9. පලාසී ජාතකය (229)
ගජග්ගමෙඝෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ‘පලාසී’ නම් පිරිවැජියා අරබයා වදාළ සේක. ඔහු වනාහි වාද කිරීම සඳහා මුළු දඹදිව පුරා ඇවිද කිසිම ප්රතිවාදියෙකු නොලැබ පිළිවෙලින් සැවැත්නුවරට ගොස් මා හා වාද කිරීමට සමත් කෙනෙකු ඇද්දැයි මිනිසුන්ගෙන් විචාළේය. මිනිස්සු, ඔබ වැනි දහසක් දෙනා සමග වුවද වාද කරන්නට සමත් වූ දෙපා ඇත්තවුන්ට අග්ර වූ මහාගෞතම වූ ධර්මයට අධිපති වූ පරවාද මඩින්නා වූ සර්වඥයන් වහන්සේ වැඩසිටිති. සියලු දඹදිව උපන්නා වූ පරවාද ඒ භාග්යවතුන් වහන්සේ ඉක්මවා යන්නට සමත් නොවේ. වෙරළට පැමිණ රළ බිඳෙන්නාක් මෙන් සියලු වාද උන්වහන්සේගේ පාමුවලට පැමිණ සුණු විසුණු වෙතියි බුදුගුණ කීවාහුය. පිරිවැජියා දැන් උන්වහන්සේ කොහිදැයි විචාරා, දෙව්රම් වෙහෙරේ යයි අසා දැන් උන්වහන්සේට වාදාරෝපනය කරන්නෙමියි මහජනයා පිරිවරන ලද්දේ දෙව්රම් වෙහෙරට යන්නේ, ජේත රාජ කුමාරයා විසින් නවකෝටියක් ධනය වියදම්කොට කරවන ලද ජේතවනාරාම දොර කොටුව දැක මේ ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ වාසය කරන ප්රාසාදයදැයි විචාරා මේ දොරටුව ළඟ කොටුව යයි අසා දොර කොටුව මෙසේ නම් වාසය කරන ගෙය කෙසේ විය හැකිවන්නේ දැයි අසා කඳකිළිය ප්රමාණ කළ නොහැකි යයි කී කල්හි මෙබඳු වූ ශ්රමණයන් වහන්සේ කෙනෙකු සමග කවරෙක් වාද කරත්දැයි එතැනින්ම පලා ගියේය. මිනිස්සු ඝෝෂා කරන්නෝ වී ජේතවනාරාමයට පිවිස සිටිවිට බුදුරජාණන් වහන්සේ විසින් උපාසකවරුනි! අකාලේ ආවේ ඇයිදැයි විමසන ලද්දේ ඒ ප්රවෘත්තිය කීවාහුය. බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! මොහු දැන් පමණක් නොව පෙරත් මගේ වාසස්ථානයෙහි දොරකොටුව දැක පලා ගියේයයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස ගන්ධාර රටෙහි තක්සලා නුවරෙහි බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්යය කරවූ සේක. බරණැස් නුවර බඹදත් රජ තෙමේ රජකම් කරවීය. ඔහු තක්සලා නුවර ගන්නෙමියි මහත් බලසේනාවක් සමග ගොස් නගරයට නුදුරෙහි සිට මේ ක්රමයට ඇතුන් යවව්, අශ්වයන් මේ විදියට යවව්, රථ මෙසේ යවව්, පාබල හමුදාව මෙසේ යවව්, මෙසේ දුවගොස් ආයුධවලින් පහර දෙව්. මේ විදියට ඝන වැසි වලාවක් මෙන් ඊතල වර්ෂාවක් වස්සවව්යි කියමින් සේනාවට අණ දෙමින්
ගජග්ගමෙඝෙහි හයග්ගමාලිහි, රථමිජාතෙහි සරාභි වස්සහි,
ථරුග්ගහා වට්ට දළ්හප්පහාරිහි, පරිවාරිතා තක්කසිලා සමන්තතො
ථරුග්ගහා වට්ට දළ්හප්පහාරිහි, පරිවාරිතා තක්කසිලා සමන්තතො
අභිධාවථා ච පතථා ච, විවිධ විනදිතාච දන්තිහි,
වත්ත තජ්ජ තුමුලො ඝොසො, යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතො
වත්ත තජ්ජ තුමුලො ඝොසො, යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතො
යන ගාථා දෙක කීවේය.
උතුම් ඇතුන් නමැති වළාකුලින්ද (මේඝයෙන් ද), අග්ර අශ්වයන් නැමති මල්මාලාවන්ගෙන්ද සර (ඊතල) නැමති වර්ෂාව ඇති රථ නමැති රළ පෙළින්ද කඩු මිටි ඇත්තා වූ වේගයෙන් හැසිර දැඩි පහර දෙන යෝධයන්ගෙන්ද තක්සලා නම් නගර හාත්පසින් වටකරන ලද්දේය.
නොයෙක් ආකාරයෙන් මහා නාද කරන්නා වූ තෙපි ඇතුන් සමග දුවව්, පනිව්. අද මහත් වූ ඝෝෂාවෙන් පවතීවා! ගොරවන්නා වූ (ගර්ජනා කරන්නා වූ) මේඝයාගේ මුඛයෙන් (වළාකුලින්) නික්මෙන විදුලියක් මෙන් දුවන්නාහු (දුවමින්) නුවර වහා වට කරව්.
එහි, ගජග්ගමෙඝෙහි යනු උතුම් වූ හස්තීන් (ඇතුන්) නමැති මේඝයෙන් (වළාකුලින්). කුඤ්චනාදයෙන් ගර්ජනා කරන මත් වූ උතුම් ඇතුන් නමැති වළාකුලින් යන අර්ථයයි. භයග්ගමාලීහි යනු උතුම් වූ අශ්වයන් නමැති මල්මාලාවන්ගෙන් උතුම් වූ සෛන්ධව අශ්වයන් නමැති මල්මාලාවලින් ගැවසීගත් අශ්ව බලඇණිවලින් යන අර්ථයයි. රථූමිජානෙහි යනු හටගත් රළ වේගයෙන් (උඩට මතුවන) සාගර ජලය මෙන් හටගත් (ඉදිරියට එන) රථ නමැති රළ සමූහයෙන්. රථ ඇණිවලින් (රථ හමුදා ඛණ්ඩවලින්) යන අර්ථයයි. සරාභිවස්සහි යනු ඝන වැහිවළාවක් මහවැසි වස්සන්නාක් මෙන් ඊවැසි (ඊතල නමැති වැසි) වස්සන්නා වූ ඒ රිය ඇණිවලින්. ථරුග්ගහාවට්ට දළ්හකප්පහාරීහි යනු (කඩු ආදී ආයුධවල) මිටවල් අල්ලා ගන්නා ලද පෙරළී දැඩි පහර දෙන ඔබිමොබ හැරී පෙරළී දැඩි සේ පහරදෙන (අතින්) ගන්නා ලද කඩුමිටි නමැති දඬුවලින් යුක්ත වූවන් විසින් පාබල හමුදා භටයන් විසින් යන අර්ථයයි. පරිවාරිතා තක්කසිලා සමන්තනො යනු යම්සේ මේ තක්ෂිලා නුවර පිරිවරන (වටකොට ගන්නා) ලද්දේද ඉතා ඉක්මණින් එසේ කරව් යන අර්ථයයි. (ඉක්මණින් තක්ෂිලා නුවර වටලව් යන්න කී සැටියි.)
අභිධාවථා ච පතථා ච යනු වේගයෙන් දුවව්, උඩපනිව්. විවිධවිනදිතා ච දාතීහි යනු උතුම් ඇතුන් සමග විවිධ ශබ්ද නගන්නෝ වව්. යෝධයන්ගේ හඬ, කෑගැසීම්, වාදනය කිරීම් ආදියෙන් නොයෙක් ශබ්ද ඝෝෂා ඇත්තෝ වව් යන අර්ථයයි. වත්තනජ්ජතුමුලොඝොසො යනු අද විශාල වූ මහත් වූ හෙණහඬ සමාන ඝෝෂාව. යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතො යනු ගොරවන වැහිවළාවෙන් නික්මෙන විදුලිය හැසිරෙන්නාක් මෙන් හැසිරෙමින් නුවර පිරිවරා රාජ්යය ගනිව් යයි කියයි.
මෙසේ ඒ රජතුමා ගර්ජනා කොට සේනාවට විධාන කොට නුවර දොරටුව සමීපයට ගොස් දොරකොටුව දැක මේ රජතුමා වසන ගෙයදැයි විමසා මේ නුවර දොරකොටුව යයි කී කල්හි නුවර දොරකොටුව මෙසේ නම්, රජුගේ මාලිගාව කෙබඳු වන්නේදැයි කියා, වෛජයන්ත ප්රාසාදය වැනි යයි අසා මෙබඳු යසස් ඇති රජු සමග යුද කරන්න නොහැකි වන්නෙමියි දොරටුකොටුවට දුටු පමණින්ම නැවතී බරණැසටම පලා ගියේය.