2. දුක නිපාතය
1. දළ්හ වර්‍ගය
1. රාජෝවාද ජාතකය (151)
“දළ්හං දළ්හස්ස ඛිපති” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් රජ කෙනෙකුට කළ අවවාදයක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව තේසකුණ ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එක් දිනක කොසොල් රජතුමා අගතිගාමී වැරදි තීන්දුවක් දුන් නඩුවක් නැවත විනිශ්චය කොට උදෑසන ආහාර අනුභවකොට තෙත් අත් ඇතිවම අලංකාර කරන ලද රථයකට නැගී බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පිපුණු නෙළුම් මල් පැහැය ඇති ශ්‍රී පාදය ළඟ වැටී ශාස්තෲන් වහන්සේට නමස්කාර කොට එතක්පසෙක සිටියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ රජතුමාට මෙසේ වදාළ සේක. මහරජතුමනි! නුඹ කුමක් නිසා මහ දවල් ආවෙහිද? ස්වාමීනි! අද එක් අගතිගාමී වැරදි තීන්දුවක් දුන් නඩුවක් නැවත විනිශ්චය කිරීම නිසා කාලය ගතවිය. ඉඩ ලැබුණු පසු එය නිමවා ආහාර අනුභව කොට තෙත් අත් ඇතිව (අත වේලෙන්නට කලින්) දැන් ඔබවහන්සේට උපස්ථාන කිරීමට ආවෙමියි කීය. එවිට බුදුරජාණන් වහන්සේ මහරජතුමනි! දැහැමින් සෙමෙන් නඩු විසඳීම නම් මහා කුසලයකි. එය ස්වර්ගයට යන මාර්ගයකි. නුඹ වැනි රජ කෙනෙක් මා වැනි සර්වඥවරයෙකු සමීපයෙහි අවවාද අනුශාසනා ලබමින් දැහැමින් සෙමෙන් නඩු විසඳනවාය කීම පුදුමයක් නොවේ. පුදුමය නම් පෙර රජවරු සර්වඥවරයන් වහන්සේ නොමැති කාලවලත් නුවණ ඇති අයගේ උපදෙස් (වචන) අසා දැහැමින් නඩු විසඳමින් සතර අගතියෙන් තොරව (ඡන්‍ද, දෝස, භය, මෝහ) දසරාජ ධර්මයට (දාන, සීල, පරිත්‍යාග ආදී) පටහැනි නොවී දැහැමින් රජකම් කර දෙව්ලොව ගියාහු යයි වදාරා ඔහුගේ ඉල්ලීම පරිදි ඒ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජතුමා රට පාලනය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ඔහුගේ අගබිසොවගේ කුස පිළිසිඳ ගෙන ලබන ලද ගැබ් පෙරහර ඇත්තේ යහතින් මව්කුසින් නික්මුණහ. නම් තබන දිනයේ ඔහුට බඹදත් කුමරා යයි නම් කළහ. හෙතෙම පිළිවෙලින් වැඩිවියට පැමිණියේ සොළොස්වියට පත්වූ විට තක්සලා නුවරට ගොස් සියලු ශිල්පයන් ඉගෙන ගෙන එහි නිමාවට පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජ කෙළේය. ඡන්‍දාදී සතර අගතියෙන් මිදී ඔහු මෙසේ දැහැමින් රජ කරද්දී ඇමතිවරුද ඒ අනුව දැහැමින්ම නඩු විසඳූහ. දැහැමින් නඩු විසඳද්දී බොරු නඩුකාරයන් හෝ නොවූහ. නඩු නොමැති නිසා රජ මිදුලෙහි නඩු විසඳීම සඳහා පිහිටුවන ලද අධිකරණ ශාලා සිඳලන ලදි. ඇමැතිවරු දවස පුරා අධිකරණ ශාලාවෙහි හිඳ විනිශ්චය සඳහා කිසිවෙකු එනු නොදැක නැගිට යත්. අධිකරණ ශාලා ඉවත් කළයුතු බවට පත්විය.
බෝසතාණන් වහන්සේ මා දැහැමින් රජකරනවිට විනිශ්චය සඳහා එන්නෝ නම් නැත. අධිකරණ ශාලා සිඳලන ලදි. නඩු විසඳන ස්ථාන ඉවත් කළයුතු බවට පත්විය. දැන් මා විසින් මගේ අගුණයක් ඇද්දැයි විමසීමට වටියි. මෙය නම් මගේ අගුණයක් යයි දැන එය හැරදමා ගුණධර්මවලට පවතින්නෙමියි සිතූ සේක. එතැන් පටන් මගේ කිසියම් අගුණයක් කියන්නෙකු ඇද්දැයි පරීක්‍ෂා කරමින් ඇතුළත සේවය කරන්නන් අතරෙහි කිසි අගුණවාදියෙකු නොදැක. තමන්ගේ ගුණ කථාව අසා මොවුන් මට බියෙන් අගුණ නොකියා ගුණම කියතියි සිතා පිටත සේවකයන් පරීක්‍ෂා කරමින් එහිද කිසිවෙකු නොදැක නගරය ඇතුළත පරීක්‍ෂා කළහ. නුවරින් පිට දොරටු සතරෙහි දොරටු අසල ගම් පරීක්‍ෂා කළහ. එහිද කිසිම අගුණ කියන්නෙකු නොදැක තමන්ගේ ගුණ කථාව අසා ජනපදය පරීක්‍ෂා කරන්නෙමියි ඇමතියන්ට රාජ්‍යය පවරා දී රථයට නැගී රියදුරා පමණක් ගෙන වෙස් වලාගෙන නගරයෙන් නික්මී ජනපදය පරීක්‍ෂා කරමින් පසල් දනව්වට ගොස් එහිද කිසි අගුණවාදියෙකු නොදැක තමන්ගේ ගුණ කථනයන්ම අසා පිටිසර සීමාවේ සිට මහ මගින් නගරය බලාම නික්මුණහ.
ඒ කාලයේ වනාහි මල්ලික නම් කොසොල් රජතුමා ද දැහැමින් රාජ්‍යය කරන්නේ අගුණ සොයන්නෙක් වී ඇතුළත සේවකයන් අතුරෙහි අගුණවාදියෙකු නොදැක තමන්ගේ ගුණකථාව අසා ජනපදය පරීක්‍ෂා කරමින් ඒ ප්‍රදේශයට ආවේය. ඒ දෙදෙනාම එක් පහත් බිමක ගැල් මාර්ගයෙහි මුහුණට මුහුණලා හමුවූහ. රථය ඉක්මවා යාමට තැනක් නැත. ඉක්බිති මල්ලික රජුගේ රියදුරා බරණැස් රජුගේ රියදුරාට නුඹේ රථය ඉවත් කරන්නැයි කීවේය. හෙතෙමේද එම්බා රථාචාරිය! නුඹේ රථය ඉවත්කර ගනුව. මේ රථයෙහි බරණැස් රාජ්‍යයෙහි ස්වාමියා වූ බඹදත් මහරජතුමා හුන්නේ යයි කීවේය. අනිත් රියදුරාද ඔහුට එම්බා රථාචාරිය! මේ රථයෙහි කොසොල් රාජ්‍යයෙහි ස්වාමියා වූ මල්ලික රජතුමා සිටින්නේ නුඹේ රථය ඉවත් කරගෙන අපගේ රජතුමාට රථයට අවකාශ දෙවයි කීවේය. බරණැස් රජුගේ රියදුරා මොහුද වනාහි රජ කෙනෙකුමය. කුමක් කළයුතුදැයි සිතන්නේ, මෙයට එක් උපායක් ඇත. වයස විචාරා වයසින් බාලයාගේ රථය ඉවත් කරවා වැඩිමහලු කෙනාගේ රථයට ඉඩ ලබා දෙන්නෙමියි සනිටුහන් කොට ඒ රථාචාරියා කොසොල් රජුගේ වයස විචාරා පරීක්‍ෂා කරන්නේ දෙදෙනාම සම වයස් බව දැන රාජ්‍යයේ ප්‍රමාණය, බලය, ධනවත්කම, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශය යන සියල්ල විචාරා දෙදෙනාම යොදුන් තුන්සියයක් පමණ රාජ්‍යවල හිමිකරුවෝය. සමාන බලය, ධනය, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කල ප්‍රදේශ ඇති බව දැන, සිල්වත්කමින් වැඩි තැනැත්තාට ඉඩ දෙන්නෙමියි සිතා එම්බා රථාචාර්යය! තොපගේ රජතුමාගේ සිල්වත්කම කෙබඳුදැයි විචාළේය. හෙතෙමේ අපගේ රජතුමාගේ සිල්වත්කම මේ මේ ආකාරයයි තමන්ගේ රජතුමාගේ අගුණයම ගුණ වශයෙන් ප්‍රකාශ කරමින්,