සම්පූර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි.
රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩිනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන් ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද?
ඒ කාරණයේලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීයැ. එබැවින් වංකගිරියට යමි. මිත්‍රවරුනි, අපි වනයේ යම්තැනක වසමෝ නම් එහි අපට සුදුසු පෙදෙසක් දැන කියව.
එහි තස්මිං මෙ ඒ කරුණ නිසා මට සිවිරට වැස්සෝ කිපුණාහ. උපහතො මනො පලුදු වූ සිතැත්තේ, කිපුණේ මා රටින් නෙරපා දැමීය. යත්‍ථ යනු යම් වනයක. අපි වසන්නෙමුද, එහි අපට යෝග්‍ය තැනක් දන්වන්නැයි කීය.