හිමාලය වර්ණනාව
මෙසේ ඇය වර ලබාගෙන එතනින් චුත වූවා මදුරජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. උපදින්නේ වනාහි සඳුන්සුනු තැවරුණාක් බඳු සිරුරක් ඇතිව උපන් බැවින් ඇයට නම්තබන දිනයේ ඵුසති කියා නම්කළහ. ඇය මහත්සැප සම්පතින් වැඩී සොළොස්වයස් කල්හි අතිශයින් රූමත් වූවාය. ඉක්බිති සිවිමහරජ සංජයකුමාර නම් පුත්රයා සඳහා කැඳවාගෙන අවුත් ඔහුට සේසත් නංවා ඇයව සොළොස් දහසක් කාන්තාවන්ට ප්රධානකොට අගමෙහෙසුන් තනතුරේ පිහිටුවාලීය. ඒ නිසා මෙසේ කියා ඇත.
ඒ දෙව්ලොවින් චුත වූ ඒ ඵුසති තොමෝ ක්ෂත්රිය කුලයෙහි උපන්නා ජයතුරා නුවර සංජය කුමරු හා එක්වූවාය.
ඇය සංජය කුමරුට ප්රියමනාප වූවාය. ඉක්බිති ශක්රයා ආවර්ජනා කර බලන්නේ මා විසින් ඵුසති දේවියට දෙන ලද වරයන්ගෙන් වර නමයක් ඉෂ්ට වීයැයි දැක එක් උතුම් පුත්රයෙක් තවම ලැබුනේ නැත. එයද මැයට සමෘද්ධකර දෙන්නෙමියි සිතුවේය. එකල්හි මහාසත්ත්වයෝ තව්තිසා දෙව්ලොව වසති. ඔහුගේ ආයුෂද ගෙවීගියේ වන. ඒ බව දැනගත් ශක්රයා ඔහුගේ සමීපයට ගොස් දේවතාවනි, ඔබ මිනිස්ලොවට යායුතුයි. එහිද සිවිරජුගේ අගමෙහෙසිය වූ ඵුසති දේවියගේ කුසෙහි පිළිසිඳ ගන්නට සුදුසුයැයි ඔහුට මෙන්ම සෙසු හැටදහසක් චුතවීමට සිටින දේවපුත්රයන්ගෙන්ද පොරොන්දු ලබාගෙන තමන්ගේ ස්ථානයටම ගියෙ. මහාසත්ත්වයෝ ද එතනින් නික්ම එහි උපන්නේ සෙසු දිව්යපුත්රයෝ ද හැටදහසක් ඇමැතිවරුන්ගේ නිවෙස්වල උපන්නාහ. මහාසත්ත්වයන් කුසට ආ කල්හි ඵුසති දේවියට දොළදුක් ඇතිවී සිව්මහා නගර දොරටුවලත් නගර මධ්යයෙහිත් රජමැදුරේ දොරටුව ළඟ යන තැන්වල දානශාලා හයක් සාදවා දිනපතා හයලක්ෂයක් වියදම් කර දන් දෙනු කැමැති වූවාය.
රජු ඇයගේ ආශාව ගැන අසා නිමිති දන්නවුන්ගෙන් විචාරා මහරජ, දේවියගේ කුසෙහි දන්දීමෙහි ආශාකරන සත්ත්වයෙක් උපන්නේය. දන්දීමෙන් සෑහීමකට පත් නොවන්නේයැයි අසා සතුටු සිතැත්තේ කියූ අයුරින් දානය පිළියෙල කළේය. බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා කාලයේ පටන් රජුගේ ආදායම් ප්රමාණය අසීමිත විය. ඔහුගේ පිං බලයෙන් සියළු දඹදිව සියළු දඹදිව රජවරු ත්යාග එවත්. දේවිය මහත් සැපසම්පතින් යුතුව ගැබ්දරන්නී දසමස් පිරුණු කල්හි නගරය දකිනු කැමැති වූවා රජුට දැන්වූවාය. රජු නගරය දෙව්පුරයක් මෙන් සරසවා දේවිය උතුම් රථයකට නංවා නගරය ප්රදක්ෂිණා කරවීය. වාණිජ වීදියට පැමිණි කල්හි ඇගේ කර්මජ වාතයෝ සැලුනාහ. රජුට දැන්වූහ. ඔහු එම වීදියේම ඇයට තිඹිරිගෙයක් සූදානම්කර දුන්නේය. ඇය එහි පුතකු වැදුවාය. එබැවින් කියන ලදී.
ඵුසතී තොමෝ දසමසක් මුළුල්ලෙහි කුසින් දරා නුවර පැදකුණු කරන්නී වාණිජ වීදිය මැද කරවූ සූතිඝරයෙහි මා ප්රසූත කළාය.
මහාසත්ත්වයෝ මව්කුසින් නික්මෙන්නේ පිරිසිදුව ඇස් විවෘත කරගෙන නික්මුනේය. නික්මෙමින් මවට අත දිගුකර මෑණියනි දානයක් දෙමි. කිසිවක් තිබේය ඇසීය. ඉක්බිති ඕ තොමෝ ඔහුට දරුව, සිත් පරිදි දන් දෙන්නයැයි දිගුකළ අතෙහි දහසින් බැඳි පසුම්බියක් තැබුවාය. මහාසත්ත්වයෝ උම්මග්ග ජාතකයෙහි, මේ ජාතකයෙහි, අවසාන ආත්මභාවයේදී යන තුන් තැනක උපන් විගසම කථා කළේය. ඉක්බිති ඔහුට නම්තබන දිනයේ වෙළඳ වීදියේ උපන් බැවින් වෙස්සන්තර යැයි නම් කළහ.
එබැවින් කියන ලදී.
මාගේ නම මව්පසට අයත් නොවෙයි. පියපසටද අයත් නොවෙයි. යම්හෙයකින් වෙළඳ වීදියක උපන්නෙම්ද, වෙසතුරු නම් වීමි.
මොහුගේ උපන්දිනයේම වනාහි අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පූර්ණයෙන් ස්වේතවර්ණ වූ හස්ති පෝතකයකු ගෙනවුත් මගුල් ඇතුගේ තැන තබා ගියේය. ඒ මහාසත්ත්වයන් සඳහා උපන් බැවින් පච්චය යැයි නම්කළහ. රජු මහාසත්ත්වයන්ට බොහෝ උස ආදී දෝෂයන් හැර මිහිරි කිරි ඇති හැටහතරක් කිරිමවුන් යෙදවීය. ඔහු සමග උපන් හැටදහසක් දරුවන්ටද කිරිමවුන් ලබාදුන්නේය. හෙතෙම හැටදහසක් දරුවන් සමග මහත් සැපසම්පතින් වැඩෙයි. ඉක්බිති රජු ඔහුට ලක්ෂයක් වටිනා කුමාර පැළඳුම් කරවා දුන්නේය. හෙතෙම සතරපස් වයස් කාලයේ ඒ පළඳනා ගලවා කිරිමව්වරුන්ට දී නැවත ඒ තැනැත්තියන් විසින් ආපසු දෙනවිට ගත්තේ නැත. කිරිමව්වරු ඒ පුවත රජුට දැන්වූවාහ. රජතෙමේ මාගේ පුත්රයා විසින් දෙන ලද, මනා දීමනාව බ්රහ්මයා විසින් දෙන ලද්දක් මෙන් වේවායි වෙනත් පළඳනාවක් කරවාපීය. කුමාරයා එය ද දුන්නේය. හෙතෙම කුඩා කාලයේම කිරිමව්වරුන්ට නව වාරයක් පළඳනාව දුන්නේය.