8. කාසාව වර්ගය
1. කාසාව ජාතකය (221)
අනික්කසාවො කාසාවං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් මුල්කරගෙන දේශනා කළ සේක. කථා වස්තුව වනාහි රජගහ නුවරදී හටගත්තේය. එක් සමයෙක්හි දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක. දෙව්දත් තෙරුන් වහන්සේද තමන්ට අනුරූප වූ (ගැළපෙන) දුසිල් භික්ෂු පිරිසක් පිරිවරාගෙන ගයා ශිර්ෂයෙහි වැඩවාසය කරන සේක. එකල්හි රජගහ නුවරවාසීහු සම්මාදම්කොට දානයක් පිළියෙල කළහ. ඉක්බිති වෙළඳාම සඳහා පැමිණි එක් වෙළෙන්දෙක් මේ සළුව (විකුණා මුදල්ගෙන) වියදම්කොට මාද පිංකමට කොටස්කරුවෙකු කරනු මැනවැයි කියා වටිනා සුවඳ කහවතක් දුන්නේය. නුවරවැසියෝ මහදන් පැවැත්වූහ. සියල්ල සම්මාදම්කොට එකතු කරන ලද කහවණුවලින්ම අවසන් විය. ඒ සළුව අතිරේක පූජාවක් විය. මහජනයා රැස්වී මේ සුවඳ කහවත් සළුව අතිරේක එකකි. එය කාට දෙමුද? සැරියුත් තෙරුන් වහන්සේටද නැතිනම් දෙව්දත් තෙරුන් වහන්සේටදැයි සාකච්ඡා කළහ.
එහිදී ඇතැමෙක් සැරියුත් මහතෙරුන් වහන්සේට දෙමුයි කීවාහුය. අනිත් පිරිස සැරියුත් තෙරුන් වහන්සේ ටිකදිනක් වාසයකොට කැමති පරිදි පිටව යති. දෙව්දත් තෙරුන් වහන්සේ නිරතුරුව අපේ නගරය ඇසුරුකොට වාසය කරති. උන්වහන්සේ මංගල අවමංගල කටයුතුවලදී අපට පිහිට වෙති. දෙව්දත් තෙරුන්ට දෙමුයි කීහ. බොහෝ වාරයක් මේ ගැන කතාබහ කළ කල්හිත් දෙව්දත් තෙරුන් වහන්සේට දෙමුයි කියන අය වැඩිවූහ. ඉක්බිති ඒ සළුව වැඩි කැමැත්ත අනුව දෙව්දත් තෙරුන් වහන්සේට දුන්නාහුය. දෙව්දත් තෙරුන් වහන්සේ එහි කඩ කප්පවා වාටි මසා පඬු පොවා රන් පටියක පැහැ ගන්වා පෙරවූ සේක. එකල තිහක් පමණ භික්ෂූහු රජගහ නුවරින් සැවැත්නුවරට වැඩම කර බුදුරජාණන් වහන්සේට වැඳ කරන ලද පිළිසඳර ඇත්තාහු ඒ පුවත ප්රකාශකොට ස්වාමීනි! මෙසේ දෙව්දත් තෙරුන් වහන්සේ තමන්ට නුසුදුසු අරහත් ධජය පොරවන ලදැයි දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි! දෙව්දත් තමන්ට යෝග්ය නොවන අරහත් ධජය පොරවන ලද්දේ දැන් පමණක් නොව, පෙරත් එසේ පොරවන ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි ඇත් කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව අසූදහසක් පමණ හස්ති සමූහයා පිරිවරාගෙන ඇත් රැළේ නායකයා වී වනයෙහි වාසය කරති. ඉක්බිති එක් දිළිඳු මිනිසෙක් බරණැස් නගරයෙහි හැසිරෙන්නේ ඇත් දත්වලින් වැඩකරන මිනිසුන් සිටින වීථියක කැටයම් කපා වළලු ආදිය කරන අය දැක ඇත් දළ ලැබුණොත් ගන්නාහුදැයි විචාළේය. ඔවුහු එසේය ගන්නෙමුයි කීවාහුය. ඔහු ආයුධයක් රැගෙන කහවතක් හැඳගෙන පසේබුදුවරයෙකුගේ වේසය ගෙන ආයුධය සඟවාගෙන හිස්මුදුන බැඳගෙන ඇතුන් ගමන් කරන මාර්ගය අසල සිට ආයුධයෙන් ඇතුන් මරා දළ රැගෙන බරණැස් නුවරට විකුණමින් දිවි ගෙවීය. හෙතෙම පසුකලෙක බෝසතාණන් වහන්සේගේ පිරිවර ඇතුන්ගෙන් සියල්ලට පසුව යන ඇතා මරන්නට පටන් ගත්තේය. ඇත්තු දිනපතා එකිනෙකා අඩු වන්නට වූ කල්හි කිසියම් කාරණාවක් නිසා ඇතුන් අඩුවෙතියි බෝසතාණන් වහන්සේට සැලකළාහ.
බෝසතාණන් වහන්සේ පරීක්ෂා කරන්නාහු පසේ බුදුවරයෙකුගේ වෙස්ගෙන ඇතුන් ගමන කරන මාර්ගයෙහි කෙළවරක එක් පුරුෂයෙක් සිටියි. ඔහු ඇතුන් මරයිද නොමරයිදැයි පරීක්ෂා කරන්නෙමියි දිනක් ඇතුන් පෙරටු කොට තමන් පසුපසට විය. හත්ථි ඝාතකයා බෝසත් ඇතා දැක ආයුධය ගෙන ඉදිරියට පැන්නේය. බෝධිසත්ත්වයන් වහන්සේ නැවතී සිටියේ පොළොවේ ගසා මරන්නෙමියි හොඬවැළ දිගුකොටත් ඔහු පොරවාගෙන සිටි කහවත දැක මේ අරහත් ධජයට මා විසින් ගරුකළ යුතුයි සිතා සොඬවැල හකුලා එම්බා පුරුෂය! මේ අරහත් ධජයක් නොවේද? නුඹට නුසුදුසුයි. නුඹ කුමක් නිසා මේ සිවුර පොරවහිද?