දාන කාණ්ඩය
ඵුසති දේවියද මාගේ පුත්රයා පිළිබඳ කටුක ආරංචියක් පැතිරිණ. කුමක් කරන්නේදැයි ගොස් දැනගන්නෙමියි ඇය වෙස්වලාගෙන ගොස් සිරියහන් ගබඩා දොරටුව ළඟ සිටියා ඔවුන්ගේ ඒ කථා සල්ලාපය අසා කරුණාව දනවන හැඬිල්ලක් හැඬුවාය. ඒ බව ප්රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
පුතාය, ලේලිය යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසති දේවී තොමෝ බැගෑ ලෙස හැඬූය.
නිවැරදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිටකෙරෙත්ද? මා විසින් විස අනුභව කරන ලද්දේ නම් හෝ ප්රපාතයෙන් පනින්නේ නම් හෝ ගෙලවැල ලා මැරෙන්නෙම් නම් හෝ එයට වඩා උතුම්ය.
ත්රිවේදයෙහි ද නානා ශිල්පයන්හිද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නොමසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් රටින් පිට කෙනෙක්ද?
මව්පියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් පිට කෙරෙත්ද?
රජුට හිතැති දෙවියනට හිතැති නෑයනට හිතැති යහළුවනට හිතැති සියලු රටවැසියනට හිතැති නිවැරදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත්ද?
එහි රාජපුත්තී ඵුසති නම් වූ මදුරජ දියණිය. පපතෙය්යහං මම ප්රපාතයෙන් පනින්නෙම්ද, රජ්ජුයා බජ්ඣමිය්යාහං ගෙල වැළලා මම මැරෙන්නෙමි. කස්මා මෙසේ නොමළ මා කවරනම් හේතුවකින් නිවැරදි මාගේ පුත්රයාව පිටුවහල් කරන්නෙම්ද? අජ්ඣායකං ත්රිවේදයෙහි පරතෙරට ගිය නානා ශිල්පයන්හිද නිමාවට පත්.
මෙසේ ඇය කාරුණිකව හඬා පුතුවද ලේලියද අස්වසා රජු සමීපයට ගොස්.
නිවැරදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත්ද, ඔබගේ දේශය මැස්සන් හැරදමා ගිය මීවදයක් මෙන්ද ගිලිහී බිම වැටුනු අඹ මෙන්ද වන්නේය.
මහරජ, දිය සිඳුනු විලෙක පියාපත් හැලුණු හංසයකු මෙන් ඇමැතියන් විසින් හැරදැමූ තෙපි හුදෙකලාව පීඩිත වන්නාහුය.
මහරජ, ඔබට ඒ කරුණ කියමි. ප්රයෝජනය ඉක්ම නොයේවා. සිවිරට වැසියන්ගේ බසට නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරන්න.
එහි පලාතානි යනු මැස්සන් හැරදමා ගිය මීවදයක් මෙන්. පතිතා ජමා බිම වැටුණා වූ අඹගෙඩි මෙන් මෙසේ මගේ දරුවන් රටින් නෙරපා දැමූවිට දේවයන් වහන්ස, ඔබගේ රට සැම අයුරකින් අසාධාරණ වන්නේ යැයි දක්වයි. නික්ඛීණ පත්තො පියාපත් හැලුණු. අමච්චෙහි මාගේ පුත්රයා හා එක්දින උපන් හැටදහසක් ඇමැතියන් අත්හරින ලද. විහීයසි පීඩාවට පත්වන්නෙහිය. සිවීනං වචනා සිවිරට වැසියන්ගේ වචනයෙන් ඒ නිවැරදි පුත්රයාව පිටුවහල් නොකරන්න.
එය අසා රජු මෙසේ කීය.
සොඳුර, මම සිවිරට වැස්සන්ගේ ධජයක් බඳු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවහල් කරමි. සිවීන්ගේ පරපුරේ ධර්මතාවයට ගරු කරමි. මාගේ පුත්රයා වනාහි ප්රාණයටද වඩා මට අතිශයින් ප්රියය.
සවිස්තරාර්ථය. සොඳුර, මම සිවිරට වාසීන්ගේ ධජය වූ වෙස්සන්තර කුමාරයාව හික්මවන්නේ පිටුවහල් කරන්නේ සිවිරටෙහි පැරණි රජවරුන්ගේ පාරම්පරික ධර්මතාවය කඩකිරීම කෙසේ කරම්ද? ඒ නිසා ඉතින් මට මාගේ ප්රාණයට වඩා ප්රියතම වූ ඔහුව පිටුවහල් කරන්නෙමි.
එය අසා දේවිය හඬා වැළපෙමින් මෙසේ කීවාය.
පෙර යමකුගේ ධජය අග පිපුණු මල් ඇති කිණිහිරි ගස් මෙන් යන්නහු අනුව යෙත් ද, හේ අද හුදෙකලා වැ යන්නේය.
පෙර යමෙකුගේ ධ්වජාග්රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනුවැ යේද හේ අද වනාහි හුදෙකලාව යන්නේය.
පෙර යමකුගේ ඇතුන් ආදිකොට ඇති සෙනග පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නහු අනුව යෙද්ද, හේ අද හුදෙකලාව යෙයි.
පෙර යමෙකුගේ ඇතුන් ආදිකොට ඇති සෙනග පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.
යමකුගේ පෙර ඉඳුගොව්වන්ගේ පැහැයට බඳු ගන්ධාර රටෙහි සාදන ලද රතුකම්බිලි පෙර වූ සෙනග යන්නහු අනුවැ යෙද්ද හේ අද හුදෙකලාව යයි.
යමෙක් පෙර ඇතුපිටින්ද දෝලාවෙන් ද රියෙන්ද ගියේ නම් ඒ වෙස්සන්තර රජතෙමේ අද කෙසේනම් පයින් යයිද?
සඳුන් ගැල්වූ සිරුරු ඇති ගීතයෙන්, නැටුමෙන් පුබුදුවන වෙස්සන්තර රජ අද අඳුන්දිවි සමද පොරොවද තවුස් පිරිකර සහිත කදද කෙසේනම් ගෙන යන්නේද?
මහා වනාන්තරයට පිවිසෙන්නහුට කසාවන් වස්ත්ර හෝ අඳුන් දිවිසම් කවර හෙයින් ගෙන නොයද්ද, කවර හෙයින් වැහැරි නොබඳිත්ද?
රජවැ සිට පැවිදි වූවෝ කෙසේනම් වැහැරියෙන් කළ සිවුරු දරත්ද? කුසතණයෙන් කළ වැහැරි මද්රිදේවී කෙසේ හඳින්නීද?